සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Kurunegala, Media

ඒකාධිපති පොස්ටරය මුද්‍රණය කළ ජයම්පතිගේ මවටත් හිරිහැර

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොස්ටරයක් මුද්‍රණය කිරීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ජයම්පති බුලත්සිංහල මහතාගේ මෑණියන් පදිංචිව සිටින වාරියපොළ බමුණාකොටුවේ ඉහළ දීල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය සතියේ පොලිස් නිල ඇඳුමෙන් පැමිණි කණ්ඩායමක් හේතුවක් නොදක්වා නිවස සෝදිසියට ලක් කර මවගෙන් ප්‍රශ්නකොට තිබේ. එයින් කම්පනයට පත් 74 හැවිරිදි බුලත්සිංහල මාතාව රෝගාතුරව වාරියපොළ රෝහලට ඇතුළත් කොට දින 4ක් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

පෝස්ටර් සිද්ධිය සම්බන්ධයෙන් ජයමිපති ඇතුඑ 8 දෙනෙකුට එරෙහිව මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් පවරන ලද නඩුවක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන අතර තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව ජයම්පති මහතා සහ ඔහුගේ බිරිඳ වන කුමුදුනී විජේවර්ධන මහත්මිය විසින් වෙන වෙන ම පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.

ජයම්පති මහතා අත්අඩංගුවට ගෙන සති දෙකක් තිස්සේ ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත මිරිහාන පොලිසියේ රඳවාගෙන සිටි අතර ඔහු උසාවියට ඉදිරිපත් කරන ලද්දේ ඔහු විසින් ගොණු කළ මූලික අයිතිවාසිකම් නඩුවේදී ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් පොලිසියට පැනවූ නියෝගයකින් පසුව ය. එහිදී සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති ජයම්පති මහතාගේ බිරිද සහ ඇගේ සහෝදරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඔවුන්ට එරෙහිව නගා ඇති චෝ්දනා ඉවත් කරගන්නා ලෙස පොලිසියට නියම කෙරිණි. තමන්ට සිදුකළ අසාධාරණයට එරෙහිව ජයම්පති මහත්මිය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද්දේ ඉන් පසුව ය.

තමන් මවගේ නිවසින් බැහැරව සිටින්නේ දස වසරකටත් අධික කාලයක සිට බවත් තමන්ටත් බිරිදටත් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉල්ලා සිටිද්දී තම මහඑ මවට ද පොලිසිය පාඩුවේ ඉන්නට නොදීම බලවත් කම්පාවට කරුණක් බවත් ජයම්පති මහතා පවසයි