අප්‍රේල් මුල යුරෝපයේ පාස්කු නිවාඩුව බැවින් සති තුනකට ගෙදර ගොස් ඒමට අවස්ථාව සැළසුණි. මේ 2015 වෙනසින් පසු මා ලංකාවට ආ ගිය නවවන වතාවය.

අප්‍රේල් පළවනදා බකමූණෝ වෙබ් අඩවිය පැවැත්වූ V Day රංගනය නරඹන්නට ගියෙමි. රුපියල් 1000 ගණනේ ටිකට් ගත් 400කට වැඩි පිරිසක් එහි පොදිකෑහ. පැමිණි බහුතරය ඉංග්‍රිසි කතා කරන තරුණ තරුණියන් වූහ. එකී රංගනයන් සහමුලින්ම යොමුව තිබුණේ අප සමාජයෙහි සිදුවන ලිංගික අපහරණයන් සහ පුරුෂ මූලික ලිංගික චර්යාවන් උපහාසාත්මක නිර්දය විවේචනයකට ලක් කිරීමටය. එහි බස ‘වැඩිහිටියන්ට පමණයි’ ප්‍රභේදයට අයත් විය. මෙහි රංගනයන්ට ජයසිරි, අනුරුද්ධ, …. වැනි ප්‍රවීණයන් දායක විය.

එම රංගනයන් සමහරක් 80 ගණන්හි අප ගාමිණී හත්තෙට්ටුවේගම සමඟ එක්ව ගමින් ගමට ගෙන ගිය වීදි නාට්‍ය ආරය ගත්තේය. හත්තෙට්ටුවේගම සමඟ එච්.ඒ. පෙරේරා, වැනි ප්‍රවීණයින් මෙන්ම අධුනිකයින්ද ගමින් ගම ගියේය. පසුව ඒ අාධුනිකයින්ද වේදිකාවෙහි ප්‍රවීණයන් බවට පත් විය. මෙම ප්‍රහසන දෙක අතර වූ වෙනස නම් හත්තෙට්ටුවේගම සමාජයේ බිම් මට්ටම ආමණ්ත්‍රණය කිරීමත් V Day අධ්‍යක්ෂණය කරන බිලිමෝරියා සමාජයේ ප්‍රභූ තලය ආමණ්ත්‍රණය කිරීමත්ය.

ආපසු එන අතරවාරයේ මට සුනිලා (අබේසේකර) මතක් විය. සමාජයේ බිම් මට්ටම සහ ප්‍රභූ තලයන් අතර ගමන් කරමින් එකී තලයන් දෙකටම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබුණේ ඇයටය. සමහර විට ඇය තවමත් අප අතර සිටියා නම් V Day හි රංගනයකට දායකවන්නටත් තිබුණි.

රාජපක්ෂ සමයේදීත් පැවත්වා ගෙන ආ මෙම V Day ප්‍රහසණයෙහි එක් රංගනයක් සහමුලින්ම යහපාලකයෝ වාරණය කර තිබුණි. ඉන් මැය වූයේ කිසිම තත්වයක් යටතේ ගබ්සාවක් කිරීමට විරුද්ධව කාර්දිනල් කුරේ ගෙන යන අඥාණ මතවාදයයි. මේ වාරණ මණ්ඩලයෙහි මාධ්‍ය නිදහස සඳහා සටන් කරන අපේ සගයෝද වෙති!

දෙසැම්බරයක සටහන් නමින් මා ලියූ පසුගිය ලිපියක තිබූ තලාහේන අටේ කනුව හන්දියේ වතුර කාන්දුව මතකද? ඉන් තවමත් ඒ තරමටම වතුර කාන්දුවෙමින් තිබූ අතර ගලා ගිය ජලයෙන් අවට මළකඩ පැහැගැන්ව තිබුණි. දුටුගැමුණූ පාරේ කානුව තවමත් අපදුව්‍ය රැස්වන කුණු බාල්දි ප්‍රභේදයේම පැවැතුණි. මා ගෙදර සිටි සති තුනටම කුණු ටැක්ටරය ආවේ දවස් දෙකකි. අලුත් අව්රුද්ද අප ගෙවූයේ උතුරන තරමට පිරී ගිය කුණු බාල්දි දෙකක නලියන පනුවන් සමඟය.

අප්‍රේල් පස්වනදා 71 සගයින් දැක කතා බස් කරනු පිනිස 71 සහෝදරත්ව සංසදයේ රැස්වීමට ගියෙමි. අප කළේ කතා අසා සිටිනු වෙනුවට වසරකට පමණක් හමුවන සගයින් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමය. නව පුරවැසියා නමින් සංසදය පළ කරන පත්තර සඟරාව මිලට ගත්තෙමි. කලු සුදු වර්ණයෙන් සඟරා පුමාණයෙන් මුදුණය වන එය ඇත්තවශයෙන්ම නම් අයත්වන්නේ 1971ටත් වඩා පරණ ආකෘතියකටය. 1971 දී ජවිපෙ පළ කල පුවත්පත්හි පවා මීට වඩා ආකර්ශනීය බවක් තිබුණි.

එකළ බදුල්ලේ දුම්රිය පොළට ආ ජනතා විමුක්ති පත්තර 500 කරින් ගෙන බදුල්ල රෝහලට ඉහළින් වන ගම්මානයට ගෙන ගියේ අප දෙදෙනෙකු විසිනි. පත්තර විකුණූ මුදල් එක්කරනු වෙනුවට අප කළේ පොලුතියා සෙවූ මුදලින් එම වැය පියවීමයි. පත්තර විකුණා ලද මුදල් පූර්ණ කාලීන්ගේ වියදම් පිනිස තබා ගන්නා ලෙස කීවෙමු.

නව පුරවැසියා බිහිවන්නේ අච්චු අකුරු අතරින් නොව අන්තර් ජාලයෙන් බව තේරුම් ගන්නට තව කොපමණ කළක් යනු ඇතිද? අඩුම වශයෙන් එම පුවත් සඟරාවෙහි පළ වන ලිපි අන්තර් ජාලයට මුදා නොහරින්නේ මන්දැයි තේරුම් ගත හැක්කේ 71 පරම්පරාවේ බහුතරය අන්තර්ජාලයේ සැරිසරන්නේ නැති බව තේරුම් ගත්විට පමණය. බහුතරය මුහුණු පොතෙහි හෝ නැත.

එදින නිකුත්වූ තිබූ අම්බලන්ගොඩ පියසිරි ගුණරත්නගේ මතක සටහන් පොත් පිංච පැරණි මතකයන් අලුත් කිරීමට සමත් විය. ජවිපෙ ගොඩ නැගීමට දායක වූ මුල් හතර දෙනාගෙන් අද ජීවතුන් අතර සිටන්නේ පියසිරි අයියා පමණි. ඔහු අපේ තාත්තා සහ ජවිපෙ අතර වූ සබඳතාවය ගැන ලියා තිබූ සමහරක් කරුණූ මා දැන සිටියේ නැත. විශේෂයෙන්ම ජවිපෙ ගොඩ නැගීමට රැයක් පුරා අපේ නිවසෙහි කල මුල් සාකච්ජාවත් 1971 මාර්තු මාසයෙහි දී ජවිපෙ ප්‍රධාන පෙළේ නායකයින් අප නිවසට කැදවා පක්ෂය සමගි කරනු පිනිස තාත්තා ගත් උත්සාහයන් මා දැන නොසිටි කරුණු අතර වෙයි. ඉතිහාසයට මෙැවැනි මතකයන් එක් කිරීම අමිල සේවයකි. නිල ජවිපෙ ඉතිහාසය විසින් අමතක කර දමා ඇති බොහෝ ඉතිහාසීය කරුණූ මෙම පොත් පිංචෙහි අන්තර්ගතය.

කොළඹ පුස්තකාල ශාලාවෙහි පැවැති රැස්වීම අතරතුර ප්‍රේමපාල සහෝදරයා සමඟ පිළිසදරකට මඟ පෑදුණි. ඔහු 1971 කැරැල්ලට පෙර ගංගොඩවිල ජවිපෙ කණ්ඩායමෙහි ප්‍රමුඛයකු විය. කැරැල්ල පරාජය වීමෙන් පසු රහිසිගතව ජවිපෙ ගොඩ නැගීමේ ප්‍රයත්නයෙහි නායකයා වූයේ ඔහුය. මහත් ඇසූ පිරෑ තැන් ඇති ප්‍රේමපාල සහෝදරයා දේශපාලනික දාර්ශණිකයෙකි. තවමත් ඔහුට ජවිපෙ 71 දේශපාලන පංති පැය හතරක් පහක් එක දිගට පැවැත්විය හැකි බව කීවේ දෙවසරකට පෙර ඔහුට සවන් දුන් බණ්ඩාරවෙළ සේනය. බදුල්ල දිසාවෙහි පූර්ණකාලීනයකු වූ සේන එකළ අපේ පොලු අංශයේ නායකයා විය.

දැන් 70 වන වසරට ආසන්නව සිටින මේ ඓන්ද්‍රීය දේශපාලන නායකයා දැන් එක් රැයකට රැපියල් 750.00ක් ලැබෙන කණ්ෂ්ඨ ආරක්ෂක නිලධාරියකු ලෙස මුලු රැයම හිටගෙන සිටින රැකියාවක නිරත වෙයි.

දෛවය සරදම් කරන්නේ අපටද? රටටද? සමාජයටද? හැමෝටමද?

සංසදයේ රැස්වීමෙහි ප්‍රධාන දේශකයා වූයේ දෙමළ ජාතික සන්ධානයේ පා.ම. සුමන්තිරන්ය. ඔහුගේ කතාව පරිවර්ථනය කිරීමට නියමිත වූ සිවා (සිවගුරුනාදන්) එය මට පැවරුවේය. සුමන්දිරන් අපූරු කතාවක් කළේ 1971 සිංහල තරුණ අරගලය සහ 80 ගණන්හි අැරඹි දෙමළ තරුණ අරගලය අදාළ කර ගනිමිනි. අයිතීන් දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් බෙදා වෙනු කළ නොහැකි බව පෙන්වා දුන් ඔහුගේ කතාවෙහි මුඛ්‍ය පණිවිඩය වූයේ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් ආමණ්ත්‍රනය කළ යුතු බවය. පරිවර්ථනයෙහිදී මට අතපසුවුණු දෙතැනකදීම සුමන්දිරන් මා නිවැරදි කළේ ඔහුගේ සිංහල දැනුම මොනවට පෙන්නුම් කරමිනි. 71 කැරලිකරුවන් හමුවෙහි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදියකු විසින් කරන ලද ඒ කතාව මෙරට ජනමාධ්‍යට වැදගත් නොවීමම අපේ කාලයේ හිස්බවට දෙස් දෙයි.

දිගන වාර්ගික ප්‍රහාරයට මසක් පිරුණු හයවනදා එහි ගොස් කළ කතාබස්වලදී සිංහල ජනයාගේ බිය මුසු වෛරය පමණක් නොව මුස්ලිම් අයතුරෙන් අසන්නට ලැබුණූ අන්තවාදයද අපේ තිගැස්මට හේතු විය. සංහිදියාව වෙනුවට වර්ධනය වන්නේ ගිනි කන්දක්දැයි බිය සිතුණි.

මේ අතර අපේ ඥාති දියණියකට පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට අවස්ථාව සැලසුණේද එම බක්මහේදීමය. ඒ සඳහා ආණ්ඩුවෙන් වසරකට දෙලක්ෂයක ණයක් එම දියණියට ලැබෙන අතර විශ්වවිද්‍යාලයට ද ගෙවනු ලබන්නේ ආණ්ඩුවෙනි. සිවිවසරකට පසු පොලී නැතිව තමා ලබන ශිෂ්‍යාධාරය ආපසු බැංකුවට ගෙවිය යුතුය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 4000කට මෙම අවස්ථාව සැළසෙන්නේ යැයි කියැවී තිබුණි. මෙයද පුද්ගලික විශ්ව විද්‍යාල ආකෘතියක් බැවින් සයිටම් විරෝධීන් අවි අමෝරා ගනු ඇත්දැයි තවම කියනු නොහැකිය. මෙම අරමුදල් ලබා දුන්නේ නම් ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට මෙම සේවය සළසන්නට නොහැකිද යන ප්‍රශ්ණය ද ඇසිය යුතු එකකි. අනෙක පෙනෙන විදියට මෙම උපාධි මෙරට පිළිගැනෙන්නේද යන්නද පැහැදිළි නැත.

