ප්‍රකාශනයේ අයිතිය හා නිදහස වනාහි මෙරට ව්‍යවස්ථාව විසින් පිළිගෙන තහවුරු කොට ඇති රටේ පුරවැසියාගේ මුලිකම මිනිස් අයිතියකි. 1978 ව්‍යවස්ථාවේ 3 වන පරිජේදයේ 14 වන වගන්තියේ 1 (අ) කොටසේ මෙසේ සඳහන් වේ.

“සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය”

මෙරටේ සියලු බදු බර දරමින්, ජිවත් වන පුරවැසියාට ඒ අයිතිය අත්‍යවශයෙන්ම තිබිය යුතු බව අපගේ පිළිගැනීමයි . ඒ අනුව වඩා ශිෂ්ට මෙන්ම දියුණු ලෝකයක් කරා පියනැගීමේ ප්‍රගතිගාමී අදහස් දරන සමාජයන්, රාජ්‍යන් සේම නායකයන් තම රටේ සිවිල් ජනතාව වන සාමාන්‍ය ජනයාගේ හඬට සවන් දේ. ඒවායේ ගැබ්ව ඇති විවේචන, උපහාස, යෝජනා, චෝදනා මේ සෑම දෙයක් කෙරෙහිම උරණ වෙනවා වෙනුවට ඒ දෙස වඩා විවර වී ගියා වූ මනසකින් බැලීම රටේ වගකිව යුතු පාර්ශවන්ගෙන් ඉටු විය යුත්තකි. එහෙත් කනගාටුවට කාරණය නම් ඒ කිසිවක් මෙරටේ එසේ සිදුනොවීමය.

නිමිත්ත

පසුගිය වසරේ එනම් 2017 නොවැම්බර් 24 දින තම ෆේස්බුක් ගිණුමේ පළ කළ ඡායාරූපයක් වටා පොලිසිය විසින් තරුණයන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකොට තිබේ. වවුනියාව උතුර, නැදුන්කනි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපස එම තරුණයන් විසින් ජායාරූපගතකොට තිබුණු අතර, විශේෂත්වය නම් එහි කාර්යාල මිදුලෙහි කප්පාදු කරන ළද විශාල ගසක් පෙනෙන අතර කාර්යාල ඉදිරි තාප්පයෙහි “පැළ සිටුවීමේ මාසය” (Tree Planting Month) යනුවෙන් දෙමළ භාෂාවෙන් බැනරයක් ද ප්‍රදර්ශනය කොට තිබිමයි . ඔවුන් විසින් මෙම ජායාරූපය සමඟ තම ෆේස් බුක් පොස්ටුවේ ජායාරූපයට අදාළ ස්ථානයේ නම පමණක් එනම් “වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය” යනුවෙන් සටහන් කොට තිබේ.

JuxtaposeJs here

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව පොලිසිය විසින් අදාළ තරුණයින්ගෙන් මේ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකොට තිබෙන අතර ඔවුන් දෙදෙනාට සිංහල භාෂාවෙන් දිවුරුම් පෙත්සම් අත්සන් කිරීමට ද බළකොට තිබේ. එසේම මේ ආකාරයෙන් රජයේ කාර්යාල ඡායාරූපගත කිරීම තව දුරටත් සිදුකළ හොත් අනාගතයේදී ඔවුන්ගේ රැකියාව පවා අහිමි විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ. එසේම රජයේ නිලධාරීන්ගේ හෝ රජයේ ආයතනයන් හි ක්‍රියාකලාපයන් මෙලෙස විවේචන කිරීමට ඔවුනට හැකියාවක් නැති බවත් එසේ ජායාරූප ගැනීම නිතී විරෝධී බවත් පොලිසිය විසින් මෙම තරුණයන් වෙත ප්‍රකාශ කොට තිබේ.

මෙයට ප්‍රතිව්රෝධි ප්‍රතිචාරයක් වශයෙන් #justaphotolka #arrestthis යන #TAG භාවිතා කරමින් මෙම ක්‍රියාව අනුමත නොකරමින් Vikalpa, Groundviews , Maatram වෙබ් අඩවි විසින් තම වෙබ් අඩවි, ඉන්ස්ටග්‍රෑම්, ෆේස් බුක් හා ට්විටර් ගිණුම් හරහා සති කීපයක් පුරා රාජ්‍ය ආයතන, රජයේ කාර්යාල හා මහජන මුදලින් නඩත්තු වන කාර්යාල සංකිර්ණ ගණනාවක් එදිනෙදා ජායාරූප ගත කරන ලද්දේ මෙම තරුණයන් දෙදෙනාට එරෙහිව කළ බලපෑම් වලට විරෝධය දක්වමිනි.

තොරතුරු ඉල්ලීම

එයින් නොනැවතී විකල්ප විසින් මෙම (සිදුවීම සම්බන්ධව 2017.12 .08 දින විකල්ප වෙබ් අඩවියේ ෆේස් බුක් ගිණුම හරහා හා ටුවිටර් ගිණුම් ඔස්සේ අපි පාඨකයන් දැනුවත් කළෙමු

තවද සිදුවීම සම්බන්ධව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ වවුනියාව උතුර, නැදුන්කනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරි වෙත තොරතුරු අයදුම් පතක් තැපැල් මාර්ගිකව ඉදිරිපත් කරන ලදී.

එහිදී අප විසින් තොරතුරු විමසන ලද කරුණු දෙකකි

1) ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිරිපස හෝ පසුපස භූමිය ජායාරූපගත කළ නොහැකි යම් කිසි සුවිශේෂ නීතියක් වේද ?
2) එසේ ඇත්නම් එම සුවිශේෂ නීතිය කුමක්ද? යන්නයි .

ඒ අනුව 2017.12 .12 වන දින වවුනියාවෙන් තැපැල් කොට තිබු ලිපියකින් තොරතුරු නිලධාරී විසින් අපවෙත දන්වා ඒවා තිබුනේ අදාළ තොරුතුරු අයදුම් පත ලැබුණු බවත් ඒ සම්බන්ධව පිළිතුරු අප වෙත එවන බවත්ය. ඒ අනුව අප වෙත නැවත ඔවුන් විසින් 2017.12.18 වන දින ලියන පිළිතුරු ලිපි දෙකක මෙසේ දක්වා ඇත.

ඒ අනුව අප විසින් අසන ලද තොරතුරු වලට අදාළ වන සුවිශේෂී නීතියක් ලංකාව තුළ නොමැති බවත්, එසේම තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පමණක් බලපවත්නා එවන් නීතියක් ද නොමැති බවත් අප වෙත දන්වා ඒවා තිබේ.

බලපෑම

එසේනම් දැන් ප්‍රශ්නයක් ඉතිරිව පවතී. එනම් දැන් අප වෙත නිල වශයෙන්ම දැනුම් දී තිබෙන පරිදි මෙම ක්‍රියාව නීතිමය රාමුවකට පවා යටත් නොවන තත්වයක් තුළදී ඉහත සිද්ධිය පදනම් කරගනිමින් තරුණයන් දෙදෙනාට තර්ජනය කළ හැක්කේ කෙසේ ද ? පොලිසියට එවන් බලයක් හා හයියක් ලැබුනේ කෙසේද ? මෙම ආයතනයන් හි රාජ්‍ය නිලධාරීන් තවත් සිවිල් වැසියන් මත තම බලය යොදමින් ජනතා ඇස් කන් වසමින් රිසි සේ තම ඕනෑ එපා කම් ඉටු කරමින් සිටින්නේ තමන් නඩත්තු වන්නේ මේ ජනතාවන්ගෙන්ම බව නොදන්නා නිසාද?

තිබෙන ගසද කපා දමා “රුක් රෝපණය” ගැන බැනරයක් එතනම එල්ලා තැබීම සත්‍ය වශයෙන්ම විහිලුවට කරුණකි. එය වෙනමම විග්‍රහ කළ යුතු කාරණයකි. එහි ඇති උපහාසය වටහා ගන්නට ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ සිට පහළ දක්වාම ඇති නොහැකියාව සම්බන්ධව අපට ඇත්තේ කනගාටුවකි. එහෙත් පවතින ක්‍රමය තුළ රාජ්‍ය ආයතන කෙරෙහි එවන් බලාපොරොත්තුවක් වත් ඇති කරගැනීමට සිත් නොදේ.

මේ තරුණයන් විසින් මෙය අවබෝධ කොට ගැනීමම අප දකිනා අර්ථයෙන් නම් ප්‍රශංසනිය ය. එහෙත් එම සිදුවීමෙන් පසුව තරුණයන් දෙදෙනා බියට පත්ව ඇති අතර එය සත්‍ය වශයෙන්ම මෙරට සාමාන්‍ය ජනයාගේ ප්‍රකාශනයේ නිදහසටත්, පොදු ජනයා රාජ්‍ය ක්‍රියාකාරිත්වය වෙත දක්වන ප්‍රතිචාර අඩපණ කිරීමටත් හේතුවීමක් වේ.

අනෙක් අතට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නිදහස් ප්‍රකාශනයේ අයිතිය පමණක් බුක්ති විදීම නිසාත්, සමාජ පද්ධතීන් කෙරෙහි සංවේදී වීම නිසාම මේ තරුණයන් බයගැන්වීම නරක පුර්වාදර්ශ සැපයීමක් වේ.

සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් හා අන්තර්ජාල අවකාශ හරහා සාමාන්‍ය පුරවැසියා අන් කවරදාටත් වඩා සක්‍රියව සිටින මොහොතක, අදහස් බෙදා හදා ගනිමින් හා හුවමාරු කරගනිමින් සිටින මොහොතක රාජ්‍ය විසින් පොදු වැසියාගේ සමාජ මාධ්‍ය අධීක්ෂණ කරමින් නීතියෙන් පවා බැහැර වෙමින් තග දමිමින් සිටීම පොදු අවකාශය මත තම අදහස් ප්‍රකාශ කරන බොහෝ දෙනෙකුට සපයන්නේ භයානක පූර්වාදර්ශයකි.

එය සමාජ ගතවනු ඇත්තේ සමස්ත සමාජයේම ප්‍රකාශනයේ නිදහසට අහිතකර බලපෑම් ද එල්ල කරමින්ය.