ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර ඇති අතර, සමහර විට එම වෙනස්කම් දැනට පවතින උසස් අධ්‍යාපන පද්ධතයෙහි පදනම සකස් කළා වූ 1978 විශ්වවිද්‍යාල පනත හඳුන්වා දීමෙන් පසුව උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි සිදු කරනු ලබන වඩාත්ම තීරණාත්මක වූ වෙනස්කම් වනු ඇත.

දැනට පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පාසල්වල සිට පීඨ දක්වා වූ නව අංශ ඕනෑම සංඛ්‍යාවක් හඳුන්වා දීමේ අයිතිය ලබා දෙමින් අභ්‍යන්තර වශයෙන් පුළුල් කර ගැනීමට ද, වෙනත් ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සමග සම්බන්ධවීමට, ගාස්තු අය කිරීමට සහ උපාධි ප‍්‍රදානය කිරීමට අයිතිය ලබා දෙමින් බාහිර වශයෙන් පුළුල් කර ගැනීමට ද මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලස්වා දී ඇත. එමගින් 1978 විශ්වවිද්‍යාල පනත සහ එයට සිදු කරන ලද සංශෝධන මගින් පාලනය නොවන්නා වූ, ‘උසස් අධ්‍යාපනය’ පිරිනැමීම සඳහා වන නව අවකාශයක්, එනමි සමාන්තර යාන්ත‍්‍රණයක්, හඳුන්වා දෙනු ලැබේ. උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය පාලනය කරන්නා වූ, නියාමනය කරන්නා වූ සහ සහතික කරන්නා වූ ආයතනය වන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට මෙම නව උසස් අධ්‍යාපන අවකාශය තුළ ඉටු කිරීමට කාර්යභාරයක් නොමැත. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට හමුදා සාමාජිකයින් ප‍්‍රධානත්වය දරන පිරිසකගෙන් සමන්විත පරිපාලනයක් විසින් එහි පැවැත්ම සහ කටයුතු සම්බන්ධයෙන් තනිව තීරණ ගැනීමේ බලය පැවරෙයි. ඉතා බරපතල කරුණ නම්, මෙම යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලැබීම හමුදාවලට පමණක් සීමා නොවී අනෙක් සියලූ දෙනාට එම අවස්ථාව උදාවීමයි.

විවිධ ආකාරවලින් උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීම මහින්ද රාජපක්ෂ පාලනය විසින් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන ලද ලක්ෂණයක් වූවා නම්, උපහාසයට කරුණක් ලෙස යහපාලන රජය විසින් මෙම පනත් කෙටුම්පත හඳුන්වාදීම එකී ක‍්‍රියාවලියෙහි උච්ඡතම පියවර යෝජනා කරනු ලැබීම ලෙස සැලකිය හැකිය. පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති, ආරක්ෂ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මෙම උසස් අධ්‍යාපන අවකාශය, ආරක්ෂක අමාත්‍යංශය වෙත ලැබෙන සියලූම නියෝග ක‍්‍රියාත්මක කරනු ඇතැයි නීතිය මගින් අපේක්ෂා කරනු ලබන, ඉහළ ම තලයේ හමුදා නිලධාරීන්ගේ නියෝජනය සහිත, අග‍්‍රස්ථානය හිමි මණ්ඩලයක් විසින් පාලනය කරනු ලැබේ. උසස් අධ්‍යාපනය හමුදා පාලනය යටතට ගෙන එනු ලැබීමටත්, මතභේදකාරී වූ සහ ලිහිල් ලෙස නියාමනය වනු ලබන පෞද්ගලික උසස් අධ්‍යාපනය මහා පරිමාණයෙන් හඳුන්වා දෙනු ලැබීමටත්, රජය විසින් සපයා දෙනු ලබන නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම සඳහා ක‍්‍රියාත්මක වන ව්‍යාපාර ජාතික ආරක්ෂාව රැකගැනීමේ මුවාවෙන් පාගා දමනු ලැබීම සඳහා වූ මාර්ග නිර්මාණය කිරීමටත් දරනු ලබන භයානක ප‍්‍රයත්නයන් පරාජය කිරීමට මැදිහත් වන ලෙස මෙරට සිටින උගතුන්ගෙන්, ශිෂ්‍යයින්ගෙන්, සිවිල් සමාජයෙන්, විපක්ෂ දේශපාලන පක්ෂවලින් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම පනත් කෙටුම්පත හුදෙක් SAITM ආයතනය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම පිළිබඳව පමණක් නොවේ.

SAITM ආයතනය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග‍්‍රහණය කර ගැනීම දැනට තිබෙන 1981 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත යටතේ වුවද, අවශ්‍ය නම් සංශෝධනයක් සහිතව, සිදු කළ හැක. නව පනත් කෙටුම්පත ඉහත සඳහන් කර ඇති පරිදි වඩාත් පුළුල් අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.

