අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව  හා මරුනත්කෙනි  ප්‍රා.ලේ  කොට්ඨාශ ආවරණය වන පරිදි  14වනදා යාපනය වීරසිංහම් ශාලාවේත්, 15වනදා කිලිනොච්චියේ පළමු  රැස්වීම  කිළිනොච්චි සමූපකාර ශාලාවේත් පැවැත්විය.

එම සැසි 2ක සදහා අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති නීතිඥ සාලිය පීරිස්, කොමසාරිස්වරුන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ජයදීපා පුන්‍යමුර්ති, මේජර් ජෙනරාල් මෝහන්දි ආන්නදි පීරිස්, සෝමසිරි කේ. ලියනගේ, කනපතිපල්ලෛයි වෙන්තන් යන අය සහභාගී වී සිටියහ.

‘OMP තනිකරම සිංහල එකක්, එකෙන් ඔක්කොම වැඩ වෙන්නේ සිංහලෙන්, සභාපතිත් සිංහල, අපිට OMP විශ්වාස නෑ. අපේ ඇතුරුදන් වුන අය හොයන්න අපිට ඕන ජාත්‍යන්තර පරීක්ෂණයක්’

යැයි කියමින් OMP යාපනය සැසිය ආරම්භ කිරීමට පෙර මව්වරුන් 60කට ආසන්න පිරිසක් විරෝධතාවයේ යෙදිණි. පසුව ඔවුහු  වීරසිංහම් ශාලාව වෙත ට ද ඇතුලු වී එහි කටයුතු සිදුකරගෙන යාමට බාධා වන අයුරින් සිය විරෝධතාවයේ යෙදුණු අයුරු දක්නට ලැබිණි.

එසේම ස්ව කැමැත්තෙන් OMP සැසිය සදහා සහභාගී වීමට පැමිණි වින්දිතයන්ට ශාලාව වෙත ඇතුලු වීමට නොදී ඔවුන්ට බාධා කරමින් ඔවුන්ව නැවත හරවා යැවීමට ඇතැම් මව්වරුන් උත්සහ ගන්නා බවක්ද  එහි දී පනෙන්නට විය.

‘ඔබට OMPට විරුද්ධව උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය අපි පිළිගන්නවා. ඒත් මෙයට කැමති අයට එන්නට බාධා කරන්න එපා.’

OMP යාපනය සැසිය ආරම්භ කිරීමට දිගින් දිගටම බාධා කිරීම් නිසා, එය නවත්වන්නැයි ඉල්ලමින් OMP සභාපති, නීතිඥ සාලිය පිරීස් මහතා විරෝධතාවයේ යෙදුනණු මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එහි දී සභාපති සාලිය පීරිස් වැඩිදුරටත් සදහන් කළේ, ‘අපිට ඔබේ වේදනාව තේරෙනවා. ඒ වගේම මෙතෙන්ට විශාල පිරිසක් OMP පිළිගනිමින් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ඔබත් ඇවිල්ලා ප්‍රශ්න තියනවා නම් කතා කරමු.

‘මේක දේශපාලන රැළියක් නෙවෙයි. මේක අතුරුදහන් වුවන් හොයන්න ගන්න වෑයමක්, කරූණාකර එය කඩාකප්පල් කරන්න එපා’ එහිදී විරෝධතා පැවැත්වූ මව්වරුන් වෙත ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු කියා සිටියාය. එසේම ‘ඔබේ දරුවන්ව හොයන්න අපිට අවස්ථාවක් දෙන්න’ යයි ශාලාව තුළ විරෝධතා දැක්වූ මව්වරුන් වෙත OMP සභාපති, නීතිඥ සාලිය පිරීස් කියා සිටියේය.

 


‘ජනාධිපතිතුමා කියන ඒවත් එක්ක කොහොමද අපි  #OMP විශ්වාස කරන්නේ’ මව්වරුන් පෙරළා කීහ.

https://www.facebook.com/Vikalpasrilanka/videos/10156515561264806/

කෙසේ නමුත් පැය 2කකට ආසන්න කාලයක් ප්‍රමාද වීමෙන් පසුව වුවද  OMP යාපනය සැසිය වින්දිතයන් 700කට ආසන්න ප්‍රමාණයක සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට හැකිවිය.

එහිදී අදහස් දැක්වීමේ සැසියේදී  2007 වසරේදී තම පුතු අතුරුදහන් වූ පියෙකු වන හිටපු නල්ලුර් ප්‍රාදේශීය ලේකම්වරයෙකු වන විශ්‍රාමික කේ. කනගරත්නම් මහතා ප්‍රශ්න කළේ “මෙතන ඉන්න ගොඩක් අයගේ දරුවෝ අතුරුදහන් වෙලා ඉන්නේ හමුදාවෙන් අරන් ගිහින්, නැත්නන් හමුදාවට යුද්ධයෙන් පස්සේ භාර වෙච්ච අය. ඒත් ඔයාලගේ OMP කමිටුවේ හමුදානිලධාරියෙක් ඉන්නවා. මේක අපක්ෂපාතී එකක්, මේකෙන් සාධාරණයක් වෙයි කියලා අපි හිතන්නේ කොහොමද? ඒක අපිට ප්‍රශ්නයක්. ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල හා අගමැති රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන් කියනවා අතුරුදහන් වුවන් නෑ කියලා, එහෙම තියෙද්දී එහෙනම් ඇයි OMP එකක්” යනුවෙනි.

https://twitter.com/vikalpavoices/status/1018070957531938816

එසේම ප්‍රා.ලේ කොට්ඨාශ ගණනාවක් සඳහාම  පැය 2ක කාලයක් පමණක් ලබා දීම ගැන ඔහු  අසතුට පළකල අතර එහිදී එයට පිළිතුරු දුන් සභාපති සාලිය පිරිස් පැවසුවේ මෙය  මුලික වටයේදී පවුල්  හමුවී OMP ඉදිරි කටයුතු සිදු විය යුත්තේ කෙසේදැයි යන්න පිලිබඳ  මුලික අදහස් විමසීමක් හා OMP කටයුතු සම්බන්ධ දැනුවත් කිරීමක් වන පමණක් වන බවයි. ප්‍රාදේශීය මට්ටමින් උතුරේ කාර්යාල 8 ක්, නැගෙනහිර 3 ක් සහ දකුණේ 5 ක් ඇරඹීමෙන් පසුව ක්‍රමානුකූලව පවුල් මුණගැසීමට ඉදිරියේදී සුදානම් බවත් හෙතෙම කියා සිටියේය.

ශාලාව තුල හඩා වැටෙමින් තම ප්‍රශ්න හා අදහස් ඉදිරිපත් කළ මව්වරුන්, පියවරුන්, බිරින්දෑ වරුන් සියල්ලෝම කියා සිටියේ තමන්ට අවශ්‍ය වන්නේ වන්දි හෝ දීමනා නොවන බවත් තම පුතුන්, දුවරුවන්, ස්වාමිපුරුෂයින් හා සහෝදර සහෝදරියන් බවත්ය, රාජ්‍ය විසින් මිට පෙර පත්කරන ළද විවිධ කමිටු වෙත තමන් නොයෙක් වර තොරතුරු ලබා දී සියල්ලෝම හෙම්බත් වී සිටින බවත් දැන් OMP පිලිබඳ විශ්වාසයක් ඇතිකර ගන්නා ලෙස කියුවද එය අසීරු වී ඇති බවත්ය. එළියේ විරෝධාතාවයේ යෙදෙන අය සේම ඇතුළේ මේ වාඩි වී ප්‍රශ්න කරන සියල්ලෝම දෙගොල්ලක් නොවන අතර තම දරුවන් නිසා වන වසර ගණනක පසු තැවීමෙන් මෙසේ හැසිරීමට සිදු වී ඇති  බවද අදහස් දැක්වුවෝ වැඩි දුරටත් කියා සිටියහ.

කෙසේවෙතත් ‘මට හොඳට තේරෙනවා ඔබේ වේදනාව. අතුරුදහන් වෙලා තියෙන්නේ අපි ඔක්කෝගෙම දරුවො. අපි ඔවුන් පිළිබඳව තොරතුරක් සොයා ගත යුතුමයි’ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු නැවත වරක් පැමිණි සිටි පවුල් වල සාමාජිකයන් හමුවේ ප්‍රකාශ  කළාය.

OMP කිලිනොච්චි සැසියටත් විරෝධතා

යාපනය OMP සැසියට පසු 15වනදා කිලිනොච්චියේ පැවති OMP සැසියටද කිලිනාච්චියේ දින 500කටත් වඩා මහපාරේ සිය දරුවන් ඉල්ලා උපවාස කරන මව්වරුන් ඇතුලු විශාල පිරිසකගේ විරෝධය එල්ලවිය.

යාපනයේ මෙන්ම ඔවුන් OMP ඔවුන් ට අවශ්‍ය නැති බවත්, ඒ පිළිබද කිසිදු විශ්වාසයක් නැති බවත් පවසා ඔවුහු පවසා සිටියහ. එහීදී ද OMP සභාපති, නීතිඥ සාලිය පීරිස් මහතා ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමට  ගත් උත්සහය ව්‍යර්ත වූ අතර මව්වරුන් ඇතුලු පිරිස සමූපකාර ශාලවේ ගේට්ටුව අසල රැදී සිටිමින් සිය විරෝධය දිගටම පළකළහ . එසේම විරෝධතාවේ යෙදෙන මව්වරුන් ඇතුලු පවුල් වල ඥාතින් විසින් පෙත්සමක්  ද එදින උදෑසන  OMP සභාපති, නීතිඥ සාලිය පීරිස් වෙත භාරදෙන ලදී.

https://www.facebook.com/Vikalpasrilanka/videos/10156517933274806/

පසුව, වින්දිතයන් කිහිප දෙනෙක් සහ ග්‍රාමනිළධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් OMP කිලිනොච්චි සැසිය ආරම්භ කලේය. ‘අද මෙතනට ඇවිල්ලා ඉන්නේ සීමිත පිරිසක්. හේතුව තමයි  OMP ට විරුද්ධව පිරිසක් එලියේ විරෝධය දක්වමින් එන අයට කිසියම් බාධා කරමින් සිටිනවා. නමුත් අපි දිගින් දිගටම උත්සාහ කරනවා ඒ අයත් එක්ක කතා කරන්න යයි සැසිය ආරම්භ කරමින් OMP සභාපති, නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය.

https://www.facebook.com/Vikalpasrilanka/videos/10156517954244806/

කිලිනොච්චි මව්වරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන 2009 යුද්ධ අවසාන දිනවල හමුදාවට බාර දුන් සිය සමීපතමයින්ගේ තොරතුරු අඩංගු ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලෙස කරන ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් OMP සභාපති සාලිය පිරීස් මහතා සදහන් කළේ, ‘හමුදාවට බාරදුන් අය ගැන හොයන්න අපි ප්‍රමුඛස්ථානයක් දෙනවා.ඒක ලොකු ප්‍රශ්නයක්”


(අතුරුදහන් ව ඇති  තම දියණිය හමුදාව විසින් රැගෙන යන බස් රථයක සිටින බවට සාක්ෂි සහිත ජායාරූපයක් අතැතිව සිටින මවක්)

එසේම ඔහු කියා සිටියේ තමන් ඇතුලු කණ්ඩායම සමුහ මිනිවලවල් මතුවීම සම්බන්ධ කාරණයන් සම්බන්ධ දැඩි අවධානයෙන් පසුවන බවය. මේ අතුරුදහන් වීම් වලට ලක්ව ඇති කිසිදු  පුද්ගලයෙකු එවන් අවාසනාවන්ත ඉරණමට ගොදුරු නොවේවායි තමන් පුද්ගලිකව විශ්වාස කලත් මේ සම්බන්ධව  තමන් විශේෂ අවධානයකින් පසුවන බව හෙතෙම කීය. සමුහ මිනිවලවල් හමුවූ විටෙක මිනි  ගොඩ ගැනීම සදහා නියෝග ලබා ගැනීමට මහේස්ත්‍රාත් වෙත ඉල්ලුම් කිරීමට හා සෙවීම් ක්‍රියාවලියේදී තාක්ෂණික හා අධිකරණ වෛද්‍ය විශේෂඥන්ගේ සහාය පැතීමත් කරන බව කියාසිටි ඔහු විශේෂයෙන්ම පසුගියදා මන්නාරමෙන් හමුවූ සමුහ මිනීවල සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට තම කණ්ඩායම පියවර ගෙන ඇතැයි තවදුරටත් කියා සිටියේය.

“OMP එකෙන් මරණ සහතික ලබාදෙන්නත් යනවා කියලා මව්වරුන්ගේ අදහසක්  තියෙනවා, එකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද?

මාධ්‍ය හමුවේදී ‘විකල්ප’ විසින් නගන ලද පැනයට පිළිතුරු දුන් OMP සභාපති සාලිය පිරීස් හා අචාර්ය නිමල්කා ප්‍රනාන්දු කියා සිටියේ තමන් විසින් මරණ සහතික නිකුත් නොකරන අතර අතුරුදහඳන් වීම පිලිබඳ සහතිකයක් (Certificate of Absence) පමණක් නිකුත් කරන අතර එය තම ආයතනයේ මුලික කාරණයක් නොවන බවද එය නිකුත් කරන්නේ ද අදාළ පවුල්වල  අතුරුදහන් වූ  තැනැත්තන්ගේ බැංකු, විශ්‍රාමය, රක්ෂණ, දීමනා ආදී කොට වූ කටයුතු වලට පවුල් වෙත අන්තර්කාලින සහයක් ලබාදීම සඳහා වන ලියවිල්ලක් ලෙස පමණක්  බවයි.

 

එදින රැස්වීම සදහා සහභාගී වූ ග්‍රාම නිලධාරින් විසින් මෙම පිඩාවට පත්ව සිටින බොහෝ පවුල් වල අතුරුදහන් වීමට ලක්ව ඇත්තේ පවුලේ ප්‍රධාන ජිවනෝපාය කළ පුද්ගලයින් නිසා මෙම පවුල් දැඩි ආර්ථික හා සාමාජමය  වශයෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් ඒ සම්බන්ධද අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ විමර්ශන කටයුතු කරන අතරේම  OMP අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියහ.

මේ අතර පැමිණ සිටි සුළු පිරිස අතර සිටි මවක් ඉතා සංවේදීව ප්‍රකාශ කළේ තමාත් තම ස්වාමියාත් තම දරුවාගේ අතුරුදහන් වීමෙන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටින අතර දැනට ඒ සඳහා ප්‍රතිකාර ද ලබා ගන්නා බවයි. කෙසේ වෙතත් තමන් සේම  විරෝධතාවේ යෙදෙන මව්වරුන් දැඩි ආවේගයට පත්ව ඇත්තේ මේ නිසාම බව ඇය කියා සිටියාය. ඔවුන්ගේ  ආවේගයන්ට නිසි පිළිතුරක් දීමට නම් කල් නොහැර බොරු පොරොන්දු නොදි ක්‍රියාවෙන්ම  ඒ බව ඔප්පු කරන ලෙස ඇය කියා සිටියාය.

ඉතා සංවේදී  දීර්ඝ ලිපියක්  සභාව ඉදිරියේ කියවන ලද තම මහලු මිත්තනණිය සමඟ පැමිණ සිටි දියණියක කියා සිටියේ තම පියා අවසන් දින කිහිපය තුළ මුල්ලිවයික්කාල් හිදී අතුරුදහන් ව ඇති බවත් දැනට තම මවද දැඩි ලෙස රෝගාතුරුව රෝහල් ගත සිටින බවය. තම පියා තමන්ට  සොයා දෙන ලෙස ඉල්ලමින් කළ දැරියගේ කතාව පැමිණ සිටි සියලු දෙනාගේ දෙනෙත් තෙත් කළහ.

මේ සියලු සංවේදී කතා OMP වෙත පැමිණි නොපැමිණි  සියලු දෙනාගේම වසර ගණනක  කතාව මිස අගාන්තුක කතාවක් නොවන බව කිව යුතුය. අප වසර ගණනාවක් ‘විකල්ප’ වෙබ් අඩවිය හරහා ද  මේ පිලිබඳ ලියා ඇත්තෙමු. බලධාරීන් නැසූ කනින් සිටියා මිසා ඒවාට කිසිදු පියවරක් ගෙන නැත.

දැන් OMP ස්ථාපිත කොට තිබේ. සාමාන්‍ය පුරවැසියනන්ට එය තවත් නමක් පමණි. පැමිණ ඇත්තේ කුමන යාන්ත්‍රණයද යන්න නොව  කුමකින් හෝ  සත්‍ය  හා සාධාරණත්වය ඉටු වීම පමණක් ඔවුහු  බලාපොරොත්තු වෙති. එහෙත්  වසර ගණනක් පුරා රැවටීමට බදුන් වීමෙන් හා යුක්තිය   ඉටු නොවීම නිසාම මේ මිනිසුන් බලාපොරොත්තු කඩවීමෙන් උරණ වී සිටිති.

ඒ නිසාම විශ්වාස කටයුතු උපරිම කාර්යක්‍ෂ ක්‍රමයකින් පුරවැසියකු ලෙස තම උපන් රට තුලදීම කෙනෙකු අතුරුදහන්  නොවී සිටීමේ පුරවැසි අයිතිය වෙනුවෙන් වන වගවීම හා වගකීම මිට ප්‍රථම එසේ අතුරුදන් වූ හා කරවන ලද පුදගලයින් වෙනුවෙන් යුක්තිය ඉටූ කිරීම තව දුරටත් ප්‍රමාද නොකරමින් සිදු කිරීම මගින්ම  පමණක් ඉටු කළ හැකි බව පමණක් බව මතක් කරමු.

කෙසේවෙතත් විරෝධතා මැද ඇරඹුණු උතුරේ යාපන හා කිලිනොච්චි OMP සැසි පිලිබඳ  විකල්ප අප සතුව ඇති නිරීක්ෂණ හා අපගේ අදහස්, යෝජනා හා විවේචන නුදුරේදීම විකල්ප හරහා නැවත අපි ලියා තබන අතර අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නයට  ‘යුක්තිය’ ඉටුකිරීම පිළිබද නීතිඥ සාලිය පීරිස් සහ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු එම සැසිවලදී පෙන්නුම් කළ නිර්ව්‍යාජත්වය සහ සංවේදීකම අප අගයන අතර එය ක්‍රියාවෙන් සිදුකරන තෙක් ‘යුක්තිය’ වෙනුවෙන් පෙනීසිටින සියල්ලෝම ඒ දෙස ඕනෑකමන් බලා සිටන බවද ලියා තබමු.

 

(වැඩිදුර අදහස් සදහා ‘විකල්ප’ වෙබ් අඩවිය යාපනයේ හා කිලිනොච්චියේ  සිට සජීවීව සිය සමාජජාල ගිණුම් තුළ පසුගිය ජිලි මස 14 සහ 15 යන දෙදින තුළ ප්‍රසිද්ධ කළ සටහන් බලන්න.)

අතුරුදහන් වුවන් පිලිබඳ වූ කාර්යාලය පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න