\

ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දැක්වූ යෝජනවාට කුමක් සිදුවේද?

කතුවැකිය – ශ්‍රී ලංකා ගාර්ඩියන්

අවසානයේදී එයද සිදු වූයේය. පවතින සාමන්‍යය සමාජ ආයතන හිතලුවක් බවට පත් කිරීම සහ ඒවායේ කාර්යය භාර්යය හෑල්ලුවට ලක්ක කිරීම, “ජනප්‍රියවාදී ආණ්ඩුකරණයේ (පොපියුලිසම්)” මූල ධාතුව ලෙස හැඳින්වීමේ වරදක් නැත. පවතින ක්‍රමය හාස්‍යයට ලක් කිරීම සහ හැකි පමණින් නවාකාරයක සිහින ලෝකයක් සඳහා මංමුලාකාරී සිහින මැවීම එහි දක්නට ලැබෙන මූලික ක්‍රමෝපායික භාවිතය වේ.

එනයින් බලන කළ එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජෝන් යුන්, සිංගප්පුරුවේදී හමුවීම සහ කිම්ට තමන්ගේ නිල රථයේ ඇති සුවපහසුව ගැන සහ වීඩියෝ පට ගැන පුරසාරම් දෙඩීම හුදු අමනෝඥ ක්‍රියාවක් නොවේ. මානසික මෙහෙයුම් වල පළමු අධියර වන්නේ තම ප්‍රතිවාදියා ජීවත් වන ලෝකය අර්ථ ශූන්‍යය කිරීම සහ තම අධිපත්‍යය පැතිරවීම සඳහා තමන් වෙසෙන වටපිටාවේ ඇති සුව පහසුව ගැන පුරසාරම් දෙඩීමය. ජනාධිපති ට්‍රම්ප් මෙම කුසලතාවයට සහජ හැකියාවක් ඇති අයෙකි. මහත් ප්‍රසිද්ධියට පත් සිංගප්පුරු සමුළුව යනු මෙම ජනප්‍රියවාදී ආණ්ඩුකරණයේ ජයග්‍රහණයක් වුවද එය ජනතාව හමුවේ බැඳී ඇස්බැන්දුමක් වුවහොත් පුදුමයක් නැත.

පැරණි ලෝකය බිඳ වැටී, නවාකාරයක රාක්ෂයකු (මොන්ස්ටර්) බිහිවීමේ හෝ බිහිකිරීමේ ප්‍රතිවිපාකය මෙයයි. ග්‍රාම්ස්චියානු ඉගැන්වීම් වල මූලිකවශයෙන් එළඹෙන නිගමනය මෙයයි. එය වත්මන් ලෝකය හමුවේ වඩාත් ශක්තිමත් ලෙස මතු වී ඇත. නව ලෝකයක් ඉපදීම සඳහා සුවිශාල ඛේදවාචකයකට මුහුණ දීමේ ඇත්ත ක්‍රමයෙන් යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ.

ජීවිත හානියකින් හෝ දෝෂාභියෝගයකින් පාරාජය නොකළහොත්, ජනාධිපති ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරණයෙන්ද ජයග්‍රහණය කොට තම දෙවනවාරයද සම්පූර්ණ කළහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. අවබෝධයක් ඇති නමුත් තම මූලික අයිතීන් සමාජ වාතාවරණය හමුවේ භාවිතා කිරීමට මැලිවන පිරිස වැඩිවන තරමට ට්‍රම්ප් වැනි ජනාධිපතිවරයෙකුට තම දේශපාලනය වඩාත් ශක්තිමත් කර ගැනීමට පහසුය. මෙවැනි පාලකයින්ට අවශ්‍යය වන්නේ, ජනතාවගේ පිළිගැනීම නොව ජනතාව හමුවේ අධිපත්‍යය පැතිරවීම හෝ ජනතාව මුලාවේ හෙළීම සඳහා විවිධාකාර මට්ටමේ රඟපෑම් ඉදිරිපත් කිරීමය. අවාසනාවට මෙන් මෙය, දේශපාලනය නමැති වෙළඳපොලේ පාවෙන තලය තුළ සිටින බහුතරයකගේ ඉල්ලීම වේ.

මෙහි තවත් එක් පියවරක් ලෙස, මීට පැය කිහිපයකට පෙර එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය ඉතාම බියජනක තීන්දුවක් ගත්තේය. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමටය. හේතුව ලෙස සඳහන් කරනු ලැබුවේ, එම කවුන්සලය, ඊශ්‍රායලය කෙරෙහි දක්වන විරෝධයයි. මෙම තීන්දුව, මීට වසර කිහිපයකට පෙර එනම් 2015 දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රසය හමුවේ ජගත් මානව හිමිකම් කවුන්සලය ගැන ඉදිරිපත් කළ අදහස සමඟ වඩාත් හොඳින් ගැලපේ. ඔහු එහිදී කියා සිටියේ, මානව හිමකම් කවුන්සලය යනු විහිළුවක් බවයි. වසර කිහිපයක අවෑමෙන් පසු ට්‍රම්ප් එය නිල වශයෙන් පිළිගෙන, මානව හිමිකම් කවුන්සලයෙන් ඇමෙරිකාව ඉවත් කළේය.

