සිංහල, Colombo, Economic issues, Human Security, Life quips

කොළඹ හෝටල් වලින් 90% අපිරිසිදුයි


කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

කොළඹ නගර සභාවේ නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි මහතා පවසන පරිදි කොළඹ නගරය තුළ ආහාර පාන අලෙවි සැල් 1115 ප්‍රමානයක් තිබුනද එයින් කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී ඇත්තේ 782 පමණක්බවයි. ලියාපදිංචි වූ හා නොවූ සියලු ආහාර පාන වෙළඳ සැල් මෙම සමීක්ෂණයට භාජනය කළ අතර එයින් 90% ක්ම ප්‍රමිතියෙන් තොර අපිරිසිදු තත්වයේ පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇත. අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය වෙළද සැල් අතරින් 448 කට මේවන විට නීති මගින් කටයුතු කර දඩ නියම කර ඇතිබවත් අනෙක් පිරිසටත් ලඟදීම නීති මගින් ක්‍රියාකරන බවත් වෛද්‍ය රුවන් විජයමුණි පැවසූවා. තවදුරටත් අදහස් දැක්වූ විජයමුණි මහතා පැවසූවේ කොළඹ නගරයේ ආහාර පාන වල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව වගකීම ආහාර පනත හා නගර සභා පනත මගින් තම දෙපාර්තමේන්තුවට පැවරී ඇති නිසා මින් ඉදිරියට දිගටම වැටලීම් සිදුකරන බවයි. දැනට කොළඹ නගරය තුළ හය ලක්ෂ හැත්තෑ දහසක ජනගහනයක් වාසය කරන අතර එයට අමතරව දිනපතා ලක්ෂ හතරක පමණ ජනගහනයක් කොළඹට පැමිණෙන බවයි. මේ සියළු දෙනාට ආහාර පාන සපයන කොළඹ නගරය තුළ ඇති හෝටල් වල සෞඛ්‍ය ආරක්ෂිත බව රැක ගැනීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. කොළඹ නගරයේ පවත්වාගෙන යනු ලබන හෝටල් ලකුණු ලබාදීමේ ක්‍රමයක් මගින් ඒ හා බී වශයෙන් වර්ග කිරීමට ඔවුන් බලාපොරොත්තුවන අතර ලකුණු 85 ට වැඩියෙන් ලබාගන්නා හෝටල් ඒ ශ්‍රේණියේ ලෙසත් ලකුණු 65 – 84 ලබාගන්නා හෝටල් බී කාණ්ඩයටත් ඇතුලත් කිරීමට බලාපොරොත්තුවේ. ලබන වසරේ සිට සී වශයෙන් තවත් කාණ්ඩයක්ද ඇතුළත් කිරීමට නගර සභාව තීරණය කර ඇත. මෙයට අමතරව හෝටල් හිමියන් හා සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට කොළඹ නගර සභාව අදහස් කර ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි විකල්ප හා පැවසූවා.