එහි හොඳ කරක පසුවට තබා අපේ දියණිය තේරී තිබූ අධ්‍යාපනවේදී උපාධිය ගැන ඇතිවූ කතා බහකට යොමු වෙමු. එහිදී කියැවුණේ කොළඹ ප්‍රධාන පෙළේ (පුද්ගලික–රාජ්‍ය) පාසළක ගුරුවරියකගේ මාසික ආදායම රැපියල් 25,000-50,000ත් අතර වන විට එහි රග්බි පුහුණුකරුට මසකට රුපියල් ලක්ෂ හයක් ගෙවන බවයි! ගුරුවරියක් තමා ළඟ දණ ගැස්සූ ඌව පළාත් දේශපාලහොරෙකුට සිරිසේන විසින්ම යළි එහි අධ්‍යාපන අමාත්‍යාංශය බාර දෙන ලද්දේද ඔය අතරවාරයේය.

අව්රුද්ද ලස්සන කරන්නට ගෙදරට දියත උයනෙන් ලස්සන නෙළුම් මල් පොච්චියක් ගෙැනැවිත් තිබුණේ මා ගොඩ බැසීමට පෙරය. එහි ලස්සන ලොකු මලක් පිපී තිබුණි. නමුත් විකුණන විට තිබූ ඒ මල පරවී ගිය පසු පිපුණේ කුඩා මල්ය. මල්කාරයා අප කඩේ යවා තිබුණේ ඔහුට අව්රුදුකන්නටය. දැන් ඒ පොච්චියේ මල් වෙනුවට පිපෙන්නේ කුඩා පොහොට්ටුය.

ඒ වාගේම පලා ලියන්නට යොග්‍ය තාක්ෂණ උපකරණයක් බව පෙනෙන ගැජට් එකක් ද අව්රුද්දට ගත්තෙමු. අව්රුද්ද ඉවර වන්නටත් පෙර එය මළකඩ කැවේය. දැන් පලා වෙනුවට කන්න වෙන්නේ මළකඩ බැවින් එය පඩිපෙළ යට අස් නොකරන පෙට්ටියේ නිදියා ගෙන සිටී.

අව්රුද්දට කිරිබත් උයන්නට ගෙන ආ රතු කැකුලූ සෝදන විට සුද කැකුලු බවට පත් විය. එ සහල් අප ගත්තේ කීල්ස් සුපර් නම් සුපිරි වෙළද සැළෙනි. එමෙන්ම අව්රුද්දට කන්නට ගෙනා කෙසෙල්වල තිබුණේ පාන් පිටි වැනි රසයක් මිස කෙසෙල් රස නොවේ. ඒවාට කෙසෙල් වෙනුවට කෙසෙල් පාන් වැනි නමක් භාවිතයට ගැනීමට කාලය නැත්දැයි අපට සිතුණි.

තෙමස් මුණුපිරියට සීනි නැති යෝගට් එකක් සොයා නොමළ ගෙදරකින් අබ සොයා ගියාටත් වඩා කඩ සාප්පු සොයා ගියෙමු. නොගියේ සීනි වල අනිටු විපාක කියා දෙන ඇමැති රාජිත සේනාරත්නගේ නිවෙසට පමණය. නැත. සීනි නැති යෝගට් ලංකාවේ සොයා ගන්න නැත.

ඒ කෙසේ වෙතත් අව්රුද්දට රසවත් හරවත් පාට පාට සාදයක් දැම්මෙමු. සාද නැති ජීවිතයකින් වැඩක් නැත!

දැනට එපමණයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya