ශ්‍රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා විකල්ප අපි ලියා ඇත්තෙමු. ඒවෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම විටම අතුරුදහන් වුවන් කෙරෙහි, ඔවුන්ගේ සමීපතමයන් කෙරෙහි තවමත් ඉටු නොවී පවතින යුක්තිය ඉටු කිරීමට බල කෙරෙන බොහෝ ක්‍රියාකාරීකත්වයන් සදහා දායකත්වය දෙමින් සිටිමු. ඒවෙනුවෙන් මහාපාරේ විදී දිගේ උගුර ලේ රහ වනතුරු කෑගසන තෙක් අවදි නොවන පාලකයන් සිටින රටක බලාපොරොත්තු බිඳ නොගෙන ඔවුන් සමග හඬ නැගුවෙමු.

නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අතුරුදන් වූ දස දහසක් මිනිසුන්ගේ , ගැහැණුන්ගේ ජිවිත යාතාර්ථයන්, කර්කශ සත්‍යයන් දැන් නැවත නැවත ලිවීමෙන් ඔබ්බට යා යුතුම කාලය එළඹ තිබේ. මේ යුද්ධය නිමාවෙන් පසු ගෙවෙන 9 වන වසරයි.

ඒ අනුව යුද්ධයෙන් පසුව 9 වන වරට බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන දිනය බවට මෙය පත්වේ. එය බරපතල තත්වයක් වන්නේම තවමත් නිශ්චිත ගණන් තැබීමක් පවා කළ නොහැකිව පවතින මුත් මෙරට විවිධ කාල වලදී අතුරුදහන් වුවන් වෙනුවෙන් පත් කරන ලද විවිධ කොමිසන් සභා වාර්තා වලට අනුව 65,000 ක් දෙනා අතුරුදන්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක් වේ. එහෙත් මේ සියලු අතුරුදහන් වීම් සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ තවමත් කිසිදු යුක්තිය ඉටුවිමක් සිදුව නැත. ඒ අතර වැඩිම අතුරුදහන් වීම් ප්‍රමාණයක් සිදුව ඇත්තේ යුද්ධයේ අවසාන අදියරේ දී හමුදාව වෙත භාරදුන් පසු කාල පරාසය ඇතුලතය.

ඒ අනුව දැන් යුද්ධයෙන් පසු ගෙවෙන 9 වන වසර වන විට ආණ්ඩු දෙකක් රට පාලනය කොට තිබේ. පැහැදිලිවම උතුරේ දෙමළ ජාතිකයන් තරුණ තරුණියන් බොහෝ දෙනෙකුගේ අතුරුදහන් කිරීම් වලට ඍජුවම අත් වල මඩ තැවරී ඇති , ඒවාට වග කිව යුතුව තිබෙන පාලකයන් මේ ප්‍රශ්නය බොරු ජාතිකවාදී පාප්ප ගෑමෙන් හා විදුලි පුටු කතා ඇන්ඳීමෙන් යට ගසා වලලා තිබිම අපට පුදුමයට කාරියක් නොවුනත් ඒ මතින් බලයට පත් බීරි අලින් හා අත් ඔසවා පොරොන්දු දී පුටු මත වැජඹෙන දැන් වසර තුනකට අධික කාලයක් යහපාලනය නමැති බෝඩ් ලෑල්ලට පමණක් සිමා වී සිටින මෛත්‍රී රනිල් ආණ්ඩුව මේ ප්‍රශ්නය කෙරෙහි දක්වන නිහැඬියාව නම් ජුගුප්සා ජනකය.

ස්ථාපිතව ඇති අතුරුදහන් වුවන්ගේ කාර්යලය ට දිගින් දිගටම පසුගිය කාලය පුරාම උතුරේ හා නැගෙනහිර මිනිසුන්ගේ විරෝධතා පැමිණීමට මුලිකම හේතූව වී ඇත්තේ පතෝල න්‍යායෙන් යහපාලනය දක්වන ප්‍රතිචාරයන් නිසා මේ මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටීමය. ඒ නිසා ම අවිශ්වාසයේ ගිනි දළු මතින් යළි යළිත් මේ ප්‍රශ්නය ඔඩු දුවන තත්වයට පත් වෙනවා හැර විසදුමක් සපයන්නේ නැත.

ඒ නිසා මේ නිද්‍රාශීලි රාජ්‍ය ට ඇමතීමේ විකල්පයන් දැන් අපට සෙවීමට සිදු වී තිබේ.

දින 500කට ත් වඩා වැඩි කාලයක් පුරා උපවාස කරමින් සිටින මව්වරුන්ගේ හදවත් නොඇසුණු ආණ්ඩුවකට හා මේ ප්‍රශ්න අතකොලු බවට පත්කොට ගෙන දැන් බකන් නිලාගෙන සිටින මේ ආණ්ඩුවට තවදුරටත් අප ආමන්ත්‍රණය සිදු විය යුත්තේ කෙසේද යන්න සියලු මානව හමිකම් ක්‍රියාකාරීන් හා පුරවැසියන්ට නැවත නැවත සිතන්නට වී තිබේ.

මේ ප්‍රශ්නයේ ඇති බරපලතල කම ආණ්ඩුවට නැවත නැවත කියා දැන් තේරුමක් නැත. ඒ ඔවුන් එය දන්නවා හොඳටම වැඩි නිසාය. නොදන්නවා සේ ඉදිමින්, බොරු පොරොන්දු දෙමින් තවදුරටත් මේ සමස්තය මඟ හරිමින් සිටින්නේ ඒ නිසාය.ඒ නිසා මේ මිනිසුන්ගේ කතා ඔබට නැවත නැවත ලියනවාදයි දැන් අපට ද ප්‍රශ්නයක් ඇත.

අප ගත යුත්තේ කුමන මඟද ? යුක්තිය ඉල්ලන පාර්ශ්වය නියෝජනය කරන අප උපාය මාර්ගික ව අපේ පියවරයන් ගන්නේ කෙසේද යන්න දැන් අප සිතිය යුතුව ඇත්තේ දින 365 ම කෑ මොර දුන්නත්, අගෝස්තු 30 වෙනි දිනට සැමරුම් උත්සව පවත්වා, පහනක් දල්වා, බෝඩ් අල්ලාගෙන සිට නිහඬ උපවාස කලත්,මහා පාරේ උද්ඝෝෂණ කොටත් දැන් මේ ප්‍රශ්නය වෙත වන රාජ්‍ය ආමන්ත්‍රණය තව දුරටත් ලබා ගත නොහැකි හෙයිනි.

ඒ නිසා කැබිනට් හමුවේ සවස ගන්නා තීරණ උදේ පත්තරෙන් දැක වෙනස් කරන ජනපතිවරයෙක් සිටින හා දකුණේ මිනිසුන් නාගදීපයට යාම හා උතුරේ මිනිසුන් කොළඹට පැමිණීම සංහිදියාව වන බව සිතන අගමැතිවරයෙකු සිටින රටකටත්, හා බොරු ජාතිකවාදී නිල ඇදුම් ඇඳ සිටින සිවලුන් සිටින රටකට තව දුරටත් පැන යා නොහැකි අරගලයක් අප නිර්මාණය කල යුතුව ඇති බවත් එය දිනා ගන්නා තෙක් යුක්තිය සඳහා වන කිසිදු අඩියක් පිටු පසට නොගැනීමේ දැඩි අධිෂ්ඨානයේ අත්‍යවශ්‍ය බවත් මෙහිලා අද අපි තරයේ සටහන් කොට තබමු.