Colombo, Featured Articles, Features

මීගමුව කලපුවේ ධීවරයින් යට කරමින් සී ප්ලේන් ගොඩබෑම


සජීව චාමිකර

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක් සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියාකරමින් සිටිති. මෙහි ප්‍රථම පියවර ලෙස සී ප්ලේන් ගොඩබෑමේ ගුවන් පථය සැකසීම සඳහා මීගමුව කලපුවේ ඊසාන දිග මායිමේ කැණීම් කටයුතු ආරම්භ කෙරින.

ඔක්තෝම්බර් මස අවසන් සතියේ ආරම්භ කළ නීති විරෝධී කැණීම් කටයුතු ධීවර ජනතාවගේ දැඩි උද්ඝෝෂණ මත නවතා දමනු ලැබුවේ නොවැම්බර් මස 17 වන දිනය.(මෙම උද්ඝෝෂනය පිළීබදව බලන්න දහස් ගණන් ධීවරයින්ගේ ප්‍රභල සටන හමුවේ, ආණ්ඩුව සී ප්ලේන් ව්‍යාපෘතිය හකුලා ගනීයී. (ද ?))

Govt closes seaplane project amidst Fishermen\'s massive protests (Photos)

Govt; closes Seaplane project amidst fishermen\'s Massive Protest (Video)
Photos and Video – vikalpa

නමුත් එහි සැළසුම් හා මෙහෙයුම් කටයුතු අද වන විට ද සිදු කෙරෙමින් පවතී. මෙම ගුවන් පථය මීගමුව කලපුව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිරියේ සැකසීම සිදු කරයි. සකස් කරන ගුවන් පථයේ දිග කිලෝමීටර 2 ක් පමණ වන අතර පළල මීටර 100 ක් හා ගැඹුර මීටර 3.5 ක් පමණ වේ.

ගුවන් පථය සැකසීම සඳහා කලපුවේ කිලෝමීටරයක් පමණ දිග කොටසක් ඇළ මාර්ගයක් ලෙස මේ වන විට කැණීම් කර අවසන් ය. කැණීම් කළ මතු පිට රොන් මඩ තට්ටු කලපුව තුළ ගොඩගසා ඇති අතර වැලි හා මඩ තට්ටු බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කැණීම් කර ගොඩබිමට නල මගින් පොම්ප කර තිබේ. එම වැලි හා මඩ කලපුවේ ඊසාන දිග ඉවුරේ අක්කර 5 ක පමණ ප්‍රදේශයක ගොඩගසා තිබේ. මේ සඳහා විශාල කඩොලාන භූමියක් ඉවත් කර ඇත. කිසිඳු පාරිසරික අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් ගුවන් හමුදාවේ ද සහයෝගය මත හිතුමනාපයේ ඉදි කෙරෙන මෙම සී ප්ලේන් ගුවන් පථය හේතුවෙන් සිදුවන පාරිසරික, ජෛව විද්‍යාත්මක හා සමාජ ආර්ථික බලපෑම් අති විශාල ය. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි.

හෙක්ටයාර 3164 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ මීගමුව කලපුව වටා ගම්මාන 35 ක් පමණ වෙති. ඒවායෙහි ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස 3500 කට අධික ය. ඒ ආශ්‍රිත වක්‍ර රැකියාවල යෙදෙන පිරිස 1500 ක් පමණ වේ. මේ අනුව 15000 කට අධික පිරිසක් මීගමුව කලපුවේ මත්ස්‍ය සම්පත මත යැපෙති. තෙප්පම් 500 ක්, ඔරු 1000 ක්, කුඩා බෝට්ටු 100 ක් හා ලොකු ඔරු 75 කින් පමණ ධීවර ජනතාව මීගමුව කලපුවේ මත්ස්‍ය සම්පත නෙලා ගිනිති. මෙහි බහුල ධීවර පන්න ක්‍රම 10 ක් පමණ වෙති. විසි දැල, කට්ටු දැල, හරස් දැල, කකුළු අතංගු, හරක්ගෙඩිය, තල්ලුව, ගාවන දැල්, එලන දැල්, මස් අතු, කට්ට බෑම ආදියප්‍රධාන ධීවර පන්න ක්‍රමයන් ය.

මීට අමතරව තවත් සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රම 25 ක් පමණ මීගමුව කලපුව තුළ භාවිතා වෙති.
මෙම පන්න ක්‍රම මගින් ඉස්සන්, කකුළුවන් හා මත්ස්‍යයින් අල්ලාගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අල්ලනු ලබන ඉස්සන් වනුයේ කලිස්සා හෙවත් කරඬු ඉස්සා (Penaeus monodon)” , කුරුටු ඉස්සා(Penaeus semisulcatus), දඬු ඉස්සා (Macrobegium rosenbergi) හා මලිස්සා (Metapenaeus dobsoni) ය. කකුළුවන් ලෙස සීනක්කාලි (Portunus pelagicus), මස් කකුළුවන් හෙවත් කඩොල් කකුළුවන් (Scylaserata) බහුලව අල්ලාගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අල්ලනු ලබන මත්ස්‍යයින් අතර තබලයා(Lutjanus argentimaculatus) හා මොදා (Lates Calcarifer) වෙති. මෙම මත්ස්‍යයින් සංචාරක හෝටල් සඳහා අධික මිලකට අලෙවි කරනු ලැබේ. මීට අමතරව ගොඩයා (Liza spp.), වේක්කයා (Chanos chanos)” , පරව් (Atule mate), රන්නා (Lutjanus fulviflamma), අඟුලුවා (Arius spp.) හා මොරල්ලා (Hemiramphus spp.) වැනි මත්ස්‍යයින් ද අල්ලා ගනු ලැබේ. මීගමුව කලපුවේ ඇති සුවිශේෂත්වය වන්නේ ඍතු භේදයකින් තොරව වර්ෂය මුලුල්ලේම ධීවර කටයුතුවල යෙදිය හැකි වීමයි. මේ අනුව මීගමු කලපුවෙන් හෙක්ටයාරයකට කිලෝග්රෑම් 150 ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලැබේ. ඒ අනුව රුපියල් මිලියන 150 කට වඩා වැඩි වාර්ෂික ආදායමක් මෙම කලපුවෙන් ලබාදේ. මෙවන් වූ සුවිශේෂී කලපුවක සී ප්ලේන් ගොඩබා ධීවර ජන දිවිය පරිහානියට පත් කිරීම කෙසේ සාධාරණීකරණය කළ හැකි ද යන්න ගැටළුවකි.

සී ප්ලේන් ගොඩබෑමෙන් ධීවර ජන දිවියට සිදුවන බලපෑම

ගුවන් පථය සැකසීම සඳහා, කලපු මත්ස්‍යයින්, ඉස්සන් හා කකුළුවන් බෝවන ප්‍රදේශ වන මුහුදු තෘණ බිම් විශාල වශයෙන් හානියට ලක් කර තිබේ. මීට අමතරව කලපු ජීවීන්ගේ බෝවන ස්ථාන වන කඩොලාන තීරයන් එළිපෙහෙළි කර ඇත්තේ ගුවන් පථය කැණීම් කර ඉවත් කරන වැලි හා මඩ ගොඩගැසීම සඳහා ය.

කලපුව තුළ නිසි ඇගයීමකින් තොරව ඇළ මාර්ගයක් ලෙස ගුවන් පථය සකස් කිරීම හා රොන් මඩ කඳු වශයෙන් කලපුව තුළ ගොඩ ගැසීම හේතුවෙන් වඩදිය හා බාදිය කාලසීමාවේ දී ජලය කලපුව තුළ ගලා යාමේ රිද්මයානුකූල යාන්ත්‍රනයට බාධාවන් එල්ල වේ. මේ නිසා ඉස්සන් වැනි ජීවී විශේෂවල බෝවීම් ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වේ. මේ තත්ත්වය ඉතා හානි කර මට්ටමකට පත් වන්නේ “මහ බොක්ක” ලෙස හඳුන්වන ඉස්සන්ගේ බෝවීම ප්‍රධාන වශයෙන් සිදුවන ප්‍රදේශය ආශ්‍රිත ව ගුවන් පථය කැණීම් කිරීම හා ඉවත් කරන රොන් මඩ කඳු වශයෙන් ගොඩගැසීම හේතුවෙනි. මේ නිසා වැල්ලවීදිය, මහ වීදිය, පිටිපන වීදිය හා දූව යන ගම්මාන හතරෙහි ජනතාවගේ ප්‍රධාන ධීවර පන්න ක්‍රමය වන කට්ටු දැල් පන්න ක්‍රමයෙන් ඉස්සන් ඇල්ලීමේ ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් හානි සිදු වේ. මෙම පන්න ක්‍රමයේ දී වඩදිය හා බාදිය අවස්ථාවේ දී ජලය ගලායාමේ රටාව අනුව හඳුනාගත් ප්‍රදේශවල ඉස්සන් ඇල්ලීම සිදු කරයි. නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟම කලපුවේ ඇළ මං වෙනස් වීම හේතුවෙන් කට්ටු දැල් පන්න ක්‍රමයේ යෙදෙන ධීවරයින්ට රැකියා අහිමි වීමේ දැඩි අවධානමක් පවතී.

සී ප්ලේන් ගොඩබෑම සිදු කරන කාල සීමාව තුළ සමහර ධීවර පන්න ක්‍රම සීමා වේ. තලාහේන ප්‍රදේශයේ ගාවන දැල් භාවිතයෙන් ඉස්සන් ඇල්ලීම සිදු කරයි. එම ඉස්සන් මිල දී ගැනීමට මුහුදු ධීවරයින් මෙම ප්‍රදේශයට පැමිණේ. මුහුදු ධීවර කර්මාන්තයේ දී මෙම කුඩා ඉස්සන් “ඇම්” ලෙස භාවිතයට ගනී. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයෙන්, ගාවන දැල් පන්න ක්‍රමයේ යෙදෙන ධීවරයින්ට දැනුම් දී ඇත්තේ සී ප්ලේන් ගොඩ බාන කාල සීමාව තුළ එම ප්‍රදේශයේ මෙම පන්න ක්‍රමය සීමා කිරීමට සිදුවන බව ය. එවිට ගාවන දැල් පන්න ක්‍රමයේ යෙදෙන ධීවරයින්ට රැකියා අහිමි වීමට අමතර ව ඒ මත පදනම් ව මුහුදු ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට ද “ඇම්” ලෙස භාවිතා කරන ඉස්සන් නොමැති වීමෙන් රැකියාවන් අහිමි වී යයි. ධීවරයින් බහුතරයකගේ ජීවනෝපායන මාර්ගය තහවුරු කරන මත්ස්‍ය අස්වැන්න තීරණය වන මීගමුව කලපුව සී ප්ලේන් ගොඩ බෑම සඳහා යොදා ගැනීම ඉතා අනුවන හා ධීවර ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ක්‍රියාවකි. සී ප්ලේන් ගොඩබෑම සඳහා භාවිත කරන කිලෝමීටර 2 ක් පමණ දිග ගුවන් පථය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව ඇත. ඒ අනුව මෙම ප්‍රදේශය ධීවර රැකියාවන් සඳහා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වේ. මේ නිසා කලපු ධීවර රැකියාවේ නිරත ධීවරයින්ට මත්ස්‍ය අස්වැන්න ලබා ගත හැකි බිම් ප්‍රමාණය සීමා වන අතර ම ධීවරයින්ට දෛනිකව ප්‍රමාණවත් මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට ද නොහැකි වේ.

මෙය ධීවරයින්ගේ දෛනික ආදායම කෙරෙහි බලපාන අතර එය සමාජීය ප්‍රශ්න ඇති කිරීමේ මූලාරම්භයක් වේ. විශේෂයෙන්ම මෙම තත්ත්වයට ඍජු ව ගොඳුරු වන්නේ දැනට කලපුවේ ඉදි කෙරෙන ගුවන් පථය අවට ප්‍රදේශයේ ජීවත් වන ධීවර ජනතාව ය. එම ජනතාව උතුරු කටුනායක හා දකුණු කටුනායක යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ජීවත් වේ. මෙහි ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් ගණන සියයක් පමණ වේ. ඔවුන් බහුතරයක් තෙප්පම් භාවිතයෙන් ධීවර කර්මාන්තයේ නිරත වේ. බහින දැල් හා මස් අතු ධීවර පන්න ක්‍රම වල යෙදෙන පිරිස 20 ක් පමණ වේ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම දැනට ඉදි කෙරෙන ගුවන් පථය ආශ්‍රිත ව ධීවර රැකියාවල නිරත වේ. සී ප්ලේන් ගොඩබෑමේ කටයුතු ආරම්භ වන විට ඔවුන්ට මෙම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ධීවරයින්ට තම වෘත්තියෙහි යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමි වීමෙන් දැඩි ආර්ථික අර්බුධ ඇති විය හැකි ය. සී ප්ලේන් ගොඩබෑමේ දී ජල තලයේ හා අභ්‍යන්තරයේ විශාල වශයෙන් කැළඹිලි ඇති වේ. මෙම කැළඹිලි කලපුව පුරාම ව්‍යාප්ත වේ. මෙය නිරන්තරයෙන් සිදු වන විට කලපුව ආශ්‍රිත ජලජ ජීවීන් බෝවන ස්ථාන, ක්ෂුද්‍ර වාසස්ථාන නිරන්තරයෙන් වෙනස් වීම්වලට හා ඍජු හානිවලට ලක් වේ. මේ හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් කලපුවේ ජලජ ජීවීන් වඳවී යාම සිදු විය හැකි ය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමෙන් ධීවර ජනතාවගේ ජීවනෝපායන මාර්ග අහිමි වී සමාජ අර්බුධ වර්ධනය වීමයි.

මීගමුව කලපුවේ පක්ෂි විවිධත්වයට සිදුවන බලපෑම

මීගමුව කලපුව හා ඒ ආශ්‍රිත මුතුරාජවෙළ වගුරු බිම් ප්‍රදේශයේ පක්ෂි විශේෂ 125 ක් පමණ වාර්තා වේ. ඒ අතර සංක්‍රමණික පක්ෂි විශේෂ 40 ක් පමණ වෙති. විශේෂයෙන්ම තෙත්බිම් ආශ්‍රිත රංචු වශයෙන් ජීවත්වන පක්ෂීන් මෙම ප්‍රදේශයේ ඉතා බහුල වේ. විශාල රංචු වශයෙන් කලපුව ආශ්‍රිත ව සැරිසරන සංක්‍රමණික පක්ෂීන් වන්නේ කාගුල් ලිහිණින් (Whisked Tern) ය. මෙම සතුන් සී ප්ලේන්වල වැදීම හේතුවෙන් බොහෝ විට අනතුරු සිදු විය හැකි ය. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා සී ප්ලේන් ගොඩබාන කාලය තුළ දී කලපුව තුළ පිහිටි ගුවන් පථය ආශ්‍රිත ව සැරිසරන පක්ෂි විශේෂ පාලනය සඳහා වෙඩි තබා මරා දැමීමට සිදු වේ. දැනට මෙය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථයන් ආශ්‍රිතව ද සිදු කරයි. ඒ සඳහා වෙනමම සේවකයින් පිරිසක් යොදවා තිබේ. පක්ෂීන්ගේ අධික ගැවසුම් ප්‍රදේශයක් තුළ සී ප්ලේන් ගොඩබෑමේ ගුවන් පථයක් සකසා එහි සිදුවන අනතුරු පාලනය කිරීමට මෙවන් හානි කර ක්‍රියාමාර්ගවලට යොමුවීම කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලිය යුතු ය.

මීගමුව කලපුවේ සී ප්ලේන් ව්‍යාපෘතිය හුදෙකලා ව්‍යාපෘතියක් නොවේ. මෙය එහි සිදුවන හා ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන දැවැන්ත සංචාරක ව්‍යාපෘති හා එකිනෙක බැඳී පවතී. දැනට සකස් කරන සී ප්ලේන් ගුවන් පථයට ඉදිරියෙන් තලාහේන ප්‍රදේශයේ කාමර 400 ක මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රභලතම අමාත්‍යවරයෙකු විසින් කලපුව මායිමේ පිහිටි අතහැර දමා ඇති බ්ලූ ලැගූන් හෝටලය මිල දී ගෙන තිබේ. මීට අමතර ව මීගමුවේ හැමිල්ටන් ඇළේ මුහම්දිරම් පාලම ආශ්‍රිත ව ජැටියක් ඉදි කර ඇත. එය ඉදි කර ඇත්තේ සංචාරකයන් සඳහා බෝට්ටු අංගනයක් පවත්වාගෙන යාමට ය. එහි ප්‍රතිඵලයක් ලෙස හැමිල්ටන් ඇළේ සංචාරක කටයුතු පවත්වාගෙන යාම සඳහා ධීවර බෝට්ටු නැවැත්වීම ද තහනම් කරමින් තිබේ. මේ සියළු තත්ත්වයන් හමු වේ ධීවරයින්ට මීගමුව කලපුව අහිමි කරමින් සංචාරක ව්‍යාපාරය ස්ථාපිත කෙරෙමින් පවතී. මෙහි අවසන් ප්‍රතිඵලය රටේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලන ප්‍රධාන කලපුවක් අහිමි කිරීම හා ධීවර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් කිරීම තුළින් සමාජයීය අර්බුධයක් නිර්මාණය කිරීම යි. මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස අවසානයේ මීගමුව කලපුව ද ලුනාව කලපුව මෙන් මළ කලපුවක් තත්ත්වයට පත් විය හැකි ය. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා ගුවන් හමුදාව එක් ව සී ප්ලේන් ගොඩබෑම සඳහා මීගමුව කලපුවේ ඉදිකරන ගුවන් පථය ලංකාවේ පාරිසරික නීතිය අභියෝගයට ලක් කරමින් සිදු කිරීම කණගාටුවට කරුණකි.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයට අනුව ගුවන් තීරු ඉදිකිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් (තක්සේරු) ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය ප්‍රතිපාදනය උල්ලංඝනය කරමින් හිතුමනාපේ ගුවන් පථ ඉදිකිරීමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් හා මුනිවත රැකීමෙන් සිදු වන්නේ ලංකාවේ පාරිසරික නීතිය උල්ලංඝනය කිරීමට රාජ්‍ය අංශයෙන්ම අනුබල ලබා දීමකි.

මීගමුව කලපු කළමනාකරණ ප්‍රදේශය අභියෝගයට ලක් කිරීම

මීගමුව කලපුවේ ධීවර කටයුතු විධිමත් කිරීම සඳහා ඉතා ක්‍රමවත් නීති පද්ධතියක් සකස් කර තිබේ. එසේ තිබිය දී ඊට බලපෑම් ඇති කරන මෙවන් නීති විරෝධී ක්‍රියා සිදු කිරීම ලංකාවේ නීති ක්ෂේත්‍රයේ සිදුවන ඉතාම හානි කර තත්ත්වයකි. නැතහොත් මානව හිමිකම් හා ධීවර ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට රජය විසින් ම පියවර ගැනීමකි.

