iMAGE: The Atlantic

අපේ ජනතාව කෙරෙහි ඇති කරනු ලබන බරපතල බලපෑම නොවන්නට, ජ්‍යෝතිෂය අවුලක් නැති පිනවීමක් වශයෙන් අපට බැහැර කළ හැකිය. මේ ශාස්ත‍්‍රය පදනම්ව ඇත්තේ තාරකා විද්‍යාව මත යැයි ජනප‍්‍රිය විශ්වාසයක් තිබේ. අපට බලපෑම් කරන මේ ශාස්ත‍්‍රය තුළ ඇති ප‍්‍රධාන නිරූපකය වන්නේ හඳහනයි. අපේ ජීවිතයට අදාළ බොහෝ දේවල් රැඳී ඇත්තේ ඒ මත ය. මේ හඳහන් සැකසීම සහ ඒවා භාවිතයේදී කාරණා තුනක් සැලකිල්ලට ගැනේ. ඒවා නම් උපන් වෙලාව, උපදින අවස්ථාවේ ග‍්‍රහයන්ගේ පිහිටීම සහ ඒ අනුව ලියැවෙන වේලාපත්කඩය අර්ථ නිරූපණය කිරීමයි. මේ කාරණා තුන සම්බන්ධයෙන්ම පවතින්නේ දැඩි අවිනිශ්චිතතාවකි.

උපන් වෙලාව

ඉපදීම අරුත් ගන්වන්නේ කෙසේද? හිස එළියට එන මොහොත ද, මුළු සිරුරම එළියට එන මොහොත ද, එසේත් නැත්නම් වැදෑමහ කපන අවස්ථාව ද? එසේත් නැතහොත් පිළිසිඳ ගන්නා මොහොත විය නොහැකි ද? ඔරලෝසුව කොතෙක් දුරට නිවැරදි වේ ද? නිරවද්‍යතාව තත්පරයට ගණනය කෙරේ ද? එය ග‍්‍රීන්විච් වේලාව ද, නැත්නම් උපදින ස්ථානයේ වේලාව ද?

ඒ මොහොතේ ග‍්‍රහ පිහිටීම්

අන්තරීක්ෂ අවකාශය, රාශී දොළහක් නියෝජනය වන සේ බෙදා තිබේ. සූර්යයා සහ චන්ද්‍රයා හරියටම ගත්තොත් ග‍්‍රහයන් නොවුණ ද, හඳහනට ඒවා ද සැලකිල්ලට ගැනේ. තාරකා මණ්ඩල (මන්දාකිණි) මිලියන 30 ක් ඇතැයි කියති. අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය එයින් එකක් පමණි. හඳහන සඳහා එය පමණක් සැලකිල්ලට ගැනීම සාධාරණ ද? කාලය සටහන් කිරීමේ ඉතා සුළු දෝෂයක් නිසා වුව, නියමිත රාශිය වෙනස් විය හැකි නිසා, ඒවායේ පැහැදිළි සීමා මායිම් තිබිය යුතුය. එසේම ආලෝකයත් අන්තරීක්ෂයේ ගමන් කළ යුත්තේ සෘජු රේඛාවක් ඔස්සේ ය. ආලෝකය ‘නැවෙන්නේ’ ද? සාපේක්ෂතා න්‍යාය මේ ගැන කියන්නේ කුමක් ද?

ලග්න නිශ්චය කිරීමේ විවිධ ක‍්‍රම ඇති බව පෙනේ. ‘බටහිර’ ක‍්‍රමයට එය නිශ්චය කෙරෙනුයේ, ඒ ඒ මාසයේ දින පරාසයන් අනුව ය. උදාහරණයක් වශයෙන්, ජනවාරි 21 වැනි දා සිට පෙබරවාරි 20 වැනි දා දක්වා උපදින සියලූ දෙනා අයත් වන්නේ එක ලග්නයකට ය. පෙබරවාරි 21 වැනි දා සිට මාර්තු 20 වැනි දා දක්වා උපදින අය අයත් වන්නේ එක ලග්නයකට ආදී වශයෙනි. පෙරදිග ක‍්‍රමය ඊට වඩා සංකීර්ණ ය. එහිදී තනි දවසක උපදින පුද්ගලයන් ලග්න කිහිපයකට අයත් විය හැකිය. තෝරා ගත යුත්තේ මොන ක‍්‍රමය ද කියා හෝ එක ක‍්‍රමයක් අනිත් ක‍්‍රමය සමග පෑහිය හැකි ද කියා හෝ දැන ගැනීම ප‍්‍රහේලිකාවකි. අපේ වැනි රටවල්වලටත් වෙන වෙනම හඳහන් ඇති බව කියනු ලැබේ. ඒවා නිශ්චය කරන්නේ කෙසේද? පැහැදිළිවම, එම රටවල් බිහි වූ නිශ්චිත හෝ විශ්වාස කරනු ලබන වේලාවක් අනුව විය නොහේ. අපේ පෘථුවිය පාදක කොටගෙන ඇති වෙලාවල් සහ දින, අනිත් ග‍්‍රහයන්ටත් සම්බන්ධතාවක් දක්වයි ද?

ක‍්‍රමය කුමක් වෙතත්, ප‍්‍රශ්න බොහෝ ය. බිලියන හතක් වන මුළු ලෝක ජනගහනය රාශි දොළහෙන් එකකට අයත් විය යුතු නිසා, එක රාශියකට අයත් වන ජනගහනය ආසන්න වශයෙන් මිලියන 585 ක් වන්නේය. ඒ සියල්ලන්ට තිබිය යුත්තේ එක ලග්නයකි. එනිසා ඒ සියල්ලන්ගේ අනාගතය සමාන විය යුතුය. පුවත්පත්වල පළවන ලග්න ඵලාඵල තුළ අඩංගු අනාවැකි කියැවීම අපූරු අත්දැකීමකි. එකම දෙය නැවත නැවතත් කීම සහ ඒ පැත්තටත් නැති මේ පැත්තටත් නැති වචනවලින් ඒවා ගහණ ය. පුවත්පත් තම වටිනා ඉඩකඩ මේ සඳහා වෙන් කිරීම අරුමයකි. මගේ ලග්නය සතියක් තිස්සේ නිරීක්ෂණය කළ විට, ඒවායේ ඒකාකාරී බව, අස්පෂ්ට බව සහ හිස් බව මට කැපී පෙනුණි. ඔබේ ලග්නයත් එසේ නිරීක්ෂණය කොට බලන්න. ඉන් පසු, මෙතරම් නිරර්ථක නොවන වෙනත් කාරණයක් සඳහා ඒ ඉඩකඩ පාවිච්චි කරන්නැයි කතුවරයාට ලියා දන්වන්න.

වේලාපත්කඩය සහ එහි අර්ථ නිරූපණය

යට සඳහන් කළ කරුණු මත හඳහනක් සකස් කිරීමේදී අඳින ද්වි-මාන වේලාපත්කඩය තුළ ග‍්‍රහයන් 9 දෙනා ස්ථානගත කරනු ලැබේ. බොහෝ ප‍්‍රශ්න පැන නගින්නේ මේවා අර්ථකථනය කිරීමේදී ය. එය කියැවීම රඳා පවතින්නේ පංචාංග ලිත සහ කියවන්නාගේ නිපුණත්වය මත ය. ඒ අනුව, ‘හොඳ’ හඳහන් බලන්නෝ සහ ‘එතරම් හොඳ නැති’ හඳහන් බලන්නෝ සිටිති. ඇතැම් අනාවැකි සහ සිදුවීම් සමපාත වීම, ප‍්‍රමාණවත් ඔප්පු කිරීමක් නොවේ.

ග‍්‍රහයන්ගේ විශේෂ පිහිටීම්වලින් සහ ග‍්‍රහයන්ගේ සංගමනයන්වලින් අදහස් වන්නේ කුමක් ද යන්න වඩාත් පැටලිලිකාරී ය. ග‍්‍රහ බලපෑම රඳා පවතින්නේ ස්කන්ධය මත ද, දුර මත ද? ග‍්‍රහ පිහිටීම්වලින්, එකිනෙකාගේ බලපෑම් හිලව් කරන්නේ හෝ වැඩි කරන්නේ හෝ කෙසේද? නක්ෂස්ත‍්‍රය බොහෝ කොට රඳා පවතින්නේ පුරාතන විශ්වාස සහ ප‍්‍රාදේශීය සම්ප‍්‍රදායයන් මත ය.

ඒ සියල්ල සලකා බලන විට, සාධාරණව නිගමනය කළ හැක්කේ, තාරකා විද්‍යාවට හෝ ගණිතයට හෝ වෙනත් විද්‍යාවකට නක්ෂස්ත‍්‍රයට නෑකම් කිව නොහැකි බව ය. එය ආවේශය ලැබිය යුත්තේ වෙනත් තැන්වලිනි.

හිටපු ජනාධිපතිවරයා මොන තරම් ගුප්ත-විද්‍යා මත රැඳී සිටියේ ද යත්, ‘රාජකීය නක්ෂස්ත‍්‍රකරුවෙකු’ ස්ථාපනය කිරීමටත් ඉඩ තිබුණි. වාසනාවකට, ‘වැරදියට කියැවූ’ අනාගත මැතිවරණ ප‍්‍රතිඵලයක් නිසා ඒ අබග්ගයෙන් අපි බේරුනෙමු. එසේ වෙතත්, සුර, පංචායුධ, වළලූ, හක්ගෙඩි, මැණික් වැද්දූ මුදු සහ යන්ත‍ර අපේ රටේ මෝස්තරයක් වී තිබේ. සමහරුන්ව බිය වද්දා ඒවා විකුණනු ලැබේ.

රටක්, නැකැත් වෙලාවල්, සුභ දිසාවන් සහ වෙනත් ‘ෆෙං ෂුයි’ ආදිය මත විශ්වාසය තැබීම අමන කමකි. විශේෂ අවස්ථාවල්, විශේෂයෙන් අලූත් අවුරුද්ද වැනි අවස්ථාවල් හැම වැඩකටම වෙලාවක් නියම කරයි. (ලිප ගිනි මෙලවීම, ඇඳුමේ වර්ණය සහ පළමු ආහාර වේල ගැනීමේ වේලාව ආදිය ඊට නිදසුන් ය. එක ‘රාශියකින්’ තවත් රාශියකට සූර්යයා මාරු වීම නොනගතය වෙයි. අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑම රාජ්‍ය රාජකාරියක තත්වයට පත්ව තිබේ.

එහෙත් මේ ගාම්භීර පිළිපැදීම්, රටේ ඇමති මණ්ඩලය තෝරා ගන්නේ යැයි කියන ‘විද්‍යාත්මක’ ක‍්‍රමය සමග පෑහෙන්නේ නැත. මෙවැනි ඇදහිලි සහ විශ්වාස අස්සේ විද්‍යාව ඉගැන්වීම සඳහා වැය කරන අධ්‍යාපනයේ අදාළත්වයත් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය.

හඳහන ඉතා හානිකර අන්දමින් පාවිච්චියට ගැනෙන එක් අවස්ථාවක් වන්නේ, විවාහ කටයුතුවලදී ය. ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරු දිහා බලන්න. ‘පිළිතුරු ලිවීමේදී හඳහනේ කොපියක් අත්‍යාවශ්‍යයි’, ‘කේතු හතේ නම් ඉල්ලූම් නොකරන්න’ ආදී කතා එමට හමු වෙනු ඇත. ඒ සමගම, ‘දෙමාපියන් දෙන්නාම වෘත්තිකයන්’ යැයි සඳහන් පාඨවලින් කියැවෙන්නේ, අධ්‍යාපනය හෝ සමාජ පංතිය අනුව මේ විශ්වාසයන් වෙනස් නොවන බවයි. මේ අතින් අන්තිම නරක, සිංහල සහ දෙමළ පුවත්පත් ය. මෙවැනි විශ්වාස නැති, හඳහන් පවා නැති වෙනත් රටවල්වල මිනිස්සු ප‍්‍රීතිමත් විවාහ ජීවිත ගත කරති. අපේ තරුණ තරුණියන්ගෙන් කොපමණ පිරිසක්, ‘හඳහන් නොගැලපීම’ නිසා, තමන්ගේ මනාපයට සහකාරයෙකු/සහකාරියක සොයාගෙන ප‍්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමෙන් වළක්වනු ලැබ ඇත් ද? විවාහවල සාර්ථක අසාර්ථක භාවය සහ හඳහන් ගැලපීම සහ නොගැලපීම අතර සහසම්බන්ධය පිළිබඳ දත්ත පිරික්සා බැලූවොත් සමහර විට සත්‍යය අවබෝධ වනු ඇත.

විපතට පත් දුප්පතුන් යම් සහනයක් සොයන විට ඔවුහූ ඉතා පහසුවෙන් සාස්තරකාරයන්ගේ අනුග‍්‍රාහකයන් බවට පත්වෙති. මේ සාස්තරකාරයෝ, මිල අධික ‘පූජා’ ඇතුළු වෙනත් යාතුකර්ම නිර්දේශ කරති. එය, මිනිසුන්ව බිය වැද්දීමකි. මිනිසුන්ව සූරාකෑමකි. වංචාකාරී ප්‍රෝඩාවකි.

යමෙකු අධි-තාත්වික මෝහනයක සහනය සොයන්නේ නම් එය ඔහුගේ හෝ ඇගේ පුද්ගල වරණයකි. එහෙත් වැදගත් පුද්ගලයන් රජයේ වියදමින් එසේ කරන විට සහ දුප්පතුන්ව බිය ගන්වා මිල අධික යාතුකර්මවලට තල්ලූ කරන විට, එසේ නොකළොත් මාරක අනතුරුවලට මුහුණදීමට සිදුවිය හැකි බවට තැති ගන්වන විට, එය සාපරාධී ය. උදාහරණයක් වශයෙන් ගතහොත්, අපේ දේශපාලඥයන් වරම් පතා වෙනත් රටවල දේවාලවලට යන්නේ අපේ දෙවිවරුන්ට වඩා ඒ දෙවිවරුන් බලවත් නිසා ද? සාමාන්‍ය සිහි බුද්ධිය ඇති මිනිසුන් පවා පොල් ගසා හතුරන්ට ශාප කිරීම, පළතුරු වට්ටි පූජා කොට වරම් ඉල්ලීම, මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු තත්වයකි.

මගේ අරමුණ වන්නේ, හේතු බුද්ධියෙන් යුතුව මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීම මිස අවුලක් ඇති කිරීම නොවේ. ශිෂ්ට සම්පන්න ආකාරයෙන්, වරදක් පෙන්වා දෙතොත්, එය නිවැරදි කර ගැනීමටත් මම මැළි නොවෙමි.

උපතිස්ස පෙතියාගොඩ

2018 සැප්තැම්බර් 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Astrology, Astronomy & Reason නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.