“අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති’’ යැයි මාක්ස්වාදයේ ආදි කර්තෘවරුන් ලියූවේ මෙයට වසර 171කට පෙර ය.

දැන් #MeToo නොහොත් ‘මමත් ගොදුරක්’ යන ව්‍යාපාරය අවතාරයක් සේ ස්ත්‍රීන් සිය ලිංගික භාණ්ඩ සේ සළකන පුරුෂාධිපත්‍යවාදී ලෝකය කළම්බවමින් තිබේ. මන්ද යත් #MeToo ව්‍යාපාරයේ ඉලක්කය සේවා ස්ථානයන්හි දී සිදුවන ලිංගික අතවර හෙළිදරව් කරමින් වරදකරුවන් නීතිය සහ හෘද සාක්ෂිය හමුවට කැදවිම නිසා ය. මෙම ව්‍යාපාරය විසින් දැනටමත් ලොව පරසිදුව සිටි පිරිමින් ගණනාවක් ම විශේෂයෙන් ම ඇමෙරිකාවෙහි දී ස්‍ත්‍රී දූෂකයන් ලෙස හෙළිදරව් කර තිබේ. ඒ අතර සිනමා ලෝකයෙහි පරසිදුව සිටි අය ද වෙති.

දැන් #MeToo ව්‍යාපාරය ඉන්දියාව ද කළඹවමින් තිබේ. ස්ත්‍රීන්ට සේවා ස්ථානයන්හි දී මුහණ දෙන්නට වන ලිංගික අතවර වාර්තා කිරීමට බොහෝ දෙනෙකු මැලිවෙති. ඊට හේතුවක් නම් මෙවැනි අතවර එල්ල වන්නේ සේවා ස්ථාන ප්‍රධානීන්ගෙන් සහ ප්‍රසිද්ධ පුද්ලයින්ගෙන් නිසා ය. ඉන්දීය සිනමා නිළියන් මෙන්ම ජනමාධ්‍යවේදීනියන් ද තමන් මුහුණ දුන් ලිංගික අතවර දැන් ප්‍රසිද්ධ කරමින් සිටිති. එය හරියට බැම්මක් කඩා ගෙන එන වැළැක්විය නොහැකි ජල ධාරාවක් වැන්න. දැනටමත් එක් ජේෂ්ඨ ජනමාධ්‍යවේදියකු රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති අතර හාස්‍ය නළුවකු ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉල්ලා අස්වන සේ තෙරපුම් ඉහළ යමින් තිබේ.

තමන් ලිංගිකව අතවරයන්ට ලක් කළ පුද්ගලයින් හෙළිදරව් කරන ස්ත්‍රීන් ට සහාය දෙන බවට ඉන්දීය සිනමා නිශ්පාදක සංසදය, ඉන්දීය කර්තෘ සංසදය සහ ජාතික කාන්තා කොමිසම ප්‍රකාශ කර තිබේ. තමන් සේවා ස්ථානයන්හි දී මුහණ දුන් ලිංගික අතවර පිළිබඳ වාර්තා දැන් ඉන්දීය සමාජ ජාලයන්හි දිගින් දිගට ම දැක්වෙයි.

ටිවිටර් නම් සමාජ ජාලයෙ හි කරන මැදිහත්වීම්වල දී හෑෂ්ටැග් නමින් ඉංග්‍රීසි බසින් හදුන්වන # යන සළකුණ වචනයකට හෝ අදහසකට යෙදීම මගින් සිදු වන එක් දෙයක් නම් එම අදහස දරණ වෙනත් ඊට දායක වෙමින් එය ප්‍රවණතාවයක් වශයෙන් වර්ධනය කර ගැනීමට මඟ සැළසීමයි. මෙම #MeToo ව්‍යාපාරය 2009 වසරෙහිදී ආරම්භ කරන ලද්දේ අප්‍රිකා- අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන තරානා බෘක් නම් මැදිවයස් කාන්තාවක් විසිනි. ඇය සිය තරුණ දිවියේ සිට ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් සටන් වැද සිටින දිරිය ගැහැනියකි.

එසේ නමුත් එය ව්‍යාපාරයක් ලෙස පැතිර ගියේ 2015 දී ජනප්‍රිය නිළියක ළුූ එලීසා මිලානෝ එම තමන් මුහුණ දුන් එවැනි අතවර ප්‍රසිද්ධියට පත්කර එම හෑෂ්ටැගය අදාළ කරගැනීම සමගිනි. ඉන්පසු ගතවූ මාස තුන තුළ පමණක් #MeToo ටිවීට් පණිවිඩ ලක්ෂ 65ක් සංසරණය විය. #MeToo ව්‍යාපාරය සැළකෙන්නේ සමාජ ජාලයන්හි ඇතිවූ විශාලතම ව්‍යාපාරයක් ලෙස ය.

ඉන්දියාවෙහි ප්‍රතිපත්ති ගරුක ජනමාධ්‍ය මෙම #MeToo ව්‍යාපාරය දිරිමත් කරමින් සහාය දෙමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ‘විකල්ප’ පුවත්පතක් යැයි ආරම්භයේදී කියා සිටි ලේක්හවුසියේ ‘රැස’ පත්තරය ලියන්නේ මෙසේ ය:

‘ගැහැනිය වෙනුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි ටොන් ගණන් බර මහිලා ප්‍රකාශන තිබේ. කාන්තා හිංසනය වැනි ගැලරියේ විසිල් එන කුලඟන කතා තිබේ. එහෙත් ඒවා හුදෙක් ගැහැනිය නහවන සිල්ලර සබන් බෝල මිස, ඇයව ඔසවන පොහොසත් මතවාද නොවේ. පොදු ප්‍රවාහන සේවයකදී ඇගේ අඟපසඟ තෙරපීම නැවතීමෙන්, නිවසේ අඹු සැමි අඬදබර නිවීමෙන්, සනීපාරක්ෂක තුවාවල බදු කැපීමෙන් ඇගේ විමුක්තිය සැලසේ නම්, එසේ සිතන ඇතතන් අතීතයේ සිට නැවත වරක් ගැහැනිය කියවා පැමිණිය යුතුය.’

මේ අදහස් දක්වා ඇත්තේ එහි කතු වැකියෙහි ය. ඊට අනුව ගෘහස්ත ප්‍රචන්ඩත්වයට විරුද්ධව කටයුතු කිරීම සබන් බෝලයකි. මෙසේ ලියන්නේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 60ක් ගාහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වන රටකය! මෙම කතුවරයාට අනුව පොදු ප්‍රවාහණ සේවාවන්හිදී ලිංගික අතවරයන්ට ලක්වීමට විරුද්ධවිම ගැලරිය පිනවීමට කරන වැඩ ය. මෙසේ ලියන්නේ මෑත කාලින සියළු ම වාර්තා මගින් සියයට 90ක් තරම් ස්ත්‍රීන් පොදු ප්‍රවාහණ සේවාවන්හිදී ලිංගික අතවරයන්ට ලක්වන බව සනාථ වී තිබිය දිය. #Metoo මෙරට දියත් වූ දිනෙක මෙවැනි රාජ්‍ය මාධ්‍යවේදීන් මොනවා නොලියාවිද?

ඉන්දියාව කළඹවන ස්ත්‍රී ව්‍යාපාරයන් සේවා ස්ථානයේ ලිංගික අතර නතර කරනු වස් පෙරට එන අතර වාරයේම ජනාධිපති සිරිසේන වෙනත් අන්දමකින් ඉන්දියාව මෙරට දේශපාලන සාකච්ජාවෙහි ඉස්මත්තටම ගෙන ආවේ ය.

සිරිසේන නිව්යෝක් නුවරදි ඉන්දියාවට එරෙහිව වාචාල බෝම්බයක් අතහැරියේ 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ නිව්යෝක් නුවරට ගිය සංචාරයේදී ය. ඒ එල්ටිටීඊ සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර වූ යුද්ධයේ අවසාන සති දෙකහිදී ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් යානා පැමිණ කොළඹට පොකුරු බෝම්බ දැමිමට සැළසුමක් තිබූ බවට ය. තවද එම අවදානමට මුහුණ දීමට ඒ අවස්ථාවෙහි මෙරට සිටියේ තමා පමණක් බවය.

ඔහුගේ එම කතාව පුස් බෝම්බයක් බවට පත් කරන ලද්දේ යුද්ධයේ ප්‍රධානීන් වූ එකල ආරක්ෂක ලේකම් වූ රාජපක්ෂ සහ යුද හමුදාපති වූ සරත් ෆොන්සේකා විසිනි. සිරිසේන ගල් ගිල්ලා මෙන් සිටියා මිස ඒ දෙදෙනාට පිළිතුරක් දුන්නේ නැත. සිරිසේනගෙන් එම ප්‍රකාශය ගැන කවර හෝ ජනමාධ්‍යක් ප්‍රශ්ණ කරන ලද්දේ ද නැත.

දැන් සිරිසේන ඉන්දියාවට එරෙහිව තවත් වාචාල බෝම්බයක් අතහැර තිබේ. එනම් තමා ඝාතනය කිරිමේ සැළසුම පිටුපස ඉන්දීය රෝ ඔත්තු සේවය සිටින බවයි. ඔහු මේ බව කියා ඇත්තේ එසේ මෙසේ් තැනකදි නොව රට පාලනය කරන විධායක ඇමැති මංඩළය හමුවේදී ය.

ජනාධිපති කිසිදු අයුරකින් ඉන්දීය ඔත්තු සේවාවක් ගැන සඳහන් නොකළ බව ඇමැති රාජිත සේනාරත්න දැන් කියා සිටියද ජනාධිපති උපදේශක ලක්තිලක කියන්නේ මෙසේ ය, Speaking to the Daily Mirror, Mr. Lakthilaka said the President had only referred to an Indian intelligence service but not RAW. “The President has spoken in general terms about secret services of attempting to assassinate leaders. The President has assured that Prime Minister of India Narendra Modi was unaware of these moves.’’ ජනාධිපති සිරිසේන, තමා ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉන්දීය ඔත්තු සේවාවක් සිටින බව කී බව ලක්තිලක ප්‍රකාශ කරයි. එමෙන්ම මේ බව අගමැති මෝඩි නොදන්නා බව ජනාධිපති සහතික කළ බවද ලක්තිලක කියයි.. රෝ හැර ඉන්දියාවට වෙනත් ප්‍රසිද්ධ ඔත්තු සේවාවක් නැත. රාජිත සේනාරත්න කියන පරිදි ජනාධිපති ඉන්දී්‍ය ඔත්තු සේවාවක් ගැන සඳහන් නොකළේ නම් අගමැති මෝඩි මේ බව දන්නේ නැතිව ඇති යැයි කිවේ කුමණ කෙංගෙඩියකටද? මෝඩි මෙම ඝාතන සැළැස්ම නොදන්නා බව සහතික කර කිමට සිරිසේනට ඇති සාධක මොනවාද? ඔහු මෝඩිට කතා කළාද? නැත්නම් එකී ඔත්තු සේවාවෙන් ම අසා දැන ගත්තාද? ලක්තිලක සහ සේනාරත්න යන දෙදෙනාගේ සමූහ ගායනයෙන් මතකයට එන්නේ එකක් කඩතොලු මකා ගන්නට ගොස් ආචාරියා කඩතොලු කීයක් හදා ගත්තේද යන්නයි!

එපමණක් නොව ඉන්දී්‍ය හින්දු පවත්පතට මෙම වාර්තාව සැපයූ මීරා සිවනිවාසන් කියන්නේ තමා ඇමැතිවරු සිවි දෙනෙකුගෙන් මේ බව තහවුරු කරගත් බවය.

සිරිසේන සඳහන් කළ බව කියන ‘රෝ්’ යනුවෙන් හැදින්වෙන්නේ ඉන්දිය බාහිර ඔත්තු සේවාවයි (Research and Analysis Wing – RAW). එය කෙලින්ම ඉන්දී්‍ය අගමැතිවරයාට වාර්තා කරයි. එමෙන්ම එහි පරිපාලනය බාරව සිටින්නේ අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකි.

වෙනත් රාජ්‍යක අගමැතිවරයා යටතේ පවතින ඔත්තු සේවාවක් විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති වන තමා ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ යැයි ප්‍රකාශ කිරීමට පෙර කොතරම් කරුනු කාරණා විමර්ශනය කළ යුතුද? එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්වන බව දැන දැනම කිරීම තරම් සිරිසේනගේ අන්තර් ජාතික සබඳතා පිළිබඳ දේශපාලන දැනුම තියෙන්නේ බිංදුවේද?

සිරිසේන ඇමැති මංඩළයේදී කියා ඇත්තේ කුප්‍රසිද්ධ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව වන සිඅයිඒ කරන කටයුතු ගැන ජනාධිපති ට්‍රම්ප් නොදන්නවා මෙන්ම අගමැති මෝඩිද මේ ගැන නොදන්නවා ඇති බවයි. ඝාතන සැළසුම කාරණයක් ලෙස ඉදිරිපත් කරන සිරිසේන අගමැති මෝඩි නොදන්නවා විය හැකි යැයි කියන්නේ හිතලුවක් ලෙසය.

ඇමෙරිකානු සීඅයිඒ ඔත්තු සේව වුව වෙනත් රටක රාජ්‍ය නායකයකු ඝාතනය කරන්නට සැළසුම් කරන්නේ නම් එය අනීවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ අනුදැනුමට යටත් වනු ඇත. ලංකාවේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට ඉන්දීය අගමැතිවරයා යටතේ ඇති රෝ ඔත්තු සේවය තීරණයක් ගනනවා නම් ඒ බව එරට අගමැතිවරයා අනීවාර්යයෙන්ම දැන සිටිය යුතුය.

සිරිසේනගේ මේ චෝදනාව ඉන්දියාවට එරෙහිව කවර හෝ රාජ්‍ය නායකයකු විසින් කරන ලද මේ වර්ගයේ ප්‍රථම චෝදනාව විය හැකිය. එය අතිශය බරපතල ප්‍රකාශයකි. එම ප්‍රකාශය පසුගිය සතිය පුරා ඉන්දීය ජනමාධ්‍යයන්හි සිරස්තල අල්ලා ගත්තේ ය. දැන් සිය ප්‍රකාශ තහවුරු කිරීම පිනිස කරුනු ඉදිරිපත් කිරීම ජනාධිපති සිරසේනගේ වගකීම යි. එසේ නොකළහෝත් සිදුවනු ඇත්තේ ඔහු යළි දෙකේ කොළයට වැටීම ය.

අනෙත් අතට තමා අඩි හයක් යට වළදැමීමට සිටියේ යැයි ප්‍රසිද්ධියේ කී රාජපක්ෂවරුන් පසුපස බලය අයදිමින් යන ජනාධිපතිවරයකුගෙන් වෙන කුමන කොළයකට වැටීම අපේක්ෂා කරන්නද?

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya