iMage by:the truth

බළලුන් සිල් ගත්තාම මීයන් ප්‍රවේසම් වෙන්න ඕනලු. මොකද බළලාට කොච්චර හොඳට කන්න බොන්න දුන්නත් අමු ලේ රස දඩයම් මසක් නැතිව බඩ කට පිරෙන්නේ නෑ කියලා කියනවා. ඒ වගේම ජාතික හෙළ උරුමයේ මහනායක චම්පික රණවක අද සාමය ගැන කතාකරන කොට මේකා මේ එන්න හදන්නේ මොකාටද කියලා හිතට දැනෙන්නේ භීතියක්. එහෙම බැලුවාම අස්ගිරියේ උපාලි සාදු කිව්වා වාගේ හිට්ලර් හොඳයි. මොකද ඒකා තමන්ගේ ප්‍රතිපත්තිය පාවා නොදී බිරින්දයි, බල්ලයි එක්ක වස බීලා බංකරය ඇතුලෙම මැරිලා ගියා. එත් චම්පික රණවකලා සිල් ගත් මීයන් සේ බණ කියන්න පටන් අරන්.

මෙන්න අලුත් චම්පික

“මේ ප‍්‍රශ්නය අර නහී වේරේන වේරානි කියන බුදු වදනට අනුව දිගට දිග්ගැහිච්ච කාරණයක් ලෙස ගෙන යාමෙන් මේ තුවාලය පෑරෙනවා මිස, ඒ පෑරීම නිසා මේ සමාජයට ලැබෙන කිසිම සුගතියක් නැති නිසා මේ කරුණු රජයට යෝජනා කරන්න කැමතියි.”

ඇත්ත, “මේ සමාජයට ලැබෙන කිසිම සුගතියක් නැති නිසා” කියලා කියන්නේ චම්පිකලගේ සමාජයට නැතිනම් යුදවාදී සමාජයට වෙන්නැති. මොකද යුද්දෙන් සුගතියක් වුනේ රාජපක්ෂලාට. චම්පිකලට ලැබුනේ අහුකොන්. ඒත් යුද්දය කරගෙන යනකොට මේ යුද්දෙන් නිරායුද අහිංසක මිනිස්සු මැරෙනවා නේද කියලා අපි ඇහුවම එදා එක යුද කඳවුරේ හිටපු චම්පිකලා, විමල්ලා, ඩලස්ලා මහත් ආඩම්බරයෙන් කිව්වේ හිට්ලර් බිහි කරපු ජර්මන් ජනතාව ඒකට වන්දිය ගෙව්වා වාගේම ප්‍රභාකරන් බිහි කරපු දෙමළාත් ඒ වන්දිය ගෙවිය යුතුයි කියලා.

එහෙම කියපු චම්පික සැප්තැම්බර් 17 මාධ්‍ය හමුවක් කැඳවමින් යුද අපරාධ සම්බන්ධයෙන් පංච මහා යෝජනාවක් ගෙනැල්ලා. ඒ යෝජනා මේ මස 24 දා එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලයට ජනාධිපති ඉදිරිපත් කරන යෝජනා මුට්ටිය දාල බැලීමක් කියලා හිතන්න පුළුවන්. මේ යෝජනා ජනාධිපතිට ඉදිරිපත් කලේ මහින්දලා ගේ පාර්ශවයෙන් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ යෝජනා පහට එන්න කලින් චම්පිකගේ පුර්විකාව විමසා බලමු. ඔහු පටන් ගන්නේ මෙහෙම.

“එක පැත්තකින් එවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ රජය තමන් ත‍්‍රස්තවාදීන් කියලා පිළිගත්ත, පාපොච්චාරණය කළ, අවි බාරදුන් 12,000 කට අධික ප‍්‍රමාණයක් කෙටි පුනරුත්ථාපනයකින් පසුව සමාජයට මුදා හැර තිබෙනවා.”

දැන් සංහිඳියාවක් ගැන කතා කරන රණවක පළමුවෙන්ම කියන්න ඕනා ඔහු කියන මේ 12,000 කට අධික ප්‍රමාණය තමන් “ත‍්‍රස්තවාදීන්” කියලා පිළිගත්තද, එහෙම පිළිගත්තා නම්, ඒ හැම කෙනෙක්ම අවි භාර දුන්නා නම් ඒවා ලිඛිතව තිබෙනවාද? පාපොච්චාරණය කළේ තෝසේ, උළුදු වඩේ කකා සන්තෝෂයෙන්ද, නැතිනම් විකට් පොලු, කටුකම්බි අධෝ මාර්ගයේ යැවීමෙන් පසුවද? කාන්තාවන් ගේ යෝනි මාර්ගය පැලී ඉරී යන තරමේ වද වේදනා කැටි වූ ලිංගික ත්‍රස්තයකින් දෙන ලද දෙතිස් වද වේදනාවලින් පසුවද නැද්ද කියලාත් පැහැදිලි කරන්න ඕන.

එවගේම පුනරුත්ථාපන කඳවුරු කියන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයේම දිගුවක් හැටියට පවත්වාගෙන ගිය, දෙමළ ජනතාව ඉලක්ක කරගත් වධකාගාර කියා ලියැවී තිබෙන එක්සත් ජාතීන්ගේ වාර්තා රණවක ඇමැතිතුමා කියවලා ඇති කියලයි හිතන්නේ. නැතිනම් ළඟදී රුසියාවට තානාපති කරලා යවපු හිටපු ජිනීවා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගෙන් අහගන්න බැරි වෙන එකක් නෑ.

එච්චර මොකටද? චම්පිකත් හිටපු ජවිපෙ සාමාජිකයෙක්නෙ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාධරයෙක්ය කියලා අමතක වෙන්න විදියක් නෑනේ. අසූ නමයේදී ත්‍රස්තවාදියෙක් හැටියට උස්සගෙන ගිහිල්ලා කොළඹ විශ්ව විද්‍යාලේ නීති පීඨයේ තුවාන් මුතාලිෆ් ගේ අණසක යටතේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයේ වධකාගාරයේ දී පුනරුත්ථාපනය කරපු හැටි තාම අමතක වෙන්න හේතුවක් නෑ. ඊට පහු කාලෙක දිවයින පත්තරේට චම්පිකම පිටු ගණන් ලියපු විස්තර කියවලා බැලුවාම සිංහල ත්‍රස්තවාදියාගේ අච්චරට මෙච්චර නම්, දෙමළ ත්‍රස්තවාදියාගේ මෙච්චරට කොච්චරද කියා උන්නැහේටම ගණන් හදා ගන්න පුළුවන්.

ඊලඟට චම්පික කියන මේ කතාව

“විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන නීතිය අකුරට තරාතිරම නොබලා ස්වාධීනව කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා අපට කියන්න පුළුවන් ප‍්‍රතිපත්තියක් හැටියට. ඒක අපි පිළිඅරගෙන ස්වාධීනව නීතිය අකුරට කි‍්‍රයාත්මක කළොත් මොකද වෙන්නේ, අර තමන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යැයි කියා පිළිගත්ත ඒ වගේම කෙටි පුනරුත්ථාපනයකින් පසුව මුදා හැරපු, එම මුදාහැරීම සඳහා කිසිම අනපණතක් පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නැහැ. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තෙත් නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ සියළු දෙනාම නැවත අත්අඩංගුවට ගන්න වෙනවා.”

හරියටම හරි. ජාත්‍යන්තර සංවිධාන නෙමේ මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව ඉල්ලා හිටියේ තරාතිරම නොබලා නීතිය අකුරට, ස්වාධීනව කි‍්‍රයාත්මක කරන්න කියලා. ප්‍රශ්නය තියෙන්නේ ඒක උතුරේ දෙමළට ක්‍රියාත්මක වුනාට, දකුණේ ක්‍රියාත්මක නොවීමයි. එහෙනම් චම්පික කියනා විදියට එල්.ටී.ටී.ඊ. 12,000 ම නැවත අත් අඩංගුවට ගමු. ඔවුන් මුදාහැරීම සඳහා කිසිම අනපණතක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැති, කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තෙත් නැති හිතුවක්කාර ඒකාධිපති මහින්ද රාජපක්ෂත් අත් අඩංගුවට ගමු. එත් එක්කම නිරායුද මිනිසුන් මරපු ගෝටා ඇතුළු සියලු හමුදා නිලධාරීන්වත් අත් අඩංගුවට ගමු.