යළිත් සටහන් කළ යුත්තේ, මෙය ඉතාම බියජනක කාරණයකි. මන්ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු යලිත් එවැනි ගැටුමක් ඇති නොවීම සඳහා බිහි බිහිකරනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ අභියෝග මධ්‍යයේ වසර 70ක් පුරා පැවතුණි. ආයතනයක් ලෙස එහි දුර්වලතා රාශියක් ඇති බව සත්‍යයකි. නමුත් එය කළ මෙහෙය අතිශය විශාලය. එය හෑල්ලුවට ගැනිය නොහැකිය. නමුත් සිදු විය යුතුව ඇත්තේ එය තව දුරටත් සමාජ සාධාරණත්වය සහ අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍යය ශක්තිය සහ පරිසරය සකස් කිරීමය.

ඒ වෙනුවට, අදාළ ආයතනය නඩත්තු කිරීමට වැඩිම මුදලක් ලබා දෙන සාමාජික රටවන ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීම යහපත් තීරණයක් ලෙස සැලකිය නොහැකිය. මෙහිදී එක්සත් ජනපද පරිපාලනය බරපතළ අතුල්පහරක් හෙළා ඇත්තේ, ලෝකයේ වෙසෙන සාමන්‍යය ජනතාවට එරෙහිවය. මින් සිදුවිය හැකි හානිය, සිතනවාට වඩා බරපතළ විය හැකිය.

එමඟින් සිදුවිය හැකි වඩාත් බරපතල කාරණය වන්නේ මෙම තීන්දුව දඩමීමා කරගෙන වෙනත් රටවල බලය අභිමත ලෙස භාවිතා කරමින් සාමන්‍යය ජනතාව තලා පෙලා දමන පාලකයින් කළ කටයුතු වලට එරෙහිව ගැනීමට හැකි සාමුහික ක්‍රියාමාර්ග ඉතාම දුර්වල තත්වයට ඇද වැටීමය.

ශ්‍රී ලංකාවට සම්බන්ධව මෙම තීන්දුව ගැන සිතීමේදී පැන නගින මූලික කාරණය වන්නේ, එක්සත් ජනපදය සමග සම-අනුග්‍රහයෙන් සම්මත කරගත් යෝජනාව දේශීය දේශපාලනය තුළ කුමන හැඩයක් ගන්නේද යන්නය. තම අගතීන් සහ පව් අනුන්ගේ පිටින් හෝ යවා වසා ගැනීමට සෑම විටම මාන බලන අපරාධකාරයින් මෙය ආශිර්වාදයක් ලෙස සලකා ඊට විවිධ වෙස් මුහුණු පළඳවා පුරසාරම් දොඩනු ඇත. රටේ ස්වෛරීත්වය, දේශප්‍රේමය ආදී තම වාසිය උදෙසා ව්‍යාකූල කරනු ලැබූ මූලික සංකල්ප තම පෞද්ගලික වාසී ලබා ගැනීම සඳහා තවදුරටත් භාවිතා කරනු ඇත.

නමුත්, මෙහිදී අමතක නොකළ යුත්තේ, ඇමෙරිකාව හෝ ස්වාසිලන්තය සම-අනුග්‍රහය දැක්වූයේද? එම සම අනුග්‍රහකායගේ දේශපාලන තීන්දුව අනුව අපේ වගකීම් සහ අවංකබව වෙනස් කරන්නේද? යන කාරණා නොවේ. එනම්, වැදගත් වන්නේ, රටේ ජීවත් වූ අපේම මිනිසුන් අපේම අකටයුතුකම් වලින් අපරාධවලට ලක් වී තිබේනම් ඊට සාධාරණය ඉටු කිරීමේ මූලික වගකීමක් අපි සියලු දෙනාටම පැවරේ. වැදගත් වන්නේ එම මූලික කාරණය මත පිහිටා කටයුතු කිරීමය.

කෙසේ හෝ වේවා; ජගත් දේශපාලනය ක්‍රමයෙන් නව මුහුණුවරක් ගනිමින්, ලෝකය හමුවේ නිර්මාණය කරමින් සිටින පරිපාලන ක්‍රමවේදය එතරම් සුභවාදී නැත. ඊට එරෙහිව දේශ සීමා වලින් ඔබ්බට ගිය මානව අයිතීන් වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරමින් විඳවන මිනිසුන් සුවපත් කළ හැකි පුළුල් ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාවය දැඩිව මතුවී තිබේ.

ට්‍රම්ප්ගේ අලුගුත්තේරු සහ මුලද මත පමණක් පිහිටා නිගමන වලට එළඹෙමින් සකස්කොට ඇති පරිපාලන උපායන් සහ තෙරේසා මේගේ ව්‍යාකූල වූ කබල් උපායන් පසෙකලා බැලූ විට පෙනෙන එකම විකල්පය, ස්කැන්ඩිවෙනියානු රාජ්‍යයන් එකතු කරගත් පුළුල් සංවිධානයක අවශ්‍යතාවයයි. ඊට, මූල්‍යයමය පැත්ත පමණක් සිතමින් මානව ගරුත්වය සහ අගනාකම් ශතයකට මායිම් නොකරන වත්මන් බලධිකාරී පරිපාලනයකට එරෙහිව ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන් එකතු කළ හැකි යැයි සිතේ. එය නොවන්නට මෙහි කෙළවර සිතා ගැනීමට නොහැකි ඛේදවාචක ගොන්නක් මානව සංහතියට එකතු කරනු ඇත.

නිලන්ත ඉලංගමුව | Nilantha ilangamuwa