මෙම නව පනත් කෙටුම්පත විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි විෂය පථයෙන් සහ 1978 විශ්වද්‍යාල පනතෙන් පරිබාහිරව උසස් අධ්‍යාපනය සඳහා සමාන්තර අවකාශයක් නිර්මාණය කරන මෙවලමක් ලෙස

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය 1978 විශ්වවිද්‍යාල පනත මගින් පාලනය නොවන විශ්වවිද්‍යාලයක් ලෙස නව පනත් කෙටුම්පතෙහි II වැනි කොටසෙහි 2(1) වගන්තිය මගින් විස්තර කර ඇති බැවින් එය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි විෂයපථයෙන් පරිබාහිරව පවතියි. නව පනත් කෙටුම්පතට අනුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ප‍්‍රයෝජනය පිණිස පමණක් ස්ථාපිත කරනු ලබන විශ්වවිද්‍යාලයක් නොවේ; ඕනෑම තැනැත්තෙකුට එහි සේවා ලබා ගත හැක (එනම්, සන්නද්ධ හමුදාවල නිලධාරීන්ට, රජයේ සේවකයින්ට සහ වෙනත් තැනැත්තන්ට සේවා සැපයීමට – II කොටස 4(ආ) වගන්තිය). සිසුන් ඇතුළත් කර ගැනීමට (II කොටස – 5(අ) වගන්තිය), සිසුන් ඇතුළත් කර ගැනීමේ සුදුසුකම් තීරණය කිරීමට (IV කොටස – 19(ආ) වගන්තිය), එහි අධ්‍යයන ගුණාත්මක තත්ත්වයන් එය විසින්ම පවත්වාගෙන යාමට (IV කොටස – 19(ආ) වගන්තිය), ගාස්තු අය කිරීමට – (II කොටස – 5(i) වගන්තිය), උපාධි ප‍්‍රදානය කිරීමට (II කොටස – 5(උ) වගන්තිය), සහ විශ්වවිද්‍යාලයෙහි ලාභය විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් සුදුසු යැයි සලකණු ලබන ඕනෑම ව්‍යාපාරයක ආයෝජනය කිරීමට (II කොටස – 5(ම) වගන්තිය) නව පනත් කෙටුම්පත මගින් කොතලාවල ජාතික විශ්වවිද්‍යාලයට අයිතිය ලබා දී තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් උපාධි පිරිනැමීම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ම පවත්වනු ලබන පාඨමාලා හදාරන සිසුන්ට පමණක් සීමා නොවේ, මෙම පනත් කෙටුම්පත අනුව (II කොටස – 5(උ), 5(ච), 5(ජ), සහ 5(ට) වගන්ති අනුව) ස්ථාපිත කරනු ලබන සහ කොතලාවල ජාතික ආරක්ෂක විද්‍යාපීඨයට අනුබද්ධ වෙනත් ඕනෑම ආයතනයක් විසින් පවත්වනු ලබන පාඨමාලා හදාරන සිසුන්ට ද එහි උපාධි පිරිනමනු ලැබිය හැක.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන උසස් අධ්‍යාපන අවකාශය හමුදාකරණය වන ප‍්‍රමාණය

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය ක‍්‍රියාත්මක වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොව, ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය. මෙම නව පනත (III කොටස – 6(1) වගන්තිය) ක‍්‍රියාත්මක කිරීමේ සහ පරිපාලනය කිරීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශට පැවරෙයි. විශ්වවිද්‍යාලයේ ඉහළම පරිපාලන මණ්ඩලයට (එනම්, පාලක මණ්ඩලයට) නියෝග නිකුත් කිරීමේ බලය මෙම පනත මගින් ආරක්ෂක අමාත්‍යවරයාට පවරා දී ඇති අතර, එකී මණ්ඩලය අමාත්‍යවරයා විසින් දෙනු ලබන නියෝග පිළිපැදීමට නීතියෙන් බැඳී සිටියි (III කොටස – 6(2) ස 6(3) වගන්ති). කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන උපකුලපතිවරයා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ (IV කොටස – 10(1) වගන්තිය). ඉතාමත් වැදගත් කර්තව්‍යයන් (1978 විශ්වවිද්‍යාල පනතට අනුව ගත් කල, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ විශ්වවිද්‍යාල සභා විිසින් සිදු කරනුු ලබන කර්තව්‍යයයන්) රාශියක් ඉටුකිරීමේ වගකීම පැවරෙන්නාවූ මෙම විශ්වවිද්‍යාලයේ පාලක සභාව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්, සන්නද්ධ හමුදාවල මාණ්ඩලික ප‍්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නාමියෙකු, භාණ්ඩාගාර ලේකම්වරයාගේ නාමිකයෙකු යන අයගෙන් සමන්විත වේ (IV කොටස – 18(2) වගන්තිය). ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමේ සුදුසුකම්වල සිට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල අවම සුදුසුකම්, තත්ත්ව සහතික කිරීමේ යාන්ත‍්‍රණ, සහ උපාධි ප‍්‍රදානය කිරීම සඳහා අනුබද්ධ ආයතන පිළිබඳ තීරණය කිරීම සහ ඒවා පිහිටුවීම දක්වා වූ කාර්යයන් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රධාන වශයෙන්ම ඉහළම පෙළේ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වූ පාලක මණ්ඩලයේ වගකීම් වේ.

ජාතික ආරක්ෂාව සැලසීමේ නාමයෙන් විරුද්ධ මත යටපත් කිරීම සඳහා වන විධිවිධාන

ජාතික ආරක්ෂාවට අනතුරුදායක වන හෝ ජාතික ප‍්‍රතිපත්තියට අගතිදායක වන (කුමන ජාතික ප‍්‍රතිපත්තියද යන්න පනත් කෙටුම්පතෙහි සඳහන්ව නැත) හෝ විශ්වවිද්‍යාලයේ නිසි ක‍්‍රියාකාරීත්වය බිඳවැටීමක් සිදුවීමට හේතුවන ආකාරයේ නැඹුරුතාවක් ඇති බව ආරක්ෂක අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය යැයි ඔහු විසින් සලකනු ලබන සියලූ පියවර පාලක සභාව විසින් ගත යුතු යැයි පනත් කෙටුම්පතෙහි III කොටසෙහි 7 වැනි වගන්තිය මගින් විධිවිධාන සලසා තිබේ. පනත් කෙටුම්පතට අනුව, ජාතික ආරක්ෂාවට අනතුරුදායක වන්නේ යැයි හෝ, ජාතික ප‍්‍රතිපත්තියට හෝ විශ්වවිද්‍යාලයේ දෛනික කටයුතුවලට බලපාන්නේ යැයි අමාත්‍යවරයාගේ මතය වන තත්ත්වය විශ්වවිද්‍යාලය තුළම ඇති වන තත්ත්වයකි. කෙසේ වෙතත්, ”අවශ්‍ය විය හැකි යැයි ඔහු විසින් සලකනු ලබන සියලූ පියවර” යන යෙදුම මගින් ඉහළම මට්ටමේ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට ගොස්, සමාජයේ ක‍්‍රියාත්මක වන අයිතිවාසිකම් ව්‍යාපාර විශ්වවිද්‍යාලය තුළ සිදු වූයේ යැයි කියන එකී තත්ත්වයට සම්බන්ධ කරමින් එම ව්‍යාපාර මැඩපැවැත්වීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පුළුල් බලතල ලබා දෙයි.

එම සම්බන්ධතාවය සාධාරණීකරණය කිරීම සඳහා අමාත්‍යවරයාගේ මතය ප‍්‍රමාණවත් වේ.

දැනට බලපැවැත්වෙන විශ්වවිද්‍යාල පනතෙහි මෙන් නොව, ශිෂ්‍ය සංගම් සඳහා හෝ කිසිදු විශ්වවිද්‍යාල සංවිධානයක ශීෂ්‍ය නියෝජනය සඳහා මෙම පනත් කෙටුම්පතෙහි විධිවිධාන සලස්වා නැත.

සාරාංශයක් ලෙස පහත සඳහන් කරුණු ඉදිරිපත් කළ හැකිය:

x යෝජිත පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන, ගාස්තු අය කෙරෙන සමාන්තර උසස් අධ්‍යාපන ව්‍යූහයක් ස්ථාපනය කෙරෙයි.

x එය සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්වාධීන වූවක් වේ.

x උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් පහසුකම් සලසා ඇත: කොතලාවල ජාතික ආරක්ෂක විද්‍යාපීඨය හුදෙක් හමුදාවල සේවය කරන සාමාජිකයින්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා පමණක් නොවේ, එය හමුදාමය නොවන උසස් අධ්‍යාපනය සඳහා හමුදාමය ව්‍යූහයන් සහ සංස්කෘතිය කෙතරම් නොගැළපෙන්නේද යන්න නොසලකා සිවිල් ජනතාව සඳහා ද උසස් අධ්‍යාපනය ලබා දීම පිණිස වේ.

x එමගින් ‘ජාතික ආරක්ෂාව’ සැලසීමේ විධිවිධානය යටතේ ක‍්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයාට සුවිශේෂී බලතල ලබා දෙමින් විරුද්ධතාවයන් සහ උසස් අධ්‍යාපනය පිළිබඳව ඇති විවාදයන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණ ස්ථාපිත කර ඇත.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති
ආචාර්ය හරිනි අමරසූරිය
දිලීප විතාරණ