සිංහල, Colombo, Democracy, Human Security, Peace and reconciliation

සිංහලයින්ට බෝම්බ තහනම් නෑ….

band-1812.jpg
මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු Check Point එකක් තිබුණත් කවදාවත් අපිව චෙක් කළේ නැහැ.
නමුත් එදා Check Point එක පහුකරද්දිම එතන හිටපු පොලිස් නිලධාරි මහත්මයෙක් අපිව නවත්වලා අපේ ජාතික හැඳුනුම්පත් ඉල්ලා සිටියා. අපිත් කිසිම ප්‍රශ්නයක් නැතිව අපේ ජාතික හැඳුනුම්පත් ලබා දුන්නා. ඒ මේ අත හරවලා හැඳුනුම්පත පරීක්‍ෂා කළ නිලධාරියා ඒවා අපට ආපහු ලබා දුන්නත්, මගේ පෙම්වතියගේ අතේ තිබුණු බෑගය පරීක්‍ෂා කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

මීට මාසයකට විතර කලින් ලංකාවේ අග විනිසුරු තුමා,
‛‛චෙක් පොයින්ට් තියෙන්නෙ හැඳුනුම්පත් පරීක්‍ෂා කරන්න නෙවෙයි. බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය ගෙන යනවාදැයි පරීක්‍ෂා කරන්න විතරයි ’’
කියලා කරපු ප්‍රකාශය මගේ හිතට ආපු නිසාමත්, මගේ මුරණ්ඩු කමටත් මං මේ නිලධාරි මහත්මයාගෙන් මෙහෙම ඇහුවා,
‛‛මහත්මයා ඇයි අපේ බෑග් එක චෙක් කරන්නෙ නැත්තෙ.’’
මගේ මුහුණ දිහා බලපු ඔහු එතන හිටපු තවත් කාන්තාවකගේ හැඳුනුම්පත පරීක්‍ෂා කරමින් බිම බලාගත් වන ම,
‛‛ඇයි ඉල්ලගෙන කන්න ඕන ද?’’

යන ප්‍රශ්නය නැගුවේ ඉතාම උපහසයෙන්. කනට වැටුණු වචනයෙන් මගේ ඇඟ හිරි වැටී ගියත් නැවතත් යන්නට තැබූ අඩිය ආපස්සට ගත් මම ඉතා සංයමයෙන් ,
‛‛නැහැ මහත්මයා මම ඇහුවේ, ID එකට වඩා බෑග් එක චෙක් කරන එක අපේ ආරක්‍ෂාවට වැදගත් හින්දයි. එහෙම නේද මහත්මයා.’’ යනුවෙන් ඔහුගෙන් විමසුවෙමි.
ඉතාම රවෘද්‍ර ලෙස අප දෙස ඔරවා බැලූ ඔහු,
‛‛මේ මහත්තයා සිංහල කියල දැනගත්තු හින්දයි යන්න දුන්නේ වද දෙන්නැතුව යනවා යන්න.’’
ඒ වචන ටිකෙන් මගේ තරහව එළියට පනින්න උත්සාහ කළත්, කර කියාගන්නට කිසිම දෙයක් නැති කමත් , පෙම්වතියගේ පෙරැත්තය නිසාත් , එතනින් පිට වුණේ පොලිස් නිලධාරියාගේ පොලිස් කබායට උඩින් වැටී තිබුණු කළු පැහැ පටියේ උජාරුවට ත් හිතින් ශාප කරමින්.
අප එකම කෝවිලට ගියද, නළලේ තිලකය තැබූව ද, අපගේ හැඳුනුම්පතේ මුල සිට අගටම තිබෙන සුද්ද සිංහල නමේ නාමයෙන් , අපගේ බෑග් තුළ ‛‛බෝම්බ’’ ගෙන යාමට අවසරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නීතියේ ආදිපත්‍යයෙන් අප වෙත ලබා දී තිබේ.
නමුදු එකම කෝවිලට ගිය ද, නළලේ තිලකය තැබුව ද , හැඳුනුම්පතේ තිබෙන නම දෙමළෙකුගේ නම් ඔහුගේ බෑග් තුළ කිසිවිටකත් බෝම්බයක් තිබිය නොහැක.
ඇදහූ දෙවියන් සමාන වුවද , නළල බිම තැබුවේ එකම පොළවේ වුවද , ජීවත්වීමේ සමාන අයිතිය පර දෙමළාටත් , සුද්ද සිංහලයාටත් ලබා දෙන්නට, මේ ප්‍රජාතාන්ත්‍රීය ජනරජය කවදා සමත්වේදැ යි සිතීමට වත් හැකිදැයි මම නොදනිමි.
දෙසැම්බර් 10, අප සියලුදෙනාම මානව හිමිකම් වෙනුවෙන් වීදි බැස්සෙමු . පෙලපාළි පැවැත්වූවෙමු.ු දහස් ගණන් වියදමින් උත්සව සංවිධාන කළෙමු. නමුදු සංවේදි හදවත් ඇති මිනිසෙකු මේ දිවයිනේ බිහි කරන්නට අප කිසිවෙකුටත් හැකිවූවේද? නැත.තව කෙතරම් නම් දුරක් විවිධත්වයේ ගරුත්වය සොයා අප යන්නේද? විසඳුමක් තිබේද? සත්‍ය ලෙසම මෙය ඛේදනීය යථාර්ථයක් පමණක්මද?

සමන් තිලක බංඩාර