අගෝස්තු 29, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයයි. ශ‍්‍රී ලංකාවේ අසල්වැසි රටවල් දෙකක්ම න්‍යෂ්ටික බලවතුන්ව සිටින තත්වයක් තුළ, එවැනි අවි අත්හදාබැලීම්වලින් හෝ ඒවා පාවිච්චියෙන් සිදු විය හැකි අනතුර ගැන, සමහර විට ඒවායින් ඇති විය හැකි මහා විනාශය ගැන, රටක් වශයෙන් අප වඩාත් අවධානය යොමු කළ යුතුව තිබේ.

මේ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් ප‍්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් මුලින් පටන් ගත් 1946 ජුලි 16 වැනි දා සිට මේ දක්වා ලෝකයේ විවිධ තැන්වල එවැනි අත්හදාබැලීම් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව පෙන්වා දෙයි. මේ අත්හදාබැලීම් පටන් ගත් මුල් කාලයේ, මිනිස් ජීවිතවලට ඉන් ඇති විය හැකි විසකුරු අනතුරු ගැන වැඩි අවධානයක් යොමු වුණේ නැත. එවැනි අත්හදාබැලීම් නිසා ඇති විය හැකි අතුරු පාරිසරික ප‍්‍රතිවිපාක ගැන ඒ තරම්වත් සැලකිල්ල යොමු වුණේ නැත. එසේ වෙතත්, මේ දීර්ඝ කාලය දෙස දැන් ආපසු හැරී බලන විට, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වල දරුණු සහ ඛේදනීය ප‍්‍රතිවිපාක ගැන අවබෝධයක් ලෝකයාට ලැබී තිබේ. විශේෂයෙන්, මෙවැනි අත්හදාබැලීම් කිරීමේදී යොදා ගන්නා පාලන ක‍්‍රම නුහුරට ගිය අවස්ථාවලදී ඇති විය හැකි විනාශය ගැන අද අපට දැනුමක් තිබේ. ඊටත් වඩා, ක‍්‍රම ක‍්‍රමයෙන්, වඩ වඩාත් දරුණු න්‍යෂ්ටික අවි සොයා ගැනීම් කෙරෙහි ලෝකයා මේ කාලය තුළ ගමන් කොට ඇති බවත් අපි දනිමු.

සෑම ආකාරයකම න්‍යෂ්ටික අත්හදාබැලීම් අවසන් කිරීම සඳහා ඇති කර ගත් ජාත්‍යන්තර සම්මුතිය වන්නේ, 1996 දී සම්මත කර ගත් ‘න්‍යෂ්ටික අවි සහමුලින් තහනම් කිරීමේ ගිවිසුමයි’. අවාසනාවකට මේ ගිවිසුම තවම ක‍්‍රියාත්මක වී නැත. 2009 දෙසැම්බර් 2 වැනි දා පැවති එක්සත් ජාතීන්ගේ 64 වැනි මහ සමුළුවේදී, අගෝස්තු 29, ‘න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය’ වශයෙන් ඒකමතිකව සම්මත කර ගන්නා ලදි. ඒ අනුව, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් සඳහා කරන මහා පිපිරවීම් සහ වෙනත් න්‍යෂ්ටික පිපිරවීම් නිසා ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන වැඩි වැඩියෙන් ලෝකයා දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම අදහස් කෙරේ. එම අත්හදාබැලීම් මුළුමණින් නතර කිරීම, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ඇති කර ගැනීම සඳහා ඉවහල් කර ගත හැකි එක් මාර්ගයක් වන්නේය.

මේ යෝජනාව ගෙන එනු ලැබුවේ කසකස්තානයයි. තවත් රටවල් විශාල සංඛ්‍යාවක් එහි ප‍්‍රධාන යෝජකයන් සහ සම-යෝජකයන් විය. 1991 අගෝස්තු 29 වැනි දා සෙමිපැලටිනිස්ක් නැමැති න්‍යෂ්ටික අවිඅත්හදාබැලීමේ පරිශ‍්‍රය වසා දැමීම, මෙවැනි ජාත්‍යන්තර සැමරීමක් සඳහා එම දවස යොදා ගැනීමට හේතු විය. මෙවැනි විශේෂිත සිද්ධියක් ආශ‍්‍රයෙන් සැමරුම් දිනයක් යොදා ගැනීමෙන් අපේක්ෂා කරන්නේ, වඩාත් ආරක්ෂාකාරී ලෝකයක් ගොඩනගා ගැනීම සඳහා වන වැදගත් පියවරක් වශයෙන් න්‍යෂ්ටික අවි අත්හදාබැලීම තහනම් කිරීමේ ඇති වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්, අන්තර්-රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය-නොවන සංවිධාන, ශාස්ත‍්‍රාල, තරුණ සංවිධාන සහ මාධ්‍ය ආයතන ආදිය දැනුවත් කිරීමයි.

‘න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය’ පළමු වරට සැමරුණේ 2010 දී ය. එදා පටන් සෑම වසරකම, ලෝකය පුරා පැවැත්වෙන ශාස්ත‍්‍රීය සංවාද, සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන, විවිධ තරග, ප‍්‍රකාශන, විද්වත් දේශන සහ මාධ්‍ය වාර්තා ආදිය මේ සැමරුම තුළින් සම්බන්ධීකරණය කරන ලදි.

මේ දිනය මුලින් ප‍්‍රකාශයට පත්කළ දා සිට වැදගත් වර්ධනයන් ගණනාවක් ඇති වී තිබේ. මෙකී විෂය සහ එහි අරමුණු ඉලක්ක කර ගත් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ආදිය ලෝකය පුරා පවත්වා තිබේ. මේ වසරේ පෙබරවාරි 5 වැනි දා, ‘උපාය මාර්ගික ප‍්‍රහාරක අවි තවදුරටත් අඩු කර ගැනීමේ සහ සීමා කර ගැනීමේ ගිවිසුමේ’ සඳහන් ප‍්‍රධාන නිර්ණායකයන්ට ඇමරිකා එක්සත් ජනපදයත්, රුසියාවත් අනුගත වී සිටීම තවත් එක් වැදගත් වර්ධනයකි.

එහෙත් අද ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ උතුරු කොරියාවයි. පසුගිය වසර දෙකක කාලය තුළ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් ගණනාවක් කළ බව වාර්තාගතයි. ඇමරිකාවේ ඇතැම් තැන්වලට න්‍යෂ්ටික අවි හරහා කෙලින්ම පහර දීමේ හැකියාවක් තමන්ට දැන් ඇතැයි ද උතුරු කොරියාව කියයි. බොරු කීමට සහ නොගැලපෙන කතා කීමට ප‍්‍රසිද්ධ, විශ්වාසය තැබිය නොහැකි රාජ්‍ය නායකයෙකු වශයෙන් සැලකෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, උතුරු කොරියානු නායකයාව හැඳින්නුවේ ‘පුංචි රොකට් මිනිහා’ යනුවෙනි. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් වහා නතර නොකළොත් එම රටට එරෙහිව හමුදා ක‍්‍රියාමාර්ග ගැනීමට තමන්ට සිදු විය හැකි බවත් ඔහු කියා සිටියේය. එහෙත් එක විටම ඒ ස්ථාවරය ආපස්සට හැරුණි. දෙරටේ නායකයන් දෙන්නා අනතුරුව දුරකථනයෙන් මිත‍්‍ර කතාබහක නිරත වූ අතර, සිංගප්පූරුවේදී දෙන්නා අතර ඓතිහාසික හමුවීමක් ද සිදු විය.

ඉන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ කිහිප වතාවක්ම උතුරු කොරියාවට ගියේය. මේ සතියේත් නැවත වරක් ඔහු එහි යාමට නියමිතයි. එහෙත් අවිහරණය සඳහා වන අර්ථවත් පියවර උතුරු කොරියාව පැත්තෙන් ගන්නා බවක් පෙනෙන්ට නැති තත්වය තුළ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ උතුරු කොරියානු ගමන අවලංගු කරන්නැයි ජනාධිපතිවරයා කියා ඇති බව සැලයි.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ඉතා සමීප හිතවතුන් ගණනාවක් මේ වන විට ඔහුට විරුද්ධ නීතිමය පියවර ගෙන තිබීම නිසා ඔහු සිටින්නේ ඉතා දුෂ්කර තත්වයක ය. රුසියාව සමග ඔහු පැවැත්විණැයි කියන අයථා ගනුදෙනු ඇතුළු ඔහුගේ අවකල් කි‍්‍රයාවන් ගැන පරීක්ෂණ පවත්වන අධිකරණ මණ්ඩල ඉදිරියේ සාක්ෂි දීමට මේ වන විට ඔහු එකඟ වී තිබේ. එවැනි දුෂ්කර තත්වයක් තුළ ඔහු කුමක් කරයි ද යන්න හෝ උතුරු කොරියාව කෙසේ ප‍්‍රතිචාර දැක්විය හැකි ද යන්න, අවිනිශ්චිත ය.

මේ අතර පාප් වහන්සේ ලෝකයේ ආගමික නායකයන්ට එකාවන්ව ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඒ, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නතර කිරීම හෝ අවම කිරීම සඳහා නොව, එවැනි අවි රටක් සන්තකයේ තබා ගැනීම මුළුමණින් තහනම් කිරීම සඳහා ය. මෙවැනි අවි යම් රටක් සතුව පැවතීමෙන් විනාඩි කිහිපයක දී ලොවම විනාශ කිරීම හැකියාව රටකට ලැබේ. ලෝකයේ සියලූ ආගම් සාම ක‍්‍රියාධරයන් සමග මේ කාරණය අරභයා එක් වුවහොත්, ලෝකය මීට වඩා යහපත් සහ ආරක්ෂා සහිත තැනක් කර ගැනීමේ හැකියාව තිබේ.

*2018 අගෝස්තු 27 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Not Just Testing, Even Nuclear Weapons Need to be Banned නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි