iMAGE: Vikalpa/Unframed

යුක්තිය සහ ජීවිතය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා පවත්වමින් යන #UNRAMED  ඡායාරූප ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධයෙන් වාරණයට ලක් කෙරෙයි.

විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන මෙම සුවිශේෂි  ඡායාරූප ප්‍රදර්ශනය තුළදී   ලංකාවේ යුද්ධයෙන් වසර 9 කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත්, 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය, වසර 150 ක් ඉක්ම ගිය ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මෙන්ම  පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ද #UNFRAMED පශ්චාත් යුධ ශ්‍රී ලංකාව  – යුක්තිය සහ ජීවිතය වෙනුවෙන්’ යන තේමාම මුලික කොට ගෙන  ප්‍රදර්ශනය වේ. ඒ අනුව කොළඹ, මිගමුව, මාතර හා අනුරාධපුර යන නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශන වාර 4 ක් මිට පෙර ව්‍කල්ප වෙබ්වි අඩවිය ව්සින් පවත්වා තිබේ.

ඔක්තෝම්බර් මස 16සිට 18 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවත්වීමට නියමිතව තිබූ පස්වන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ ‘මාගේ දේශය අවදිකරනු මැන’  2108 ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පුර්ණ  සංවිධාන ශක්තියෙනි.

නමුත් ඔක්තෝම්බර්  15වනදා සිට සංවිධානාත්මකව සමාජ ජාල මාධ්‍යවල  ප්‍රදර්ශනයට  එරෙහිව විවිධ අන්දමේ ව්‍යාජ ප්‍රකාශයන් මෙන්ම ‘විකල්ප’ වෙබ් අඩවියට හා එහි  සංස්කාරක සම්පත් සමරකෝන් හට  විවිධ අන්දමේ වෛරී ප්‍රකාශ සිදු කර තිබූ අතර සමහර ඒවා මරණ තර්ජනයන්ට ද සමාන විය.

කෙසේ වෙතත් අභ්‍යන්තරව උද්ගතව තිබු ගැටලු කාරී තත්වය හමුවේ නියමිතව තිබු පරිදි පළමු දිනය වන 16 වන දින ප්‍රදර්ශනය පැවැත්වීම සංවිධායකයින් විසින් අත්හිටුවීමට තීරණය කරන ලද අතර එදින සවස 5 ට එම විරෝධයන් පිළිබද සහ ප්‍රදර්ශනය පිළිබද සාකච්ඡා කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ  පීඨයේදී සාකච්ඡාවක් කැදවා තිබූ අතර එයට විශාල සිසුන් පිරිසක් සහභාගී විය.

සාකච්ඡාව මෙහෙයවනු ලැබූවේ සංවිධායකයන් වන මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව විසිනි. නමුත් එම රැස්වීමට සහභාගී වූ සිසුන් පිරිසක් විසින් ප්‍රදර්ශනය එල්ටීටීඊ යට සම්බන්ධ බවත්, රාජ්‍ය නොවන සංවිධානකට සම්බන්ධ බවත් විශේෂයෙන් මෙහි දෙමළ මිනිසුන්ගේ ඡායාරූප බොහෝමයක් හා  එක්නැළිගොඩ වැනි අතුරුදහන්කළ යුතුම අයගේ ඡායාරූප ඇති බවත් ඒ නිසා තම විශ්ව විද්‍යාලයේ මෙය කිසිසේත්ම පෙන්විය නොහැකි බවත්දැඩි ලෙස අවධාරණය කරන ලදී.

තවදුරටත් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධව ගැටලුවක්  මෙරට නොමැතිබවත්  විශේෂයන්ම දේශපාලන සිරකරුවන් යනු කොටි ත්‍රස්තවාදීන් නිසා එම ජායාරූප කිසිසේත්ම තම විශ්වවිද්‍යාලය තුළ ප්‍රදර්ශනය කිරීමට තමන් ඉඩ නොදෙන බවත්, ඉන් අනතුරුව කරන  සාකච්ජා තමන්ට වැඩක් නොමැති බවත් ප්‍රකාශ කරන ලදී.   ‘ලංකාවේ බහුතරය තාම සිංහල, කැම්පස් එකෙත් බහුතරයත්  සිංහල, ඒ උනාට අපි දෙමළ සහ මුස්ලිම් අය එක්ක සහයෝගයෙන් ඉන්නවා’ ඔවුන්ගේ තවත් තර්කයක් විය.

ප්‍රකාශනය නැරඹීමකින් හෝ තොරව වාරණය අසාධාරණ හෙයින්  තම චෝදනා මෙම ප්‍රදර්ශනයන් නැරඹීමෙන් පසු සංවාදයට ගැනීම සුදුසු බව සංවිධායකින් විසින් ප්‍රකාශ කළත් අදාළ සිසුහු විවිධ අතාර්කික, ව්‍යාජ තර්ක මෙන්ම වෛරී චෝදනා කරමින්  ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව තරයේ කියා සිටියහ.

විශේෂයන්ම යම් කිසි  ප්‍රකාශනයක්  නැරඹීමකින් හෝ කියැවීමෙන් තොරව එම ප්‍රකාශනය එරෙහිව  විරෝධය දැක්වීම  ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන ලද බරපතලම  ප්‍රහාරයක් බව අපගේ අදහසයි.

වඩා හාස්‍යජනක එමෙන්ම කණගාටුවට කරුණ නම් විශ්වවිද්‍යාලයක් වැනි විද්‍යාර්ථයින් බිහිකරන ආයතන පද්ධතියක මෙවැනි හැසිරීම් රටාවක් නිරීක්ෂණය කිරීමට සිදුවීමය. විශේෂයන්ම #UNFRAMED මුහුණ දුන්නා සේම මෑත කාලීනව ප්‍රකාශනයේ  නිදහස සම්බන්ධයෙන් හා කලා කෘති සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් සිදු වූ වාරණ  සම්බන්ධ ප්‍රබල සිදුවීම් කියාපාන්නේ උතුරේ හෝ දකුණේ යන භේදයකින් තොරව ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනිය සිටිය යුතු ආයතන තුළින්ම ඒවා වාරණය වීමේ බරපතල ඛේදවාචකය ය.  මෙවන් සිදුවීම් රටේ අනාගතයට මෙන්ම, පශ්චාත් යුද සමයේ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවළියට ඇති කරන්නේ ද බරපතල තර්ජනයකි. මෙම ප්‍රදර්ශනය පුරා  ඇති සියලු  ඡායාරූප මේ මොහොතේත් යුක්තිය ඉටු නොවූ මිනිසුන්ගේ මේ මහා පොළොවේ ඇත්ත ඉස්මතු කරන සත්‍ය ඡායාරූප බැවින් මෙම එල්ල කළ වාරණය ‘යුක්තිය’ ලබා ගැනීම සදහා වන වින්දිතයන්ට ඇති කරන්නේද බියකරු අනාගතයක පෙර නිමිතිය. ඒ නිසාම මෙම තත්ත්වය ශිෂ්ටත්වය වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ගේ දැඩි අවධානයට ලක්විය යුතු තත්වයක් බව අපි තරයේ විශ්වාස කරමු.

මෙම අගතිගාමී තත්වය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පරිපාලනය මෙන්ම ශිෂ්‍ය සංගම්ද බරපතල  ලෙස සැලකිල්ලට ගත යුතු තත්ත්වයක් බව අපි මෙහිදී තරයේ අවධාරණය කරන්නේ  අගතිගාමී මෙන්ම  ජාතිවාදී සිසු  පිරිසකගේ විරෝධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට තිබූ #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය වාරණයට ලක්වීම තරයේ හෙළා දකිමිනි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම වාරණය හෙළා දකිමින්  නිකුත් කරන ලද නිවේදනයේ ඉංග්‍රීසි සහ දෙමළ පිටපත මෙතැනින්