ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමක් වන බව ඉතිහාසය පෙන්වා දෙයි. එසේම, දඩිබිඩියේ යුක්තිය පසිඳලීමට යාමත්, යුක්තිය කණපිට හැරවීමට හෝ යුක්තිය වැළලීමට හේතු විය හැකි බවත් අපි දනිමු. එසේ හෙයින් සාධාරණ විසඳුමක් සොයා ගත යුත්තේ ඒ අතරමැද තැනකිනි.

විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත් කෙටුම්පතක් පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලදි. මහ පරිමාණ අල්ලස්, දූෂණ සහ වංචා මෙන්ම වෙනත් දේශපාලනික අපරාධත් මෙවැනි විශේෂ අධිකරණ හරහා කඩිනමින් විසඳිය හැකි බව ආණ්ඩුව කියයි. මේ ‘අධිකරණ සංවිධාන (සංශෝධිත) පනත’ ඇතැම් සංශෝධනවලට යටත්ව සම්මත කර ගැනුණි. එම සංශෝධන නොමැතිව එම පනත සම්මත කර ගැනීමට ගියේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයක් අවශ්‍ය කරන බව අධිකරණය මගින් දැනුම් දී තිබුණි. එහෙත් මෑතකදී ආණ්ඩුවේ ඇතැම් පිරිසක් විපක්ෂයට ගිය හෙයින් තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට දැන් නැත. එබැවින්, අධිකරණය නිර්දේශ කළ සංශෝධනවලට යටත්ව සකස් කළ අලුත් පනත දෙවැනි වර කියැවීමෙන් පසුව, පක්ෂව ඡන්ද 119 ක් සහ විපක්ෂව ඡන්ද 52 ක් වශයෙන් වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ ඡන්දය පැවැත්වුණේ විද්‍යුත් ක්‍රමයට ය. ඊළඟට, තුන්වැනි වර කියැවීම හෙවත් කමිටු අවස්ථාවේදී එම පනත ඡන්දයකින් තොරව සම්මත කරගන්නා ලදි.

මේ පනතේ විධිවිධානවලට අනුව, ස්ථාවර විශේෂ මහාධිකරණ පිහිටුවනු ලබන අතර, එම පනතේ 6 වැනි උපලේඛනයේ සඳහන් විශේෂිත වැරදිවලට සම්බන්ධ නඩු එම විශේෂ මහාධිකරණ මගින් විභාග කෙරෙනු ඇත. ඒ අනුව, බරපතල වංචා, දූෂණ, අල්ලස් සහ වෙනත් ප්‍රමුඛ පෙළේ අපරාධ කඩිනමින් විභාගයට ගැනෙනු ඇත.

ඉහත සඳහන් 6 වැනි උපලේඛනයට අයත් වන්නේ, දේපළ සාවද්‍ය පරිහරණය, මුදල් සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් විසින් විශ්වාසය කඩ කරනු ලැබීම, වංචනිකව කූඨ ලේඛන සකස් කිරීම, ගිණුම් ව්‍යාජ ලෙස පවත්වා ගැනීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් දීම හෝ ලබා ගැනීම ආදී වැරදි ය. එසේම, පොලිස් නිලධාරීන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ අල්ලස් ද, කොන්ත්‍රාත් ආදිය සැපයීම සඳහා අල්ලස් ලබා ගැනීම් ද, ටෙන්ඩර් පරිපාටිවලදී සිදු කෙරෙන දූෂණයන් ද, රජයේ ව්‍යාපාර සම්බන්ධයෙන් වන අල්ලස් ද, පත්වීම්, රැකියා, ප්‍රදාන සහ වෙනත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් වන වැරදි ද, පළාත් පාලනයේ නිලධාරීන් සම්බන්ධයෙන් වන දුෂණ ක්‍රියා ද, මේ පනත යටතේ දූෂණයක් යැයි ගැනෙන අයථා මාර්ගයකින් උපයා ගත් ධනයෙන් දේපළ හිමිකරගෙන සිටීම ද, සන්තෝසම් පිළිගැනීම ද, විදේශ විනිමය පනත යටතේ හෝ බැංකු පනත යටතේ ගැනෙන ඕනෑම වරදක් ද, කොටස් සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ ගැනෙන ඕනෑම වරදක් ද, දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත යටතේ ගැනෙන ඕනෑම වරදක් ද, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම පනත යටතේ ගැනෙන ඕනෑම වරදක් ද, රක්ෂණ කර්මාන්ත රෙගුලාසි ආඥාපනත යටතේ ගැනෙන ඕනෑම වරදක් ද මේ යටතට ගැනේ.

ඒකාබද්ධ විපක්ෂය මේ පනතට විරුද්ධ විය. ඔවුන්ට අනුව එය, පැවති රජයේ දේශපාලඥයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් පලිගැනීම සඳහා ගෙන එන ලද්දකි. එහෙත් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල සහ ආණ්ඩුවේ වෙනත් නායකයන් පෙන්වා දුන් පරිදි, දැනට පවතින අධිකරණ ක්‍රියාවලිය තුළ මෙවැනි නඩු ඉවරයක් කිරීමට දශක දෙකක පමණ කාලයක් ගතවෙයි. එබැවින් වර්තමාන සන්ධාන ආණ්ඩුව පසුගිය 2015 ජනවාරි 8 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වී තිබුණේ, මහජන ඩොලර් කෝටි ගණනින් කොල්ලකෑ බවට සැක කෙරුණු හිටපු රජයේ නායකයන් සහ නිලධාරීන් කඩිනමින් නීතිය ඉදිරියට පමුණුවන බව ය. එපමණක් නොව, මේ අධිකරණ ඉදිරියේ, වර්තමාන ආණ්ඩුවේ දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පවා, එවැනි වැරදි සම්බන්ධයෙන් විභාගයට ලක් කෙරෙන බවත් ආණ්ඩුව කියයි. විනිසුරුවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ මහාධිකරණ පත්කරනු ලබන්නේ අගවිනිසුරුවරයා විසිනි. මේ අධිකරණ ඉදිරියේ නඩු පැවරීම කරනු ලබන්නේ, පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගිනි.

විනිසුරුවරුන් තුන් දෙනෙකුගෙන් යුත් මෙම විශේෂ මහාධිකරණ දිනපතාම, උදේ දවල් එක දිගටම මෙවැනි නඩු ඇසීම තුළින් සාමාන්‍යයෙන් මාසයක් සහ මාස තුනක් වැනි කාලයක් තුළදී එවැනි බොහෝ නඩු ඉවරයක් කර ගැනීමට හැකි වෙතැයි අපට විශ්වාස කළ හැකිය.

ජනතාව බලාපොරොත්තු වන්නේ, තමන්ට ද්‍රෝහී වු සහ තමන්ගේ මහජන ධනය කොල්ලකෑ පුද්ගලයන් කඩිනමින් නීතිය ඉදිරියට පමුණුවනු දැකීමයි. එසේම එසේ කොල්ලකෑ ප්‍රකෝටි ගණන් ධනස්කන්ධය ආපසු අයකර ගනු දැකීමයි. එම ධනය, සාධාරණ සමාජයක් සඳහා තුඩුදෙන තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් සඳහා ප්‍රයෝජනයට ගනු දැකීමයි.

*2018 මැයි 11 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ New Judicature Act Gives New Hope for Justice නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි