iMage:Voicetube

මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව දැනුම් දුන් පසු කීත් නොයාර් නිදහස් කළ බව එවකටද කියැවිනි. කෙසේ නමුත් කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී ඇත්තේ රජයේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ලබා දෙන්නේ කව්දැයි හෙළි කර ගැනීමට බවත් එවකට ප්‍රසිද්ධ විය.

පසුව සිය ආරක්ෂාව පතා මාධ්‍යවේදී කීත් නොයාර්ට සිදුවුනේ පිටුවහලේ ගත කරන්නටය. අද ද ඔහු ජීවත් වන්නේ ලංකාවෙන් බැහැරවය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම පිළිබද එවකට තිබූ රාජපක්ෂ ආණ්ඩුව කිසිදු පරීක්ෂණයක් සිදු කළේ නැති වුවත්, වත්මන් ‘යහපාලන’ ආණ්ඩුව පත් වූ පසු ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ විය. කීත් නොයාර් මේ වන විට ජීවත්වන රටට ගොස් රහස් පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් ගත්තේය.

එ් ප්‍රකාශය සහ පරීක්ෂණ අනුව රහස් පොලීසිය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේන ප්‍රකාශයක් ගැනීමට ඔහුගේ නිළ නිවසට අද(18) ගොස් තිබිණි.

නාටකය ආරම්භ වන්නේ දැන්ය.

ප්‍රකාශය ලබා දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණියේ, ඔහුගේ පෞද්ගලික ලේකම් වරයෙක් වන උදිත ලොකුබණ්ඩාරට මාධ්‍ය ඉදිරියේම බැන වදිමින්ය.

ඉන්පසු සුපුරුදු මාධ්‍ය සංදර්ශණයය.

පහර කෑමට ලක්ව පිටුවහලේ ජීවත්වන සිය මාධ්‍ය සගයාට පහරදීම පිළිබද, රහස් පොලීසිය විසින් ප්‍රකාශයක් ලබා ගත් හිටපු ජනාධිපති රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන්(?) ප්‍රශ්ණ ඇසුවේ ය. ඇසුවාට වඩා සිටියේ නිකංය.

මේ ඒ ප්‍රශ්ණය.

‘සර් ඔබතුමාගෙන් මොනවද ඇහුවේ අද සීඅයිඩී එක’?
(රාජපක්ෂ පිළිතුරු දෙයි)
‘සර් ඉතින් ඇත්තද ඒ කතාව’?
‘සර් එතකොට සීඅයිඩී එකෙන් කවුද දන්නෑ සහභාගී වුනේ ඔබතුමාගෙන් ප්‍රශ්ණ අහන්න?’
‘මොකද්ද හිතෙන්නෙ..මේ.. මේ’
‘ජනාධිපතිතුමනි, ඔබතුමා හිටපු ජනාධිපතිතුමා විදිහට සීඅයිඩී එකෙන් ප්‍රශ්ණ කරනකොට, ඔබතුමාට මොනවගේ දෙයක්ද හැගුනේ, ඒකියන්නෙ ඔබතුමා රටට වැඩක් කරපු ජනාධිපතිවරයෙක්?’
‘සර් කියන්නේ, මේක පළිගැනීමක් කියලද?
‘රට පාලනය කරන නායකත්ව දෙපලගේ වැඩක් කියලද?’
‘පළිගැනිමක් කියලමද කියලා හිතන්නේ සර්?’
මාධ්‍යවේදියෙක් – ‘ඔබතුමාට එල්ල කරන චෝදනාවලින්, නිවැරදිකරුවෙන්න, ඕක අවස්ථාවක් නෙමේද?’ ‘ඔබතුමාටනේ චෝදනා එල්ල කරන්නේ?’
මහින්ද රාජපක්ෂ – ‘………………..අපිත් ඒ සම්බන්ධව හොයනවා….’
‘සර්ට කරු ජයසූරිය මහත්තයා කෝල් කරාද ඒ සම්බන්ධව?’
මහින්ද රාජපක්ෂ – ‘මට මතකයක් නෑ අනේ’
‘කරු ජයසූරිය මට කතා කරලා දියෙන් රෑ 11.20ට කියලා මෙයාලා කියනවා. මම දන්නේ නෑ එක. හැබැයි ඉතින් ඒකෙන් පේනවා මම 10ට නිදා ගන්නේ නෑ කියලා’ බලන්න වීඩියෝව.

සියල්ලෝම සිනා වෙති.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආපසු හැරී යන්න ගියේය. මාධ්‍යවේදීන් මාන ගත් සිය කැමරාවද තවත් ඔහුට එල්ල කර ගෙන කුමක් කලේ දැයි දන්නේ නැත.

එවකට ද නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කතෘවරයා වූ කීත් නොයාර්ට පහරදීම ගැන කිසිවක් නොකල මහින්ද රාජපක්ෂ අද ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී කියන ප්‍රධාන දෙයනම් ‘මට මතක නෑ අනේ’, ‘මේ දේශපාලන පළිගැනීමක්’ ‘මේ ආණ්ඩුවේ හැටි’ ‘මම 10ට නිදා ගන්නේ නෑ’ වැනි බබා කතාය.

ඒ රාජපක්ෂගේ බබා කතා සේම ජනමාධ්‍යයේද තිබුණේ බබා ප්‍රශ්ණය. එක් ජනමාධයවේදියෙක් පමණක් ‘‘ඔබතුමාට එල්ල කරන චෝදනාවලින්, නිවැරදිකරුවෙන්න, ඕක අවස්ථාවක් නෙමේද?’ ‘ඔබතුමාටනේ චෝදනා එල්ල කරන්නේ?’ යනුවෙන් යම් මට්ටමක ප්‍රශ්නයක් ඇසීය. ඒ ප්‍රශ්ණයෙනුත් මහින්ද රාජපක්ෂ ලිස්සා ගියේ ය.

මහින්ද බබා කතා කිවේය. මාධ්‍ය බබා ප්‍රශ්ණ ඇසුවේය.

මහින්දට අවශ්‍ය දෙය ඔහු කර ගත්තේය.

ඔහු පැමිණියේම තමන්ගේ ලේකම්වරයෙක්ට බැන වදිමිනි. ඒ ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළය. දැන් සියලුම මාධ්‍ය වල විකාශය කරන ලද්දේ, ඒ මහින්ද රාජපක්ෂ විසින් බැණ වදින වීඩියෝව සහ එයට අදාළ කතාව ප්‍රමුඛ තත්ත්වයේ තබා ගෙනය.

ලංකාවේ මාධ්‍ය ගැන මහින්ද හොද හැටි දන්නේය. කිත් නොයාර් ගැන ප්‍රශ්ණය 2වනි විය. ‘මහින්ද සිය ලේකම්වරයාට ප්‍රසිද්ධියේ බනියි’ වැනි ශීර්ෂයන් සමග මාධ්‍ය උඩ දැමූවේ මහින්දගේ ඒ ප්‍රකාශය ය. නමුත් අදාලා ප්‍රශ්ණය වන කීත් නොයාර් නම් මාධ්‍යවේදියාට පහරදීම ගැන මහින්ද රාජපක්ෂ ගෙන් සීඅයිඩිය ඇසු ප්‍රශ්ණ සහ ඊට අදාල තත්ත්වයන් දෙවනි විය. රාජපක්ෂ හැමදාම මෙන් සාම්ප්‍රදායික මාධ්‍ය ඉදිරියේ සිය ආදා න්‍යායෙන් ජය ගත්තේය.

ජය ගත්තා පමණක් නොව අවසාන කලේ සියල්ලන්ම හිනා ගස්සමිනි. ඔහුගේ පාලන කාලය තුළ මාධයවේදියෙක් පැහැරගෙන ගොස් පහරදුන් පසු ඒ පහර දුන්නේ කවුදැයි විමර්ශනය කරන විට එයට අදාල සාක්ෂි හෝ ප්‍රකාශ වලට බදුන්වන වගකීමක් ඇතැයි කියන රාජ්‍ය නායකයා හැසුරුනේ එසේය. ඒ හැසිරීම තුළ වූ තවත් දෙයක් නම් සෑම තැනකින්ම ඔහු සීරුවට ලිස්සා යෑමයි. ‘මට මතක නෑ අනේ’ ‘ඉතින් නිදහස් වෙලා යන එක වරදක්ද?’ වැනි ප්‍රකාශ සිදු කලේය.

‘ඉතින් මම ඇහුවා නිදහස් වෙලා යන එක වරදක්ද කියලා?’ යන්න ඔහුගේ කටින් කියැවුනේය. කිසිදු මාධ්‍යවේදියෙක් එය අල්ලා ගත්තේ නැත. නිදහස් කරන්න නම් ඔහු දැන සිටි යුතු බවට පැවසෙන කතාව දැන් සත්‍යක් නොවන්නේද?

දැන් ඒ වාක්‍ය ඉතා වැදගත්ය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දුන්නේ කවුරුන්ගේ අනුදැනුම යටතේ ද යන්න සෙවීමට අදාල පරීක්ෂණවලටය. අනෙක ඒ තුළ වන යටි අර්ථය පුරවැසියාට වටහා ගැනීමටය.

එබැවින් මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, පහරදීම, අතුරුදහන් කිරීම සහ ඝාතනය කිරීම් පිටුපස සිටින්නේ කුවුරුන්දැයි ලොවම දන්නා අය දැන් තවදුරටත් හෙළිදරව් වීම ආරම්භ වී ඇති බවට ලක්ෂණ පෙන්නුම් කරමින් තිබේ. ඒ ඇතැම් විට ඇතැම් පුද්ගලයන්ගේ ම හැසීරීමෙනි. නමුත් මාධ්‍යට කන් නැති වුනාට මෙරට පුරවැසියන්ට කන් තිබේ. හොරාට කළින් කෙහෙල් කැන වැට පැන තිබේ.

තවත් ප්‍රශ්ණ ඉතිරි නම් මේ වීඩියෝව නැවත වරක් පරිස්සමට අහන්න.

බබා කතාවේ පරිමාව තේරුම් ගත හැකිය.