පසුගිය දිනක ලයනල් වෙන්ට් හි ප්‍රදර්ශන වූ ප්‍රියංකර රත්නායකගේ විසේකාරියෝ වේදිකා නාට්‍ය මම නැරඹුවෙමි. විසේකාරියෝ අඛයාන්ය නිර්මාණය වන්නේ ග්‍රීසියේ Aristophanes ගේ නාටකයක් වන Lysistrata හි අභාෂය ලබමිනි. කතා සංශිප්තය නම්, යුද්ධයට එදිරිව ස්ත්‍රීන්ගේ පෙළ ගැසීමය. යුද්ධය යනු කිසිදු මානවයකුට හිතකර නොවන ක්‍රියාවලියක් ලෙස දකිමින්, එහි විනාශකාරිත්වය හැර කිසිවක් ඉතුරු නොකරන බව ප්‍රකශ කිරීම අගය කළ යුතුය. එහෙත්, එම ප්‍රකාශ භාවිතාව ගැටළු කාරිය. මන්දයත්, Aristophanes අවසානයේ සිදු කර ඇත්තේ, ස්ත්‍රීන්, ලිංගික භාණ්ඩයක් ලෙස ආකෘති ගත කිරීමත්, ඔවුන් තව දුරටත්, පුරුෂ මුලික සමාජයේ බල හිමිකාරිත්වය විසින් ගනු ලබන තීරණයන්ට යටත් කණඩායමක් මිස, තීරණ ගැනමේ බලය සහිත ආයතනයක් නොවන බවත් ප්‍රති නිෂ්පාදනය කිරීමය.

යුද්ධය සහ සාමය අදටත් තීරණය කරනුයේ පුරුෂ මුලික ලබ්දික ස්ත්‍රීන් සහ පුරුෂයන් විසිනි. පසුගිය තිස් අවුරුදු යුද්ධයේ දී, මෙරට සාම සාකච්ඡාවන් මෙහෙයවුයේ පුරුෂ මුලික බල කණඩායම් විසින් පමණි. රජයෙන් සහ විමුක්ති කොටි සංවිධානයෙන්, සාම සාකච්ජා මේසයේ අධිපති කතිකාවට ඉඩ ලබා දුන්නේ, පුරුෂ මුලික හඬ වෙතය (විමුක්ති කොටි පමණක්, ගැහැණු ශරීර කිහිපයක් මෙම මේසය වෙත ඒවා තිබුනද, ශ්‍රී ලංකා රජයේ පාර්ශවයේන් එසේ වූ නියෝජනයක්වත් නොවිය). යුද්ධය වෙනුවෙන් වන වියදම් සඳහා, ඉපයීම්, ස්ත්‍රී ශ්‍රමිකයන්ගේ මුලිකත්වයෙන් සිදුවන විට (ඇගලුම් ක්ෂේත්‍රය, මැද පෙරදිග ශ්‍රමික සංක්‍රමණික, වැටුප් රහිත ගොවි ව්‍යාපාරයන් හි අතිරික්ත ශ්‍රමය සැපයෙන්නේ ස්ත්‍රියගෙනි), එම ස්ත්‍රීන් ප්‍රධානව සියලු ජනයා පිඩාවට පත්කරණ යුද්ධයේ සහ එයට එදිරි සාමයේ ක්‍රියාවලියේ සුක්කානම අයිතිකරගනු ලැබුවේ පුරුෂ මුලික සමාජ බල කණඩායම්ය. ප්‍රියංකර මෙම බල දේශපාලනය ද තම වේදිකා රචනාව තුළින් ප්‍රශ්න කලේ නම් මැනවි.

සියලුම රචනා සහ ප්‍රයෝගික ප්‍රතිපත්ති භාවිතාව මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ වර්තමානය වනවිට ද යුද්ධය සහ සාමය යනු පුරුෂ මුලික න්‍යාය මත ගොඩනැගී ක්‍රියාදාමයක් බවය. ලිබරල් සාමය තුල දී, ස්ත්‍රිය වින්දිතගේ රුපය වෙත කොටු කර, ඇයව, සාමයේ ආශාවස්තුවක් (object) ලෙස ප්‍රති නිර්මාණය කර ස්වීකරණය කිරීමය. ස්ත්‍රිය යනු වින්දිතයෙක් වුවද ඇය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන්කරයි. සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ යනු පුරුෂ මුලික යුධ රෙජිමයක් විසින් වින්දිතයකු කළද, එයට එදිරිව සටහන් කරන ස්ත්‍රියකි. ඇය පුරුෂ මුලික යුධ වස්තුවක් නොවී, යුක්තිය වෙනුවෙන් ස්වාධීනව අරගලයක් ගෙන යන ගැහැණියකි. එවැනි ගැහැණියකට අපහාස සහ තර්ජනය කළ විචාරධාරියෙකුට, සිරගත කළ විට, ඔහුගේ ඇඳුම ජම්පරය ද, චීවරද විය යුත්තේ දැයි ප්‍රධාන ප්‍රශ්නය කරගත් අශිෂ්ට මාධ්‍ය භාවිතාවක් ඇති ශ්‍රී ලංකාවකි මෙය.

ප්‍රචණ්ඩකාරී ඥානසාර චීවරදාරියාගේ ඇඳුම සහ සිරගත කිරීම පිලිබඳ කතාවතක් ගොඩනගන මෙරට මාධ්‍ය පෙරට ගෙන එනු ; ලබන්නේ, පුරුෂ මුලික බල අධිකාරින්ගේ, යුධ අශාවය. මෙය වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, චිවරදාරි ඥානසාර යනු, ප්‍රචණ්ඩකාරී, අශිෂ්ට පුරුෂ මුලික සමාජයේ වස්තුව (ද්‍රව්‍ය)/ ආශාව චේ. තමාට පොදු අවකාශයේ ප්‍රචණ්ඩකාරීව හැසිරීමේ ආශාවක් පැවතිය ද, එසේ කිරීමට බියෙන්, එයම, චීවරධාරී ඥානසාර විසින් ඉටු කරනවිට, ඉහත කී කණ්ඩායම, ඔවුන් දේශපාලන විනෝදයේ ආශාවූ චීවරධාරී ඥානසාර , සහ ඔහුගේ අසික්කිත ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරමින්, ඔහු රැක ගැනීමට, පෙරට එයි. එසේම දෙරණ වැනි පුරුෂ මුලික සමාජයේ වස්තුවක් වීමට නිරන්තරයෙන් උත්සුක වන, මාධ්‍ය, චිචාරදාරි ඥානසාර සහ ඔහුව වස්තුව කරගැනීමට සහ ඔහුගේ වස්තුව විමට අනවරත අරගලයක නිරත පිරිස් හි හඬ අධිපති කතිකාව බවට පත් කර තිබේ (https://www.youtube.com/watch?v=JBECW9SwuQI).

එම අධිපති කතිකාව විසින්, සන්ධ්‍යා එක්නැලිගොඩගේ හඬ යටපත් කර තිබෙන බවය. ඇයට ස්ථිර රැකියාවක් නොමැත. එහෙත් දරුවන් දෙදෙනෙකු පෝෂණය කළ යුතුය. අතුරුදහන් කළ පියෙකුගේ අවකාශය ද දරුවන් වෙනුවෙන් ඇය පියවිය යුතුය. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය අවධානය යොමුකළ යුත්තේ, ගෙදර එක් වේලක් ලිප ගිනි මෙලවීම වෙනුවෙන් යමක් සොයා ගන්නා අතරතුරය. ඇයගේ අරගලයේ හඬ ඇසීමට, ප්‍රකාශනයට, පුරුෂ මුලික සමාජයේ වස්තුව වීමට උත්සුක වන මාධ්‍ය අවකාශයක් ලබාදුනි ද?

සන්ධ්‍යාට තවමත් යුක්තිය අහිමිය. ඇයගේ සහකරු, ප්‍රගීත් එක්නැළිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති අතර, ඒ වෙනුවෙන් කිසිදු යුක්තියක් ඉටුවී නොමැත. එපමනක් නොවේ. අතුරුදහන්කළ ජිවිත වෙනුවෙන් අදටත් උතුරේ අරගලයක් වේ. පවතින ආණ්ඩුව, අතුරුදහන් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් කාර්යාලයක් පිහිට වුවද, එය නිශ්ශබ්දය. අතුරුදහන්කළ පුද්ගලයන්ගේ තොරතුරු නිරවද්‍යව ලබා දීමට තවමත් කිසිදු රාජ්‍ය ආයතනයකට හැකිවී නොමැත. දුක්විදින උතුර ලිබරල් සාමයේ වස්තුව කරගනිමින්, ආන්තික දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන්, කතා පවත්වමින් සිටිමු.

Lysistrata, දේශපාලනයේ දී ලිංගික වස්තුවක් කරණ ආකාරයටම, අප උතුර ද වස්තුවක් කරමින් තිබේ. මෙම වස්තුකරණය සාධානරණ කිරීම ලිබරල් සාමය මඟින් මානාව සිදුවේ. අප උතුරට අදටත් කියමින් සිටින්නේ, ‘ආන්තික සිංහල සාමජයට අවශ්‍ය ලෙස උතුරේ ඉල්ලීම් සිදුකරණ ලෙසය’. එනම්, ආන්තික සිංහල සමාජ කතිකාවේ ආශාවට අනුව උතුරට ගොඩනැගෙන ලෙසය. රාජ්‍යයේ මරධනකාරි හමුදාව, මැයි 18 වැනිදා, උතුරේ සිසිල් පැන් බෙදීමෙන් සංකේත කරන්නේ මෙම මතය වේ. 2009දී ශ්‍රී ලංකා හමුදාව නොනවත්වා එල්ලකල ෂෙල් ප්‍රහාරයන්ගෙන් මිදීමට, නන්දිකඩාල් සැඩ පහර මැදින්, ජීවිතාශාව වෙනුවෙන් අනන්ත දුක්ක දෝමනස්ස මැද, තම නිජබිම අතහැර දමා ආ, දෙමළා වෙත, 2018 දී සිසිල් පැන් දන්සල් පැවත වූ විට සියල්ල සාධාරණය කළ හැකිද?

“මම මගේ මනුස්සයාව, මුහම් එකේදී හමුදාවට බාරදුන්නා. මේ අත් දෙකෙන් එයාව බාර දීලා ආවේ. මගේ බාල දරුවාට එතකොට මාස 07යි, දැන් දරුවාට අවුරුදු 09යි. එදා හමුදාවට බාර දුන් මගේ මනුස්සයාව අතුරුදහන් කරලා. මගේ දරුවාගේ තාත්තා අතුරුදහන් කරලා.” (මුලතිව් හි ශාන්ති).

එසේ තම ආදරනියයා අතුරුදහන් කළ හමුදාවක් සිසිල් පැන් සංග්‍රහ කළ පමණින්, සාමය අතිවේ ද? . කේපාපුලව් හි හැදී වැඩි නිවාස, ගොවිතැන් කළ භුමිය, හමුදාවේ විශාල කඳවුරක් වෙනුවෙන් බලාහාත්කාරයෙන් අත්පත්කරගන්නා විට, හමුදා ශ්‍රමිකයන්ගේ සිසිල් පැන් සංග්‍රහයෙන් කුමන සාමයක් බලාපොරෝත්තුවේද?

අතුරුදහන් කළ ජීවිත වෙනුවෙන් වගකිව යුතු හමුදා ශ්‍රමිකයන් වෙනුවෙන් විධායක ජනාධිපතිවරයා ද පෙනී සිටින විට, ලිබරල් සාමයකින් උතුරට ප්‍රථිපලයක් වේද?

ලිබරල් සාමය හරහා ශ්‍රී ලංකාව මෙන්ම අන්තරජාතික සමාජය ද සිදුකර තිබෙන්නේ, දෙමළාව වස්ත්තුකරණය කිරීමය. එම වස්තුව ආන්තික දකුණට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම ලිබරල් සාම ව්‍යාපෘතිය හරහා සිදු වේ. එම වස්තුකරණ ව්‍යාපෘතිය මගින් දකුණ ද බලය සහිත කණ්ඩායමේ ආශාවක් වී ඇත. ඒ හේතුවෙන් දකුණේ ද සැබෑ හඬ යටපත්ව ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon