iMAGE: The Economist

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය පසුගිය සැප්තැම්බර් 15 වන දිනට යෙදී තිබුණි . ඒ වෙනුවෙන් යොදාගෙන තිබු  තේමා පාඨය වන ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමාරු අඩියක: වෙනස් වන ලෝකයක් සඳහා වන විසඳුම්’’ යන්න, අද ලෝකයේ බොහෝ රටවල්වලට බෙහෙවින් අදාළ වෙයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි, ඉවක්බවක් නැතිව ආවේගයෙන් කටයුතු කරන නායකයෙකු ඇමරිකාවට ලැබී තිබීම ඊට එක් උදාහරණයකි.

මෙම දිනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිරිහන් කර ගැනීමේ මාර්ග පිළිබඳ සොයා බැලීමේ අවස්ථාවක් කර ගත යුතුව ඇතැයි කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණදෙන අභියෝගවලට පිළිතුරු සොයා ගැනීම සඳහා එය උපයෝගී කර ගත යුතුව ඇතැයි කියයි. ඒ සඳහා, ලෝකයේ පවතින ආර්ථික සහ දේශපාලනික විසමතා දුරු කර ගැනීමේ මාර්ගයක් බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්කර ගැනීම, තරුණයන් සහ කොන් වූ සමාජ කොටස් ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට ගෙන එන වාහකයක් බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්කර ගැනීම, ලෝක සංක‍්‍රමණික ප‍්‍රශ්නය සහ කාලගුණික විපර්යාසය සම්බන්ධයෙන් මතුවෙමින් තිබෙන අභියෝගයන්ට මුහුණදිය හැකි දේශපාලන ක‍්‍රමයක් බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්කර ගැනීම ආදිය සැලකිල්ලට ගත යුතුව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කොට නැතත්, වර්තමාන නිදහස් ලෝකය ඉදිරියේ ඇති ප‍්‍රධානතම අභියෝගය වශයෙන් අප ඉදිරියේ නැවතත් ප‍්‍රාදුර්භූත වන්නේ, ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ම ය. ඒ බව, ලෝක ප‍්‍රකට මාධ්‍යවේදී බොබ් වුඞ්වර්ඞ් ලියා ඇති විශිෂ්ට කෘතියක් මගින් මනාව පෙන්නුම් කොට තිබේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය ඇති කරගෙන ගත වන 70 වැනි සංවත්සරයත් මේ වසරට යෙදී ඇති තත්වය තුළ, පසුගිය 15 වන දිනට යෙදුණු  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය, මිනිස් නිදහසේ වටිනාකමත්, මානව හිමිකම් කෙරෙහි වන ගරුත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනිවාර්ය අංග වශයෙන් අවධාරණය කර ගැනීමේ අවස්ථාවක් කර ගත යුතුව තිබේ. ‘‘ආණ්ඩු අධිකාරියේ පදනම වන්නේ ජනතා කැමැත්ත’’ යනුවෙන් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 21.3 වගන්තියේ එන සඳහන්, ලෝකය පුරා ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි වන ආවේශය සපයා දී ඇති අතර, ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්ම සහ ප‍්‍රතිපදා ලෝකයාගේ පිළිගැනීමට හේතුකාරක වී ඇත. වෙනත් වචනවලින් කිවහොත්, මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ සහ සාර්ථකව සාධනය කර ගැනීමේ ස්වාභාවික වටපිටාව අපට සකස් කොට දෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙනි. ‘‘2030-තිරසාර සංවර්ධන ව්‍යාපෘතියේ’’ තිරසාර සංවර්ධන ඉලක්කයක් වශයෙන් අවධානයට ගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සියලූ ජන කොටස් ඇතුළත් කර ගැනෙන, වගවීමේ ඵලදායී ආයතන පද්ධති සහ සාමකාමී සමාජයන් අතර ඇති නොනැසිය හැකි සහසම්බන්ධතාව හඳුනාගෙන ඇත.

මේ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරේස්, කිසි මිනිසෙකුව අතහැර දැමීමක් සිදු නොවන අනාගතයක් සඳහා, දැනට පවතින අභියෝගාත්මක ප‍්‍රශ්න හදිසි සැලකිල්ලට ගත යුතුව ඇති බව පෙන්වා දෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත්, ඊළඟ පරම්පරාවට එන විට, වර්තමාන ජනතා සංක‍්‍රමණය සහ කාලගුණ විපර්යාසය ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි කෙසේ බලපායි ද යන්න ගත හැකිය. අවදානම්කාරී අතුරු ප‍්‍රතිවිපාක හසුරුවාගෙන නව තාක්ෂණයේ විභවයන් අප පාවිච්චියට ගන්නේ කෙසේද යන්න ගත හැකිය. අදට වඩා යහපත් ජීවන තත්වයන් සපයා දිය හැකි සහ ජනතාවගේ අභිලාෂයන් සාධනය කර දිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති වන ආකාරයේ වඩා යහපත් ආණ්ඩුකරණයක් අප සකසා ගන්නේ කෙසේද යන්න ගත හැකිය. ඒ සියල්ල සැලකිල්ලට ගනිමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතය සඳහා ලෝකයාට අත්වැල් බැඳ ගන්නැයි මහ ලේකම්වරයා ඉල්ලා සිටී. ඇත්තෙන්ම මේ ප‍්‍රශ්න ඔහු වැඩියත්ම ඉදිරිපත් කළ යුතුව ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාට ය.

2015 ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණය ලංකාවේ හැරවුම් ලක්ෂයක් වෙතැයි විශාල බලාපොරොත්තුවක් තිබුණි. යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, සාධාරණ, සාමකාමී සහ සියලූ ජාතීන් ඇතුළත් කර ගන්නා යහපත් සමාජයක් ඇති කිරීම එහි අරමුණු වශයෙන් පැවතියේය. ඒ උතුම් අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේලා අප කෙතෙක් සාර්ථක වී ඇත් ද යන්න ගැන, වසර තුනකුත් මාස නවයක් ගත වී ඇති අද ඇත්තේ ඒකමතික අදහසක් නොවේ.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බොහෝ දුරට ස්ථාපිත කොට තිබේ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ නිදහස් මාධ්‍ය අතර පෙරට වඩා තුලන සහ සංවරණ බලපවත්වන පරිසරයක් නිර්මාණය වී තිබේ. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන කුළුණු හතර වශයෙන් කවුරුත් පිලිගනී. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කෙරුණි. ඒ සභාගය, මොන මතභේද සහ විෂමතා තිබුණත්, තවම ක‍්‍රියාත්මක වෙයි. එකිනෙකාගෙන් වෙනස් සමාජ ආර්ථික දැක්මක් සහිත පක්ෂ දෙකක් එකට ආණ්ඩු කරන විට එවැනි මතභේද ඇති වීම ස්වභාවිකයි.

සාධනීය කාරණය වන්නේ, සියලූ පක්ෂවලින් සමන්විත, ස්වාධීන ව්‍යවස්ථා සභාවක් පත්කර ගැනීමයි. රජයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ස්වාධීන කොමිෂන් සභාවන්හි කාර්යයන් අධීක්ෂණය කිරීම එහි කාර්ය භාරයයි. රාජ්‍යකරණය විධිමත් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසමක්, පොලිස් කොමිසමක්, අධිකරණ සේවා කොමිසමක්, ජාතික මැතිවරණ කොමිසමක්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමක් සහ මානව හිමිකම් කොමිසමක් ස්ථාපනය කෙරුණි.

බලයට පත් අලූත් ආණ්ඩුව, පැවති රාජපක්ෂ පාලනයේ නායකයන්, ඉහළ නිලධාරීන් සහ හෙංචයියන් කොල්ලකෑ බව කියන සහ රහස් විදේශ බැංකුවල තැන්පත් කර ඇතැයි කියන මහජන ධනය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවට ප‍්‍රතිඥා දුනි. එහෙත් ඒවා ගැන විමර්ශනය කෙරෙන ස්ථිර විශේෂ මහාධිකරණ පිහිටුවීමට ආණ්ඩුවට වසර තුන හමාරක්ම ගතවුණේය. එම නඩු මේ අධිකරණවල දිනපතා උදේ හවා විමර්ශනය කෙරෙන අතර, මාස කිහිපයකින් ඒවා අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එවැනි නඩු දෙකක් දැනටමත් විභාගයට ගෙන තිබේ. ඉන් එක් සිදුවීමකට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ ය. තවත් සිදුවීම් 100 ක පමණ ප‍්‍රමාණයකට අදාළ තොරතුරු සහ වැදගත් සාක්ෂි පොලිස් අපරාධ විමර්ශන අංශයත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයත් මගින් එක්රැුස් කර ගනිමින් සිටින තත්වයක් තුළ තවත් එවැනි නඩු ඉදිරියේදී ඉදිරිපත් වීමට නියමිත ය.

තිරසාර, පරිසර-හිතකාමී, සාරාර්ථ සංවර්ධනය සම්බන්ධයෙන් ගත් විට, ආණ්ඩුව ප‍්‍රධාන ව්‍යාපෘති තුනක් දියත් කරයි. ඒවා නම්, ගම් නගා සිටුවන ‘ගම් පෙරලිය’, ‘ව්‍යවසායික ශ‍්‍රී ලංකාව’ සහ ‘ග‍්‍රාම ශක්ති’ යන ව්‍යාපෘතීන් ය. අලූත් දැනුම සොයා යන, ව්‍යවසායක හැකියාවක් ඇති, විශේෂයෙන් නිර්මාණාත්මක ගැමි තරුණයන්ට රැුකියා දසලක්ෂයක් පමණ සැපයීමට බලාපොරොත්තු වන බව ආණ්ඩුව කියයි. අපනයන වෙළඳපොල ඇතුළු වෙනත් සුළු ව්‍යාපාර ඇරැුඹීම සඳහා මේ ජනතාවට පොලී රහිත ණය පහසුකම් සපයා දෙනු ලැබේ. දේශපාලඥයන් අවංකව, පරාර්ථකාමීව සහ කැපවීමෙන් යුතුව ජනතාවට සේවය කළොත්, මේ මාර්ගයෙන්, සාධාරණ සාමකාමී සහ සියලූ කොටස් ඒකරාශී කර ගන්නා සමාජයක් ගොඩනැංවීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වෙතැයි අපි විශ්වාස කරමු.

2018 සැප්තැම්බර් 15 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “World Democracy Under Strain: Let’s Find the Solution” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.