චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින් ඩොලර් මිලියන ගණනක් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට ගෙවා ඇති බවට ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කළ හෙළිදරව්ව, 2015 පරාජයේ පටන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීමට දඟලන දැඟලිල්ල සදහට නතර කිරීම සඳහා යහපාලන ආණ්ඩුවටත්, පුළුල් සිවිල් සමාජ ව්‍යාපාරයටත් අගේට පාවිච්චියට ගත හැකි සිද්ධියකි. ඒ දැඟලිල්ල, ඔවුන්ට අනුව, ‘මහින්ද සුළඟකි.’ එසේ තිබියදීත් ඉහත කී හෙළිදරව්ව ගැන ආණ්ඩුව දක්වන ඇල්මැරුණු ප‍්‍රතිචාරය පුදුමාකාර ය.

මොන තරම් පුදුමයක් ද යත්, හිටපු ඒකාධිපතියාට මේ ආණ්ඩුව රහසින් සහයෝගය දෙන්නේ ද යන කුකුස පවා කෙනෙකු තුළ ඇති කරවන තරම්. එසේ කරන්නේ මන්දැ යි දන්නවා ඇත්තේ ආණ්ඩුවම පමණි. මේ ආණ්ඩුවේ ඇතැමුන්ගේ අත්වල ගෑවී තිබිය හැකි යම් මඩක් වේ නම් එය වසා ගැනීම සඳහා හිටපු පාලකයාගේ උදව්වක් අවශ්‍ය නිසා ඔහු ගැන මෙතරම් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවාදැ යි කෙනෙකු තුළ සැකයකුත් දනවන සුළු ය. සමහර විට, යම් කාරණයක් සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටීම, උපායිකව ප‍්‍රයෝජනවත් වන අවස්ථා තිබේ. එහෙත්, ස්වර්ණමය දේශපාලනික අවස්ථාවක් ඒ නිශ්ශබ්දතාවය නිසා තමන්ගෙන් ගිලිහී යන්නේ නම් එය උපායික අමනෝඥ කමක් වන්නේය.

මහින්දගේ ගෝලයෝ පණිවිඩකරුවාට බැට දෙති

රාජපක්ෂ තන්ත‍්‍රය සඳහා කඬේ ගිය, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ ‘වියත් මග’ සංවිධායක ආචාර්ය නාලක ගොඩහේවා වැනි පුද්ගලයන් දැන් පණිවිඩකරුවාට තඩිබෑමට පටන්ගෙන තිබේ. ගොඩහේවා කියන්නේ, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ යනු කැලෑ පත්තරයක් ලූ. කරුණාකර ගූගල් සෙවීමක් කරන්න. එවිට කෙනෙකුට ලැබෙනු ඇත්තේ පහත සඳහන් ආකාරයේ විස්තරයකි.

‘‘නිව් යෝර්ක් ටයිම්ස් යනු, නිව් යෝර්ක් නුවර කේන්ද්‍ර කර ගත්, ලොව පුරා පාඨක ජාලයක් සහ ලෝක බලපෑමක් සහිත පුවත්පතකි. 1851 දී ආරම්භ කරන ලද මෙම පුවත්පත ‘පුලිට්සර්’ සම්මාන 125 ක් දිනාගෙන තිබේ. එපමණ සම්මාන ප‍්‍රමාණයක් වෙන කිසි පුවත්පතක් දිනාගෙන නැත. ලෝකය පුරා සිටින පාඨක ප‍්‍රජාවේ තරම ගැන බලන විට එම පුවත්පතට ලෝකයේ 17 වැනි ස්ථානය හිමි වෙයි.’’

මොන තරම් සාර්ථකත්වයක් ද, ඔවුන් සතු ඒ විමර්ශනාත්මක මාධ්‍ය භාවිතය තුළ දැන් ඔවුන් මේ කතාව අපට හෙලිදරව් කොට තිබේ. එය, විශේෂිත දත්තවලින්, චෝදනාවලින් සහ පරීක්ෂා කර බැලිය හැකි සාක්ෂිවලින් සමන්විතයි. මේ බැංකුවේ චෙක්පත් මාර්ගයෙන් ගෙවන ලද මුදල් ගනුදෙනු පිළිබඳ පිටපත් තමන් සතුව තිබෙන බව ලිපියේ කතුවරිය කියයි. මහින්දට ලැබුණු එම මුදලින් කොටසක්, ගෞරවනීය සංඝයා වහන්සේලාගේ සහයෝගය තම ඡන්ද ව්‍යාපාරයට ලබා ගැනීම අරමුණු කරගෙන එක් ප‍්‍රකට භික්ෂුවකට මහින්ද රාජපක්ෂ ගෙවා ඇති බවත් ඒ ලිපියේ සඳහන් වෙයි.

මහින්ද රාජපක්ෂගේ ප‍්‍රකාශය

තමාගේ මැතිවරණ ව්‍යාපාරයට මේ ‘චයිනා හාබර් සමාගමෙන්’ ඩොලර් මිලියන 7.3 ක් ලබා ගත් කතාව හිටපු ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. චෝදනාවක් ප‍්‍රතික්ෂේප කිරීම ඔහුගේ කාරිය වෙතත්, මේ සිද්ධිය බරපතල කාරණයක් වශයෙන් ගෙන, ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ආණ්ඩුවේ වගකීමකි. මේ සම්බන්ධයෙන් තමාගේ සුප‍්‍රකට කඩුව පාවිච්චි කිරීමේ අවස්ථාව දැන් ජනාධිපතිවරයාට ලැබී තිබේ.

මහින්ද රාජපක්ෂගේ හේතු දැක්වීම තුළ අතාර්කික කරුණු ගණනාවක් දක්නට ලැබේ. වර්තමාන ආණ්ඩුව අවසානයේදී එකී ‘චයිනා හාබර් සමාගමටම’ වරාය නගර ව්‍යාපෘතියත් භාර දීම තුළින්, එම සමාගම ගැන නැගෙන මෙවැනි චෝදනා නිෂ්ප‍්‍රභා වන්නේ යැයි මහින්ද කියයි. කෙසේ නම් එසේ වන්නද? රටක් වශයෙන් ගිවිසුමකින් බැඳී සිටින සහ ව්‍යාපෘතියේ වැඩත් බාගෙට පටන්ගෙන ඇති මහ පරිමාණ ව්‍යාපෘතියක්, මෙවැනි අක‍්‍රමිකතාවක් හේතුවෙන් ඒකපාර්ශ්විකව අවලංගු කිරීමේ හැකියාවක් රටකට නැත. ඒ අතරේ, හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සුදු හුණු ගෑමට එම ප‍්‍රකාශය තුළ මහින්ද දරණ ප‍්‍රයත්නය ඊටත් වඩා හාස්‍ය ජනක ය. ඔහු ඒ ගැන කියන්නේ මෙවැන්නකි.

‘‘හම්බන්තොට වරාය ගොඩනැගීම සඳහා ගෙවීම කිසි විටෙක ප‍්‍රශ්නයක් නොවුණි. මන්ද යත්, ඒවා ගෙවන ලද්දේ, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභවලින් බැවිනි. සියලූ ණය සහ බදු මුදල් ගෙවීමෙන් පසු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 2014 සඳහා වන ලාභය, විගණකාධිපති වාර්තාවට අනුව, රුපියල් බිලියන 8.8 කි.’’

මෙසේ කීමෙන් මොහු නගන්ට තතනන තර්කය කුමක් ද? පීටර්ට ගෙවීම සඳහා පෝල්ගෙන් සොරකම් කරන බව ද? හම්බන්තොට වරාය ගොඩනැගීම සඳහා කොළඹ වරායෙන් ගෙවීම් කිරීම ප‍්‍රශ්නයක් නොවන්නේ එසේ වන්නේ නම් ය.

බරපතල ප‍්‍රශ්න

විශේෂිත හේතු තුනක් නිසා, මේ චීන හුටපටය පසෙක ලෑමේ හැකියාවක් ආණ්ඩුවට නැත. මුලින්ම, මේ කතාව ඇත්තක් නම්, ලංකාවේ වෙනත් ව්‍යාපෘති ගණනාවක් චීන සමාගම්වලට ලබා දීමෙන් මහින්ද රාජපක්ෂ අත යට මුදලක් ගසා කා ඇති බවට නැගෙන චෝදනාවලට විශ්වසනීයත්වයක් ලැබේ. චීනය ලංකාවට ණයක් දෙන විට එයින් කොටසක් මෙසේ අත යට ගනුදෙනුවක් වශයෙන් ලංකාවේ නායකයාට ලැබෙන්නේ නම්, චීනය කියන සමාගමට එම කොන්ත‍්‍රාත්තුව පිරිනැමීමට ලංකාවේ නායකයාට සිදුවන්නේය. එවැනි අයථා පූර්ව කොන්දේසියක් තුළින්, ලංකාවේ දේශපාලන නායකයන් සහ චීනයේ බලවතුන් අතර අයථා සම්බන්ධතා ගොඩනැගේ. එවැනි තත්වයක් යටතේ, අදාළ ව්‍යාපෘති සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවේ. ඒ අනුව, ලැබෙන ව්‍යාපෘතියෙන් කොමිස් කුට්ටි තමන්ට ලබා ගැනීමේ අවස්ථාව දේශපාලඥයන්ට උදාවෙයි. මෙවැනි ගනුදෙනුවල තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන ශ‍්‍රමයත් චීනයෙන්ම සපයා ගැනීමට සිදුවීමයි. මේ නිසා ලංකාවේ ශ‍්‍රමිකයන්ට එවැනි ව්‍යාපෘතියක රැකියා අවස්ථා ලැබෙන්නේ නැත. එවැනි භාවිතාවක් ලංකාව වැනි රටකට කොහොත්ම නොහොබී.

ගැඹුරින් කරුණු සොයා බැලීමකින් තොරව චීනය වෙනත් රටවල්වල යටිතල ව්‍යාපෘති සඳහා ණය ලබා දෙන්නේ, එම රට තමන්ගේ භූ-දේශපාලනික අණසක යටතේ පවත්වා ගැනීමට බව කියැවේ. ණය ගන්නා රට, ගත් ණය ආපසු ගෙවීමේ කාලය එන විට එම ණය ගෙවා ගත නොහැකිව හිර වන්නේය. එවිට චීනය කරන්නේ, අදාළ ව්‍යාපෘතිය හෝ එය පිහිටි රටේ බිම් ප‍්‍රමාණයක් හෝ ව්‍යාපෘතියේ ඇතැම් පහසුකම් සම්බන්ධයෙන් විශේෂ අයිතියක් හෝ තමන් වෙත පවරා ගැනීමයි. ඔස්ටේ‍්‍රලියාවේදී මේ ළඟදී මා නැරැඹූ එක් වාර්තා චිත‍්‍රපටයකින් පෙන්වා දුන් පරිදි, ‘වනුවාටු’ නැමැති ශාන්තිකර සාගර දිවයිනේ චීනය ගෙන යන සෙල්ලම එයයි. ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ලංකාව සම්බන්ධ ප‍්‍රවෘත්තිය තුළ රොඩි‍්‍රගෝ නැමැති අපේ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ගැන සඳහන් වෙයි. ඔහු පෙන්වා දෙන පරිදි, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ගැන මූලික සාකච්ජා වටයේදීම චීනය අපට පටවා ඇති එක් කොන්දේසියක් තිබේ. එනම්, හම්බන්තොට වරායට එන්නේ කවුද, එයින් පිට වී යන්නේ කවුද යන්න දැන ගැනීමේ අයිතිය චීනයට තිබිය යුතු බවයි. (මේ ලාංකික රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියා ඒ සාකච්ජාවලට සහභාගී වූවෙකි)

විදේශ බලපෑම්?

දෙවැනුව, මේ කතාව ඇත්තක් නම්, විදේශ රටක් අපේ රටේ දේශපාලනය තුළ කවුරුන් බලයට පත්විය යුතුද යන්න තීරණය කිරීමේ බලය පවරාගෙන ඇති බව පෙනේ. එය ඉතා බරපතල කාරණයකි. එහිදී මහින්ද රාජපක්ෂ කර තිබෙන්නේ, අතීතයේ අපේ ඇතැම් රජවරුන් විදේශ ආක‍්‍රමණිකයා සමග රහස් ගනුදෙනුවලට ගොස් ඇතිවා සේ, තමාගේ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා, අපේ රටේ ස්වෛරීත්වයට අතපෙවීමට චීනයට අවස්ථාව සලසා දීමයි. මහින්දගේ ජනප‍්‍රිය පුරසාරමක් වන, ඔහු තුළ ඇතැයි කියන ජාතිමාමකත්වය මෙහිදී පුස්සක් වෙයි.

වර්තමාන තත්වය තුළ දේශපාලඥයන්ට සහ දේශපාලන පක්ෂවලට, මැතිවරණ සඳහා විශාල මුදලක් අවශ්‍ය කෙරේ. එය අප කවුරුත් දන්නා දෙයකි. ඕස්ටේ‍්‍රලියාවේ ඒ ඒ අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප‍්‍රමාණය අනුව, ඔවුන්ගේ මැතිවරණ වියදම්වලින් යම් කොටසක් ආණ්ඩුවෙන් ගෙවනු ලැබේ. අනිත් අතට, ඡන්දාපේක්ෂකයන් මැතිවරණ වියදම් සොයා ගන්නා මූලාශ‍්‍ර සහ එම මුදල් වියදම් කරන ආකාරය ප‍්‍රකාශයට පත්කළ යුතු බවට එරටේ නීතිරීති පනවා තිබේ. විදේශ මූලාශ‍්‍රවලින් අරමුදල් ලැබෙන්නේ නම් ඒවා වහාම ප‍්‍රකාශයට පත්කළ යුතුය. ලංකාවත් මීට සමාන නීතිරිති පනවා ගැනීමට කාලය පැමිණ තිබේ.

සඟ සසුනටත් කැළලක්?

තෙවැනුව, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා සපයන ලද මේ ණය මුදලෙන් ඩොලර් 38,000 ක් එක්තරා ප‍්‍රකට භික්ෂුවකටත් ගෙවා තිබීම පිළිබඳ චෝදනාවත් වහා විභාග කළ යුතුය. එය ඇත්තක් නම්, ‘සැබෑ බෞද්ධ නායකයෙකු’ වශයෙන් මහින්ද රාජපක්ෂ රටට ගෙනහැරපාන ප‍්‍රතිරූපය සුනුවිසුණු වනු ඇත. ඒ ආකාරයෙන්ම, අනිත් පැත්තට, අතීතයේ ගෞරවනීයව පැවති භික්ෂු සාසනය සහ භික්ෂූන් වහන්සේලා වර්තමානයේ පිරිහීමට ලක්වෙමින් තිබීමේ ඛේදවාචකය මේ සිද්ධියෙන් තවත් ස්ඵුට වන්නේය, එබැවින්, භික්ෂු සාසනයේ උන්නතිය සඳහා එම තත්වය නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැනනගී.


ෂ්‍යාමන් ජයසිංහ

2018 ජුලි 1 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The China Story Can Bring in A Tide Against Former President: Will the Government Use It?නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි