iMage: Buddhist monk Galaboda Aththe Gnanasara Thera being escorted to a prison bus after his sentencing by Homagama Court on June 14. (Photo by S. Kumar/ucanews.com) eurasiareview

ලංකාවේ නීතියට අනුව දඩුවම් නියම වූ ඕනෑම කෙනෙක් බන්ධනාගාරගත කල පසු රැදවියෙකි. එසේත් නැතිනම් බන්ධනාගාරය තුළ සිරකරුවෙකි. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගෝඩ ගේ බිරිද, සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට අධිකරණය තුළ දී තරජනය කිරීම ඇතුලු වරද කිහිපයක් සදහා කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාරට 6මසක සිරදඩුවමක් නියම කළේය. ඒ පසුගිය 14වනදා හෝමාගම අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුවය. එබැවින් මාස 6ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ ගලගෝඩ අත්තේ ඥාණාසාර නම් භික්ෂුවත්(කහ සිවුර පටලවාගත් විගසම භික්ෂුවක් ‘සාදු’ කෙනෙක් වන්නේ නැති බව සිහිතබා ගනු මැනවි) දැන් රැදවියෙකි. දැන් ඒ ඥාණසාර නම් බන්ධනාගාර රැදවියාට අනෙකුත් රැදවියන්ට හා සමානව ලැබෙන සියලු වරප්‍රසාද ලැබෙන බවට බන්ධනාගාර නිළධාරීන් ඊයේ තහවුරු කළේය. https://www.youtube.com/watch?time_continue=19&v=Pyhw7FMHz5Y

“බොහොම හොද අවබෝධයෙන් උන්නාන්සේ බන්ධනාගාර නීතිරීතිවලට අනුව එයට අවශ්‍ය විදිහට අපිට සහයෝගය දීලා, බන්ධනාගාරයේ නියමිත ඇදුම අපි මේ වන විට ලබා දීලා තියනවා.ඒක ඇදගෙන ඒ කටයුතුවල නිරත වෙලා ඉන්නවා.”(බන්ධනාගාර කොමසාරිස්/ මාධ්‍ය ප්‍රකාශක-තුෂාර උපුල් දෙණිය)

එබැවින් දැන් නීතියට අනුව ගලගොඩ අත්තේ ඥාණසාර නම් රැදවියා බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන බව නිළ ලෙස ප්‍රකාශිතය. මෙයින් එක් පැත්තකින් කියැවෙන්නේ නීතියට යටත්ව දඩුවම විදීමට ඥාණසාර සූදානම් වී ඇති බවය. ‘අපි අපේ රාජකාරිය කළා, උසාවිය ඒ අයගේ රාජකාරිය කළා, පොලීසිය පොලීසියේ රාජකාරිය කළා’ යැයි 14වනදා බන්ධනාගාර බස්රථයේ දී ඥාණසාර පැවසුවේය.

2016.01.25 දින හෝමාගම මහේස්ත්‍රාත් භූමියේදී සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බියගැන්වීම යන චෝදනා දෙකටම වරදකරු ලෙස ඥානසාර විසින් පිළිගෙන ජම්පරය ඇද දඩුවම විදිමින් සිටී. එය ඉතා හොද ප්‍රවණතාවයකි. පහුගිය කාලය පුරාම ඥාණසාර විසින් පීඩාවට පත්කළ මිනිසුන්ට ‘යුක්තිය’ පිළිබදව නැවුම් බලාපොරොත්තුවක් ඇති කරන්නකි. ආනෙක් පසින් ඉදිරියේදී එවැනි හිංසනයන්, ප්‍රචණ්ඩත්වයන් මුදා හැරීම කුරුමානම් අල්ලන ඥාණසාර පන්නයේ සිවුරුකාර මැර වේශයන් කල්පනා කරන්නේ නම් ඔවුන්ට ඒවායේ බරපතලකම තේරුම් ගැනීමට වැදගත් මොහොතකි. අනෙක් ප්‍රධාන දෙය නම්, ඥාණසාරට වුවත් තමන් නැවතත් බුද්ධ පුත්‍රයෙක් වීමට අවශ්‍ය සිතීම් ඇතිකර ගැනීමට හොදම වේලාවකි. හොදම තත්ත්වයකි. කෙටියෙන් කිවහොත් ඥාණසාරට නැවතත් බුදුන් කියැවීමට මේ කාලය ප්‍රයෝජනයට ගත හැකිය. මෙය ඥාණසාරට අවශ්‍ය නම් ‘සාධු’ කෙනෙක් වීමට කල්පනා කිරීමට මොහොතකි.

‘සිවුර නොදමා දවස් 7ක් හිටියොත් ප්‍රශ්ණයක්’

ඒ අතරතුර මැදගොඩ අභයතිස්ස විසින් මාධ්‍ය හමුවක් කැදවා අපූරු ප්‍රකාශයක් කර තිබේ. එනම් ‘බන්ධනාගාරය තුළ සිවුර ගැලවීම විනය පිටකයට විරුද්ධයි, ඒනිසා ඒ පවුකාර වැඩේට අතගහන්න එපා.’ යැයි ඔවුන් පවසයි. කුමන ආගමක ආගමික සම්ප්‍රදායක් ඇත්තේ ඒ ආගම්වල නියෝජිතයන්ටය. එබැවින් විනය පිටකය අදාල වන්නේ භික්ෂූන්ගේ ක්‍රියාකාලාපය ට අදාල විමසීම්වලටය. මැදගොඩ අභයතිස්ස මෙසේ ද කියයි ‘කිසියම් භික්ෂුවක් අතින් වාචිකව හෝ වැරැද්දක් සිදු වූවා නම් තවත් එවැනි උපසම්පදා භික්ෂුවක් ඉදිරියේ ඒ පිළිබද සමාව ඉල්ලා නැවත එවැනි දෙයක් දේශනා නොකරන බවට කිව යුතුයි’ අභයතිස්සට අනුව ම ලියන්නේ නම්, විනය පිටකයට අනුව, බුද්ධ දර්ශනයේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා’ වැනි ශිෂ්ට අදහස්වලට අනුව ඥාණසාර ක්‍රියාකලා නම් ජම්පරය ඇද හෝ නැති වෙ හෝ අද සිරබත් කන්නට සිදු වන්නේ නැති බව අභයතිස්ස තේරුම් ගන්නේ නම් මැනවි. අනෙක් පසින් යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය ස්ත්‍රියකට බැණ වදිමින් අධිණරනයක් තුළ ප්‍රචණ්ඩත්වය මුදාහල ඥාණසාරට විනය පිටකය මතක් කල යුතුව තිබුනේ මීට වසර කිහිපයකට පෙර බවද අභයතිස්සට මතක් කල යුතුයි. එසේම 2014 වර්ෂයේ අලුත්ගම පාරවල් හරස්කරමින් සිය අනුගාමිකයක් කුපිතකරමින්, මුසල්මානුවන්ට ‘අභසරණයි’ කියමින් වෛරය වැපිරූ ඥාණසාරට විනය පිටකය කියා දිය යුතුව තිබුනේ එදාය. දිගන ගැටුම ඇවිලී යන්න මොහොතකට පෙර එහි ප්‍රධාන වගඋත්තරකරුවන් හමුවට ගොස් සිටියදී ඥාණසාරය විනය පිටකය කියා දිය යුතු ව තිබිණි. ඥාණසාරගේ එැවින හිංසනීය ලැයිස්තුව තවත් දිගුය.

අනෙක් පසින් මේ දිනවල ඥාණසාරගේ සිවුරුදාරී අනුගාමිකයන් සංධ්‍යා එක්ණැලිගොඩ නම් ස්ත්‍රියට ආමන්ත්‍රණයකරන අයුරු සොයා බලා දැන්වත් ඔවුන්ට විනය පිටකය කියා දෙන්න. නැත්නම් ඔබට සිදුවන්නේ අනාගතයේ තවත් මේ අකාරයට ජම්පරය ඇන්දවූ පසු ‘සිවුර නොදමා දවස් 6ක් සිටියහොත්, 7වන දවස උාදවන විට ඔහුගේ භික්ෂූත්වය නැතිවනවා’ යැයි කීමට පමණි. අනෙක මේ තිබෙන්නේ රාජපක්ෂගේ සිහින ‘රජකාලේ’ නොවන වගත්, වර්තමානයේ චීවරය ගලවා ‘ජම්පරය’ අන්දවන්නේ චීවරයට ඇති ගෞරවය නිසා බවත් අභයතිස්ස වැන්න තේරුම් ගත යුතුය. මක්නිසාද යත් චීවරය යනු ඥානසාර වැන්නන්ගේ බූදලයක් නොවන නිසාය. එම චීවරය හැදි ගෞරවනීය මෙන්ම සියලු මිනිසුන්ගේ යහපත පතන ඒ වෙනුවෙන් වෙහෙසෙන භික්ෂූන් වහන්සේලා අපේ සමාජයේ තවමත් සිටින නිසා, ඒ ගෞරවනීය ‘සාදුලාට’ අගෞරවයක් වන බැවින් චීවරය වෙනුවට මේ අශිලාචාර භික්ෂූන්ට නීතියට අනුව ජම්පරය අන්දවනු ලබන බවද අභයතිස්සලාට මතක් කර දිය යුතුය.

විනය පිටකය ‘උලපනේටත්’ කියා දෙන්න

නිතියේ ආධිපත්‍ය අත්‍යවශ බව පවසමින් පහුගිය කාලය පුරා දූෂණ විරෝධී ව්‍යාපාරයක නිරත වුන උලපනේ සුමංගල පසුව ක්ෂණිකයෙන් එයින් ඉවත් වූයේ ය. පසුව ඥාණසාර ගමනේ යනු දක්නට විය. එදවස නීතියේ අධිපත්‍ය ඉල්ලූ උලපෙන් අද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කල අධිකරණය විවේචනය කරමින් මෙන්ම අධිකරණයේ තීන්දුවට එරෙහිව ජනයා කුපිත කරමින් සිටින්නේ නරුම ලෙසය. බලන්න උලපනේ භික්ෂුවගේ ෆේස්බුක් පිටුව. නමුත් දැන් හෙතෙම ජනාධිපති උපදේශකයෙකි. පසුගියදා ජනාධිපතිවරයගේ ජපන් නිළ සංචාරයේ මූලික භික්ෂුවක් වූවේද උලපනේ සුමංගලය. එසේම ආන්දෝලනාත්මක ලෙස ජපාන නිල සාකච්ඡාවක ඉදිරියේම සිටි දැන් රැදවියෙක් වන ඥානසාර ජපානයට ගෙනයාමට පසුපස මෙහෙයුම සිදුකල ඇත්තේද මේ උලපනේ සුමංගල බවත්, ඒ සියලු දේ උලපනේ විසින් සිදුකරන ලද්දේ ඥාණසාරට එරෙහිව පවතින නඩු ගොන්නෙන් ඔහුව ගලවා ගැනීමට බව ප්‍රකටය. ඉන්පසු සිවුරු පූජාකිරීමට සැලසුම්කරන ජාතික උත්සවයක සංවිධායක කමිටුවක(අමාත්‍යංශයක) ඥාණසාර ප්‍රධාන භූමිකාවක් රග දක්වනු පෙණිනි. තවද ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික රූපවාහිනිය සංවිධානය කල වෙසක් සතිය තුළ වූ වැඩසටහනකට එහි නිශ්පාදකයින්ටවත් නොදන්වා බණ කීමට ඥාණසාර පැමිණි අතර එය වැලැක්වීමට හැකි වූයේ එම නිශ්පාදක කණ්ඩායමේ තිබුණු බුද්ධිමත් බාවය නිසාය. මේ සියලු දේ පිටුපස උලපෙන සිටින අතර දැන් ඔහු අලුත් වටයකින් ඥාණසාරට ජනාධිපති පොදු සමාවක් ලබා දිමට උත්සහගනිමින් සිටී. එළඹෙන 18වනදා මිනිසුන් මුලා කරමින්, ජනතාව කුපිත වන අන්දමේ පෝස්ට් ශෙයා කරමින් ඥාණසාරට නිදහස පතා විවිද රගදැක්වීම් සිදු කරමින් ජනාධිපති සිරිසේනට එය පෙන්නනට සළස්වා, කෙසේ හෝ ජනාධිපති සමාවක් ලබා දීම උලපනේගේ සැළසුමය. මේ රග දැක්වීමට සිරිසේන ජනාධිපතිවරයාත් හසුවන්නට ඉඩ තිබේ. ඒ දැන් යහපාලන ජනාධිපතිවරයා විසින් විවිද ක්ෂේත්‍රයන් ඔස්සේ පෙන්නුම්කර ඇති තත්ත්වයන් නිසාය.

(බලන්න උලපනේගේ ෆෙස්බුක් පිටුව – ‘හෙනම ගහපන් තොට’ දැන් මේවාට විනය පිටකයට ආදාල නැති දැයි අභයතිස්සගෙන් අසමු. https://www.facebook.com/ulapanes/posts/1712792275436793)
කෙසේ නමුත් ලංකාවේ අධිකරණය විසින් දී ඇති තීන්දුවට අභියෝග කරමින් ජනතාව කුපිත කරවීම තුළින් අධිකරණයෙන් පිටත තීන්දුව අභියෝගයට ලක්කිරිමත් බරපතල වැරැද්දකි. ‘තීන්දුව ගැන සෑහීමකට පත් වෙන්නේ නැති නම් ඉහල අධිකරණයකට යන්න’ හෝමාගම ගරු මහෙස්ත්‍රාත්වරයා එසේ කීවේ තින්දුව ලබා දීමෙන් පසු ඥාණසාර විසින් ‘මට ප්‍රකාශයක් කරන්න ඕන’ යනුවෙන් බෙරිහින් දීමට ප්‍රතිචාර ලෙසය. එබැවින් උපදේශක සුමංගලලා කල යුතු වන්නේ ඉහල අධිකරණයකට යෑමය. එසේ නැතිව ජනයා වීදි බැස්සවීමෙන් සහ ෆේප්බුක් හී වෛරී ප්‍රකාශ කිරීමට මගපාදන තත්ත්වයන් නිර්මාණය කිරීම නිසා, විනය පිටකය කියා දීම සදහා මැදගොඩ අභයතිස්ස විසින් උලපනේ සුමංගල සොයා පැමිණියහොත් කම්පා නොවන්න.

කෙසේ නමුත් ‘කහ සිවුරේ’ බලය භාවිතා කරමින් නීතියටත් අභියෝග කරමින් හැසිරෙන, ඥාණසාර වැන්නන් සහ එවැනි ගිහි මැරයින්ගේ පීඩාවට ලක්වූ බොහෝ දෙනෙක්ට මේ ලබා දී ඇති නඩු තීන්දුව ‘යුක්තිය’ පිළිබද නැවුම් බලාපොරොත්තු ඇති කරන්නකි. නමුත් එය නොතරෙන සේ ජනයා කුපිත කරන ප්‍රචණ්ඩකාරී කහසිවුරුදාරීන් සහ මැරයින් දැන්වත් සිය ආත්මය සුවපත් කරගැනිමට වෙහෙසිය යුතුයි.එසේ නොවුනහොත් බුද්ධ වචනය විනාශ කරන්නන් අනිකිසිවෙක් නොව වෛරීත්වය වපුරන, යුක්තිය ඉල්ලන ස්ත්‍රීන්ට පරුෂ වචනයෙන් බැණ වදින නරුම ඔබම වනු ඇත. එය ඔබේ ආත්මයට කොහේත්ම හොද නැත.

දැන්වත් කියවන්න බුදුන්….

සම්පත් සමරකෝන් | Sampath Samarakoon