1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 28 හා 29 වගන්ති වලට අනුව ප්‍රකාශිත 1998 ජුලි 30 වන දින අංක 1038/16 දරණ ගැසට් නිවේදනයට අනුව ලංකාවේ පළමු කලපු කළමනාකරණ ප්‍රදේශය ලෙස මීගමුව කලපුව ප්‍රකාශයට පත් කර තිබේ. එමගින් මීගමුව කලපුවේ ධීවර මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම හා කළමනාකරණය කිරීම සිදු කරයි. මීට අමතර ව එම පනතේ 31 වන වගන්තිය යටතේ ප්‍රකාශිත 1999 නොවැම්බර් 30 වන දින අංක 1108/4 දරණ ගැසට් නිවේදනයට අනුව ධීවර කළමනාකරණ අධිකාරියක් පිහිටුවා තිබේ.
තව ද මෙම පනතට අනුව 2005.10.18 වන දින අංක 1415/22 දරණ ගැසට් නිවේදනයට අනුව මීගමුව කලපුවේ මායිම් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙලෙස මීගමුව කලපුව සංරක්ෂණය සඳහා මත්ස්‍ය සම්පත විධිමත් කළමනාකරණයකට යටත්ව ධීවරයින්ට ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත්තේ කලපුවේ පැවැත්ම සුරක්ෂිත කිරීමට පමණක් නොව අනාගත පරපුරේ පැවැත්ම උදෙසා මෙම කලපුව තිරසාරී භාවිතයට යොමු කිරීම සඳහා ය.

ඒ සඳහා මේ අයුරින් පියවරෙන් පියවර විධිමත් නීතිමය ආවරණයකට යටත්ව ක්‍රියාත්මකවන මීගමුව කලපුව, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා ගුවන් හමුදාව එක්ව තම හිතුමනාපය පරිදි සී ප්ලේන් ගොඩබෑම සඳහා ගුවන් පථ ඉදි කිරීම හා ඒ සඳහා සැළසුම් සකස් කිරීම වැරදි පූර්වාදර්ශ ලබා දීමක් පමණක් නොව ලංකාවේ අනෙක් කලපු කළමනාකරණ ප්‍රදේශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවිනිෂ්චිතතාවයක් ජනිත කරවන්නකි. මේ පිළිබඳව සොයා බැලීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට පමණක් නොව අමාත්‍යතුමාට ද ඍජු වගකීමක් ඇත.

නමුත් ඔවුන් මුනිවත රැකීමෙන් සිදු වන්නේ මීගමුව කලපුව වැනි අගනා ධීවර සම්පතක් වනසා දැමීමට නිහඬ සහයක් ලබා දීමකි. බොහෝ සැළසුම් සකස් කරන්නන් අමතක කර දමන ප්‍රධාන කරුණක් තිබේ. එනම් සංවර්ධන සැළසුම් සකස් කළ යුතු වන්නේ එක් ස්වාභාවික සම්පතක් අභියෝගයට ලක් කරමින් ඒ මත යැපෙන ප්‍රජාව අවතැන් කරමින් නොව එම සම්පත තිරසාරීව ලබා ගැනීමට හැකිවන ලෙස හා එම සීමාකාරී සම්පත මත අසීමතව යැපීම පාලනය වන ආකාරයට විකල්ප දෙස යොමු වීමටය. නමුත් සී ප්ලේන් ව්‍යාපෘතිය හරහා සිදු වන්නේ තිබෙන ස්වාභාවික සම්පත විනාශ කර ඒ මත යැපෙන ප්‍රජාව අවතැන් කර විකල්ප වෙත යොමු වීමකි. සැළසුම් සකස් කරන්නන් මේ දෙකෙහි වෙනස හඳුනා ගත යුතුය.

එළැඹි සහස්‍රයේ දී ලංකාව සංචාරක කර්මාන්තය තුළින් විදේශ විනිමය උපයන තත්ත්වයට රට ගෙන යාමේ දී අනික් සියල්ල වනසා දමා සංචාරක කර්මාන්තය පමණක් ස්ථාපිත කළ හැකි ද යන්න බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. මේ සියල්ල සිදු විය යුතු වන්නේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් පසුව ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියට එකඟව ය. එසේ නොමැතිව එය හුදු දේශපාලන තීරණයක් මත පමණක් සිදු නොවිය යුතු ය.