පසු ගිය කාලය පුරාම මෙරට පොදු මහජනතාවගේ ඉඩම් රාජ්‍ය හා මිලිටරිය විසින් අත්පත් කරගැනීමට එරෙහිව උතුරේ මෙන්ම දකුණේ ජනතාව විසින් කරන ලද දීර්ඝ කාලින අරගල එක් තැනකට ගෙනෙමින්  සංඛේතාත්මකව දිවයින පුරා ඉඩම් ගැටලුව හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාව තම ඉඩම් සඳහා වන අයිතිය ඉල්ලමින් අද සවස 3 ට කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්හ කොට ලිප්ටන් වටරවුම දක්වා දිවෙන ලෙස ” අපේ ඉඩම් -අපේ ජීවිතය ” ( OUR LAND -OUR LIFE ) විරෝධතාව සංවිධානය කොට තිබුණි.

දිවයිනේ සියලු පළාත් වල ඉඩම් හා බැඳී ජීවනෝපායන් ට ඇති තර්ජන ඇති වී තිබෙන ජනතාව , ඉඩම් හමුදා ග්‍රහණයෙන් නිදහස් කිරීමේදී හා නොකිරීමෙන් ගැටලු මතුවී ඇති ජනතාව , අභ්‍යන්තරව අවතැන්ව සිටින ජනතාව (IDP ), නැවත පදිංච් කිරීම් වලදී ඉඩම් ගැටළු වලට මුහුණ දී සිටින ජනතාව, සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී සිටින හා ඉඩම් ප්‍රශ්න වලට මුහුණ දී සිටින කදුකර දෙමළ ජනතාව මෙම විරෝධතාවට සහභාගී වී සිටියහ.

 

මේ වන විට විශේෂයන්ම යුද්ධයෙන් වසර 9 ක් ගත වී තිබියදී හමුදාව විසින් තවමත් අත්පත් කොටගෙන නිදහස කර නොමැති උතුරේ ජනතාවගේ සම්ප්‍රදායික ඉඩම් හමුදා පරිපාලන මුලස්ථාන බවට පත් කොට තිබිම හා හමුදාව විසින් පවත්වා ගෙන යන විවිධ ව්‍යාපාරික ස්ථාන, ආපන ශාලා ,සංචාරක නිකේතන බවට පත් කර තිබිම නිසා ජනතාව විශාල ගැටළු වලට මුහුණ දී තිබේ.

ඉඩම් යනු වසස්ථානය හෝ භූමියට ඇති අයිතියම පමණක් නොවන අතර මෙම ජනතාවගේ ජීවනෝපායන් , අනන්‍යතාවයන් , සමාජ , සංස්කෘතික අනන්‍යතාවයන් ද සහිතව ගරුත්වයකින් යුතු ස්වාධින ජීවිතයකට ඇති අයිතියටද ඇති හිමිකමක් වන අතර ඉහත කී ගැටළු නිසා මෙකි හිමිකම් මෙම ජනතාවට අහිමි වී තිබේ.

යහපාලනය පොරොන්දු වී පැමිණි පවතින රජයද මෙම ජනතාවගේ ගැටළු කෙරෙහි දක්වන නිහඬ බව හා ඇල්මැරුණු ස්වභාවය කනගාටුවට කරුණක් වන අතර එය අපි ද පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

කෙසේවෙතත් ජනතාව තම අයිතීන් වෙනුවෙන් පාරට බසින තුරුම අවදි නොවන පාලකයන් සිටින නිසාම මේ අරගල තවදුරටත් අත්නොහරිමින් සිදු කිරීමට ජනතාවට සිදු වනු ඇත.

විකල්ප විසින් ගන්න ලද අද දින පැවති ” අපේ ඉඩම් -අපේ ජීවිතය ” ( OUR LAND -OUR LIFE ) විරෝධතාවයේ සජීව වීඩියෝ දර්ශන හා ජායාරූප සඳහා මෙතනින් පිවිසෙන්න.