හැබැයි පුංචි කොස්සක් තියෙන්නේ ඇමැතිතුමා කියන විදියට ඊනියා දෙමළ පුනරුත්ථාපනය කරලා තියෙන්නෙත් නීතියක් ඇතිව නෙවෙයි.

නිදහස භුක්ති විඳින කොටි

අවසාන මොහොත දක්වා මහින්ද එක්ක සූප්පුව දාගෙන හිටිය චම්පික, හැට දෙලක්ෂයක් ජනතාවගේ ගමනේ අන්තිම බස් එකේ ෆුට් බෝඩ් එකෙත් නෙමේ පස්සේ ඉනිමගේ එල්ලුනේ. (රතන සාදුනම් ෆුට් බෝඩ් එකට ගොඩ වුනා) එහෙව් චම්පිකට නීතිය නවන්න කියලා කියන්න හයිය ආවේ ජනාධිපතිගෙන් නෙවේ නම් වෙන කොහෙන්ද?

රටේ පොලිසිය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළොත්, දණ්ඩ නීති සංග්‍රහය කඩ කලොත් ඒ පිළිබඳව විමර්ශනය කරලා අදාළ පුද්ගලයා අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. එහිදී එය ඔප්පු කළොත් අධිකරනය විසින් දඬුවම් දෙනවා. ඒ දඬුවම් ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාරය විසින්. එයින් පිට නීතිය ක්‍රියාත්මක කරන්න කාටවත් අයිතියක් නෑ. එල්.ටී.ටී.ඊ. 12,000 ක් නිදහස් කිරීම ගැන චම්පික කියන්නේ ඇත්තක් නම් පළමුව අත් අඩංගුවට ගන්න වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ මහින්ද රාජපක්ෂ. චම්පික ඒකට එකඟද?

“විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. යේ ඉහළම ගණයේ නායකයන් වෙච්ච රාම්, නගුලන්, කේ. පී. වැනි අය අද නිදහස් ජීවිත ගත කරනවා. මේ මෑතදි නම් යම් යම් පිරිස් අත්අඩංගුවට පත්වෙනවා වෙනත් වෙනත් කරුණු නිසා. නමුත් මේ පිරිස්වලට නීතිය කි‍්‍රයාත්මක වෙලා නැහැ. ඉතින් මේ නීතිය හැමෝටම සමව කි‍්‍රයාත්මක වනවා නම් ඒ අයුරින් කි‍්‍රයාත්මක විය යුතුයි. නමුත් අද ප‍්‍රායෝගිකව එවැන්නක් කිරීමේ හැකියාවක් නැහැ.” මේ චම්පික නඟන තවත් චෝදනාවක්.

නමුත් චම්පිකගේ ඇහැ පොට්ටද, කණ බීරිද කියලා අහන්න වෙන්නේ රාම්, නගුලන්, කේ. පී. වැනි ඉහළම ගණයේ නායකයින්ට වගේම ගෝටා, ජගත් ජයසූරිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ළමුන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නාවික හමුදා කොමඩෝර් ඩී.කේ.පී. දසනායක වැනි ඉහළ මාලයේ සිංහල හමුදා නායකයොත් ගත කරන්නේ නිදහස් ජිවිත තමයි. ඔවුන් අත් අඩංගුවට ගැනීමත් ජනාධිපති තහනම් කරලා තියෙන්නේ. කෙලින්ම නඩු පවරන්නලු. ඒකත් හරියට සංවාසයේ නොයෙදී දරුවෝ හදපන් කියන්නා වගේ කතාවක්. ඒ විතරක්ද? චම්පික එක්ක එකට කැබිනෙට්ටුවේ හිටිය කරුණා අම්මාන්, හිටපු මහ ඇමැති පිල්ලෙයාන්. ඒ අයත් ගත කරන්නේ නිදහස් ජිවිත තමයි.

විළිබියක් නැතිව මේ සියල්ල දිහා නිවට නියාලුව බලා හිටි චම්පිකට සිය අතීතය අමතක වෙච්ච එක ගැන තවත් නිදර්ශනයක් මෙන්න.

“මේ රටේ එල්.ටී.ටී. ඊ කැරැල්ල විතරක් නෙමෙයි ඇතිවුණේ. මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලකුත් ඇතිවුණා. ඒ කැරළිකාරී කි‍්‍රයාවලියත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් තමයි. ඒ ක්‍රියාවලියේදී මොකද සිදුවුණේ. ඒ කි‍්‍රයාවලියට සම්බන්ධ ඇතැම් පිරිස් මිය ගියා, ඇතැම් අයට නඩු දැම්මා, එයට සම්බන්ධ වූ හමුදා නිලධාරීනුත් වගේම ජවිපෙ සාමාජකයනුත් නිරුපද්‍රිතව ඉන්නවා.”

“මේ සමාජයේ ජවිපෙ පමණක් නෙමෙයි අවි ගත්තේ, ජවිපෙ ඝාතනයට ලක් වූ වාමාංශික කණ්ඩායම් නොයෙක් අය, නොයෙක් පිරිස් ප‍්‍රා, සා, උකුස්සා ආදී සංවිධාන පිහිටුවාගෙන ඝාතන සිදු කළා. ඒ අයත් අද නිරුපද්‍රිතව ඉන්නවා. කට්ටියක් මිය ගියා. විශාල පිරිසක් දේශපාලනයේ බලගතු තැන්වල ඉන්නවා.”

ස්ත්‍රී දූෂකයාගේ දාන පාරමිතාව

ඊලඟ කාරණාව තමයි “වාමාංශික කණ්ඩායම් නොයෙක් අය, නොයෙක් පිරිස් ප‍්‍රා, සා, උකුස්සා ආදී සංවිධාන පිහිටුවාගෙන ඝාතන සිදු කළා,” කියන එක. මේ රටේ තියෙන ප්‍රධාන කාරණාවක් තමයි දණ්ඩ මුක්තිය නැතිනම් රාජ්‍ය අපරාධකරුවන්, රාජ්‍ය ත්‍රස්තවාදීන් හෝ රජයට හිතවත් මිනීමරු කල්ලි දඬුවම් නොලබා සිටීමේ අයිතිය. මේ අයිතිය අහෝසි කළ යුතුයි කියලා තමයි ජනවාරි අට සිරිසේන ජනාධිපති කළේ. ඒත් සිරිසේන ජනාධිපතිත් කළේ අනිත් සේනලා කරපු සන්තෑසියම තමයි. චම්පික වංගු දදා කෙකර ගාමින් අද මේ කියන්නෙත් රාජ්‍ය ත්‍රස්තවාදයට, රජයට හිතවත් මිනීමරු කල්ලිවලට දඬුවම් නොකළ යුතුයි කියලයි. ඒ මුක්තිය හැමදාමටම පවත්වාගෙන යමු කියලා. අනෙක චම්පික කියනා විදියට ජවිපෙ කැරැල්ල ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් නම් ඒ කැරැල්ලේ හිටපු චම්පිකත් ත්‍රස්තවාදියෙක්.

දූෂණයට ලක් වූ කෙනෙකුට දූෂකයා යෝජනා කරන්නෙත්, හතර හන්දි කඩපු එකෙකුට පොලිසිය යෝජනා කරන්නෙත් චම්පික වාගේම “ඕක පොඩි වැඩක්. ආ.. මේ සල්ලි තියාගන්න. ඔන්න ඕක අමතක කරලා දාන්න,” කියලා.

මහින්දගේ ආණ්ඩුවේ ඇමති කාලේ දොන්ජුවන් ධර්මපාල ලෙසින් හඳුන්වපු රනිල්ට “සර්” කියලා අද ඇමැතිකමක් ගන්න චම්පිකට පුළුවන්. එහෙම අරගෙන එදා රජතුමා කිව්ව මහින්දට අද දොන් ජුවන් ධර්මපාල කියන්නත් චම්පිකට පුළුවන්. ඒත් උතුරේ අම්මලා නම් අවුරුදු දහයකට ආසන්න කාලයක් පෙන්නුම් කරමින් ඉන්නේ යුද්දය අවසානයේ ආරක්ෂක සේනාවන්ට භාරදුන් සිය ඥාතීන්ට සිද්ධ වුනේ මොකක්ද කියලා හරිහැටි දැන ගන්නා තුරු සිය ස්ථාවරය අත හරින්නේ නැහැ කියලා. ඒ නිසා චම්පිකගේ පංච යෝජනා වලට වැදුම්ගෙයි වලිප්පුව හැදෙන්න පුළුවන්.

මෙහෙව් ඉතිහාසයක් ඇති බොරුව අයිසින් කරන පා.ච. රණවක තමන්ගේ මිනීමැරුම් යුක්ති සහගත කරන්න ජාත්‍යන්තර ගරිල්ලා ව්‍යාපාරත් මේකට අමුණා ගන්නවා.

“මෙයට සමාන තත්වයක් තිබූ දකුණු අපි‍්‍රකාවෙත් සත්‍ය කොමිසම හරහා සෑම පිරිසක්ම මෙවැනි එකිනෙකාට සමාව දීමේ කි‍්‍රයාවලියක නියැලූණා. මේ මෑතකදී කොලොම්බියාවේ පාර්ක් ගරිල්ලා ව්‍යාපාරයේ, එය තමයි ඉතිරිවෙලා තිබූ එකම ඉස්ලාමීය නොවන ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අවි බිම තබලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවා රජයෙන් සියළු දෙනාටම පොදු සමාවක් ලැබුණා.”

චම්පික දැන් ප්‍රශ්නය තියෙන්නේ මීට ගොඩක් එහා. මේ යෝජනා හරියට අවුරුදු පහේදී ඉල්ලු බෝනික්කා අවුරුදු විසි පහේදී ඕනද කියලා අහනවා වාගේ ගොන් කතාවක්. යුද්දයට පෙරත්, දෙමළ ජන ඝාතක යුද්දය මැදත් විශේෂයෙන්ම නව සම සමාජ පක්ෂය යෝජනා කළේ උතුරේ ගරිල්ලා ව්‍යාපාරයත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳා ගතයුතුයි කියලා. ඒත් හෙළ උරුමයටත්, ජවිපෙටත් උතුර සමූළ ඝාතනය කරනා තුරු කිසිම ඉස්පාසුවක් තිබුනේ නැහැ. අන්තිමේ මහා ජන සංහාරයක් කරලා, මහින්ද වාගේ ඒකාධිපතියෙක් බිහි කරලා, චිනා ඇතුළු පරදේශක්කාරයන්ට මව්බිම විකුණලා, රට ණය කන්දක හිරකරලා අද ගරිල්ලාවරු එක්ක සම්මුති කතා කරන කොට ජනාධිපති සිරිසේනගේ මඩුවලිගය තමයි අතට ගන්න ඕන. මේ විදියට හත්පලේ ගා ගනිමින් ඉන්න චම්පික අපරාධ වර්ගීකරණය කරන හැටි බොහොම උජාරුවෙන් කියලා තියෙනවා.

පොදු අපරාධ සහ පුද්ගලික අපරාධ

“මේ හැම කෙනාගේම අපරාධ පිළිබඳව වර්ගීකරණයක් කරන්න. එතනදී යුද්ධ කි‍්‍රයාදාමයේදී සිදු වූ ඒ අභිමතාර්ථ සාධනයේදී සිදු වූ අපරාධ මොනවාද?, පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ඨ කර ගන්න, කප්පම් ගන්න, එහෙම නැත්නම් බය කරන්න නැත්නම් වෙනත් දෙයක් කරන්න පෞද්ගලික මට්ටමින් අභිමතාර්ථ ඉටුකර ගන්න ගිය අපරාධ මොනවාද කියලා වර්ගීකරණයක් සිදු කරන්න.”

අත් අඩංගුවට ගත් බොහෝ දෙනා ගැහැණු පිරිමි භේදයකින් තොරව ලිංගික හිංසනයට ලක්කළා කියලා චෝදනා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ කරන්න තරම් ප්‍රමාණවත් සාක්කි තියනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පිළිගෙන තියෙනවා. මේ අය අත් අඩංගුවට ගන්නේ යුද්දයේම කොටසක් විදියට. LTTE යුද රහස් දැන ගන්න කියලා. ලිංගික හිංසනයත් ඒ තොරතුරු දැන ගැනීමේ එක ක්‍රමයක්. හැබැයි ලිංගික කාර්යයේදී සුරතාන්තයට පත්වන්නේ ඒක කරනා පුද්ගලයා විතරයි. එතකොට ඒක පුද්ගලිකද? යුද්ධයද?

ඒ වගේම චම්පිකගේ හිටපු කැබිනට් සගයකු වූ එස් බී දිසානායක පසුගිය දිනක ප්‍රසිද්ධියේ පිළිගත්තා ආරක්ෂක හමුදා වෙත භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් මරා දැම්මා කියලා. සිංහල මාධ්‍යකාරයෝ කට පුක වහගෙන හිටියට සුදු කොඩි ගෙන යටත් වූ පුලිදේවන්, නඩේසන් ඇතුළු පිරිස, ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් මැරුවේ හමුදා අත් අඩංගුවේදී කියලා. ඒක පුද්ගලිකද? යුද්ධයද?

චම්පිකලාගේ, මහින්දලාගේ කොමිෂන් අනුව අතුරුදහන් කරපු ප්‍රමාණය 20,000 ක්. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට අනුව මරා දැමුණු සිවිල් වැසියන් ප්‍රමාණය හාරපන්දාහක්. ඒ අතර යුද්දයේ අවසාන දවසේ නිරායුද සිවිල් ජනයා 40,000 සිට 150,000 දක්වා අතර පිරිසක් මරා දැම්මා කියලා තමයි විවිධ වාර්තා කියන්නේ. ඒක පුද්ගලිකද? යුද්ධයද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, සිරිසේන – රනිල් ආණ්ඩුව විසින් මනෝරි මුත්තෙට්ට්වෙගමගේ නායකත්වයෙන් පිහිටුවන ලද ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය (OMP) ඇතුළු ආයතන ගණනාවක් වාර්තා කර තියෙන්නෙත් ත්‍රස්තවාදය වැළක්වීමේ පණත සහ හදිසි නීතිය වැනි අනපනත් යොදාගෙන යුද්ද කාලයේත්, ඊට පස්සෙත් පැහැරගෙන යාම්, ඝාතන හා ස්ත්‍රී දුෂණ ඇතුළු ලිංගික වධහිංසා කිරීම සම්බන්ධයෙන් රජයේ ආරක්ෂක අංශවලට සාක්ෂි සහිත චෝදනා තිබෙනවා කියලා. මේවා කවර අභිමතාර්ථ සාධනය සඳහා කරන ලද අපරාධ දැයි වර්ගීකරණය කරන්නට වෙන්නේත් චම්පිකටම තමයි.

හැබැයි ඔය වර්ගීකරණය කරන්නේ යුක්තිය ඉටු කරන්න නම් අපිත් අත් දෙකම උස්සනවා. එතකොට පෞද්ගලික අපරාධ කරපු අයට පුද්ගලයන් හැටියට දඬුවම් කරලා පොදු යුද අපරාධ කරපු හැත්ත බුරුත්ත උන්ට අණ දීපු නායක කාරකාදීන් එක්කම ගස් යවන්න පුළුවන්. ඊළඟ ඡන්දෙට ඉස්සර වෙලා එහෙම කරගත්තොත් නම්, දෙමළ ජනයා මේ පාරත් 2015 ගිය පාරේම ඇවිත් කතිරේ ගහවි.

සිංහල බෞද්ධ අධිකාරී බලය

පිස්සෝ කලබල වුනාට දොස්තරලා කලබල වෙන්න හොඳ නෑ කියලා කියනවා. හොල්ලලා බලලා කලටිද, පැහිලද කියලා පොල් ගොඩ ගහනවා වගේ අපරාධ වෙන් කරන්න බෑ. ඒ නිසා අපරාධයක් සම්බන්ධයෙන් පළමුව කලයුත්තේ අවශ්‍යනම් අත් අඩංගුවට අරගෙන හෝ විමර්ශණ සිදු කිරීම. ඊට පස්සේ අධිකරණය මගින් දඬුවම් දීම. ඉබි ගමනින් හරි මේ වෙද්දී ඒ ක්‍රියාවලිය සිද්ද වෙමින් යන්නේ. චම්පිකලාට, ජනාධිපතිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අපරාධකරුවන්ට දඬුවම් දීමට වඩා රණවිරු ලේබලයේ පොල්මඃකාරයෝ වෙන්න. මහින්දලාගේ සිංහල බෞද්ධ ජාතිවාදී උරුමයේ අයිතිකාරයෝ වෙන්න. ඒ වෙනුවෙන් අපරාධ නෙමේ නීතිය වර්ගීකරණය කරන්න.

ඒ නිසා “බි‍්‍රතාන්‍ය නිදහසින් පසුව අපට අනාගතය සඳහා ගමනක් සකස් කර ගත යුතුව තිබුණා” යි චම්පික කරන්නා වූ ඇඬියාව පමණයි මේ යෝජනාවලියේ වැදගත් අදහසක් හැටියට ගන්න තියෙන්නේ. හැබැයි ඒ ගමන කඩාකප්පල් කිරීමට ඉවහල් වූනේ සිංහල බෞද්ධ අධිකාරී මතය බව අදත් චම්පිකලා තේරුම් ගන්නේ නැතිනම් හෙට දවසෙත් බෙදීමක් මිස එක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගමන සකස් කරගන්න අද සිද්ධ වෙන්නෙත් යුද පීඩිතයන් මත පටවන සිංහල බෞද්ධ අධිකාරී මත බලපෑමකින් නොව ඔවුන් ගේ යෝජනා සාකච්ඡාවට ගනිමින් ඔවුනට යුක්තිය සාධාරණය ඉටු කිරීමෙන් පමණයි. දෙමළා ජාතියක් ලෙස පිළිගනිමින් බලය බෙදා ගනිමින් ඔවුන් ද බලයේ කොටස්කාරයන් කර ගැනීමෙන් පමණයි.

එහෙම නැතිව අපරාධ බෙදා වෙන් කිරීමෙන් නෙවෙයි.

මේ කරුණු සැලකිල්ලට ගන්නේ නැතිව “ජාතික පොදු සමාවක් දීලා මුලූ රටම එකට එකතු විය යුතු වෙලාවක්” කියලා කක්ක ගොඩක් පස් පිඩැල්ලකින් වහනවා වාගේ දෙමළාගේ සියලු ප්‍රශ්න වසා දමලා එකතු වෙන්න කතා කිරීම චම්පිකලා කරනා පට්ට තකතීරු අමන යෝජනාවක්. එහෙම ලෝකයක් ඉදිකරන්න පුලුවන් කියලා හිතනවානම් ඒ ලෝකය ගොඩනඟන්න පුළුවන් රජවාසල කේවට්ටයන්ගේත් එහි ඉඳුල් බුදින්නන්ගේත් ඔළුගෙඩිවල විතරමයි.

ඥානසිරි කොත්තිගොඩ | Ghanasiri Koththigoda