Colombo, Featured Articles, Features

අලියාට එරෙහිව කටුස්සා නොහොත් අසාංශ් ගැන තව දුරටත්


අලියාට එරෙහිව කටුස්සා නොහොත් අසාංශ් ගැන තව දුරටත් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් –සුනන්ද දේශප්‍රිය

“පුලියන් අසාංශ් සිය සිවිල් යුතුකම ධෛර්යමත්ව සහ ගෞරවාන්විත ලෙස ඉටු කරමින් සිටී. බල අධිකාරයන් සෑම විටම පුරවැසියාගෙන් සිය තොරතුරු සැඟවීමට උත්සාහ කරයි. ඒ අවස්ථාවේදී ම සිය පාලනය තහවුරු කර ගැනීම පිණිස පුරවැසියන්ගේ පුද්ගලික ජීවිත ආක්‍රමණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන අප සැවොම මෙකී භාවිතයන්ට එරෙහි වීම සිය යුතුකම කර ගත යුතු ය ” – නෝම් චොම්ස්කි

අලියාට කටුස්සා කළ හදිය අපට කියා දුන්නේ කුමාරතුංග මුනිදාස වියතානෝ ය. ඒ ‛හීන් සැරය’ කතාවෙනි. අලියාගේ නාසය හරහා හොඬය දිගේ ගිය පුංචි කටුස්සා අලියට දුන් වදය කොතෙරම් වීද යත් අද පවා කිසිම අලියකු ගසකින් කඩා ගන්නා අත්තක් ගසා දමා එහි කටුස්සකු නැති බව පසක් කර නොගෙන එය කෑමට ලඟා කර ගන්නේ නැතිලූ ෟ මා දන්නා තරමින් අද අපේ දූ දරුවනට එම මාහැඟි කෘතිය කියැවීමට ලැබෙන්නේ නැත. ඒ ඉන් කියැවෙන බලගතු සමාජ දේශපාලන කතිකාව නිසාවත්ද?

දැන් වෙනත් කටුස්සෙක් සුපිරි බලවතා ලෙස හැසිරෙන ඇමෙරිකා එක්සත් ජනපදයට නිමා නොවන භයානක කිමුහුම් වැළක්ම ඇති කර තිබේ. මේ කටුස්සා වෙන කිසිවකු නොව අපේ කාලයේ වීරයකු වන ජුලියන් අසාංශ් සහ අන්තර් ජාල විකි ලීක්ස් අඩවිය යි. (ඔහුගේ නම මා මුලින්ම ලීවේ අසංගේ කියා ය. මන්ද යත් මගේ වාසගම වන වඩුගේ වචනයේ අවසාන ඉංග්‍රිසි අකුරු වන ඩබ්ලිව් සහ ඊ ඔහුගේ ද නමේ අවසාන අකුරු වන නිසා ය. නමුත් ජිනීවා හි ප්‍රංශකාරයින් මගේ නම වඩූශ් කියා වෙනස් කර ඇති පරිදි ඔහුගේ නම ද උච්ාරණය කැරෙන්නේ අසාංශ් කියා යෟ) යමකුගේ සෑබෑ සමාජ හැඩරුව තේරුම් ගැනීමට නම් කුඩු හම සූරා බැලිය යුතු යැයි කියනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා වන ඇමෙරිකාවේ කුඩු හම සීරුවේ විකිලීක්ස් සහ අසාංශ් ය. දැන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගලන්නේ සැරව ය. කුණු ගඳ ගසන ප්‍රජාතන්ත්‍ර විරෝධී සැරව ය.

කේබල්ගේට් යනුවෙන් දැන් පරසිදු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රහස් පණිවිඩ දහ දහස් ගණනාවක් හෙළිදරව් කිරීමෙන් විකි ලීක්ස් වෙබ් අඩවිය ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී යාහැකිව තිබූ මහජන යහපතට ඍජුවම අදාළ වන තොරතුරු සමූදායක් අප හමූයේ තැබූයේ ය. ඇත්ත වශයෙන්ම නම් මෙම කේබල්ගේට් විවාදයේ හරි මැද ඇත්තේ මහජනයාට තොරතුරු දැන ගැනීමට ඇති නිදහස ය. ශ්‍රී ලංකාවේ ජනයාට එය ඇත්තේම නැත.

මහම යුද බලවතා, බලවත්ම නෂ්ඨික අවිධාරියා, විශාලතම ආර්ථික බලවතා යනාදී වශයෙන් ලෝක පොලිස්කාරයා ද ලෝක මුදල් ඇමැතිවරයා ද ලෙස පෙනී සිටින ඇමෙරිකාව මෙම තොරතුරු හෙළි වීමෙන් කොතරම් බියපත් වූයේ ද යත් විකි ලීක්ස් වෙබ් අඩවිය නැති භංග කර දැමීමත් අසාංශ් විනාශ කර දැමීමත් සිය ප්‍රමුඛතාවයක් බවට පත් කර ගත්තේ ය.

ඊට හේතුව මෙය යි: එක්සත් ජාතින්ගේ සංවිධානයේ ද ඇතුලුව ලොකයේ සෑම රටකම එහි ඔත්තුසේවා පවත්වා ගෙන යන බව ඉන් කියැවෙන නිසා ය, ඇමෙරිකාව ඉරාකයට එරෙහිව යුද්ධය මුදා හැරියේ ව්‍යාජ හේතු මත බව ඉන් හෙළිවන නිසා ය, ඇමෙරිකානු ආණ්ඩුව සිය සහචර පාලකයින්ගේ සියළු දුර්දාන්ත හැසිරීම් දැන දැන ඔව්න් ආරක්ෂා කරමින් සිටින සැටි මෙම කේබල් පණිවඩ මගින් හෙළිදරව් වන නිසා ය යනාදි වශයෙන් මෙන්ම තමන්ගේ රහස් රැක ගැනීමට බැරිවීම නිසා ඇති වෛරය ද නිසා ය.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ පාලක දේශපාලන කණ්ඩායම් සහ ප්‍රධානීන් මානව හිමිකම් කෙළෙසීම්වලට ඍජුවම සමබන්ධ බවට ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් දැරූ අදහස් මෙම කේබල් පණිවිඩ හෙළිදරව් කරයි. ආණ්ඩු පාක්ෂික දෙමළ සන්නද්ධ කණ්ඩායම් සරණාගත දෙමළ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවූ බවත් එල්ටීටීඊ සැකකරුවන් පැහැර ගෙන ගොස් මරා දැමූ බවත් මෙම කේබල් පණිවිඩ කියා සිටී.

තවදුරටත් තොරතුරු රහසේ තබා ගැනීම ඉතා දුෂ්කරවනු ඇති බව අධිරාජ්‍යය තේරුම් ගත්තේය. මරණ වරෙන්තුව ලියැවුණි.

ඇමෙරිකානු රාජ්‍යයට අවනත වෙමින් එරට අන්තර් ජාල සමාගම් විකි ලීක්ස් වෙබ් අඩවියට පහසුකම් සැළසීම එක රැයින් නතර කළේ ය. ඇමෙරිකානු බැංකු ගණනාවක් විකි ලීක්ස් වෙබ් අඩවියට අදාළ ගනුදෙනු ද වහාම නතර කළේ ය. විකි ලීක්ස් අඩවිය පරිහරණය කළහොත් රජයේ රැකියා ලබා ගැනීමේ දී ප්‍රශ්ණ ඇතිවනු ඇතැයි ඇමෙරිකාවේ කොළෙම්බියානු විශ්වවිද්‍යාලය සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දන්වා යැවූයේ ය. සිය නිවසේ දී පරිගණකයෙන් හෝ විකිලීක්ස් කේබල් කියවා නොබැලිය යුතු සහ බාගත කර නොගත යුතු බවටත් එරට රාජ්‍ය සේවකයිනට අනතුරු හැඟවිණ.

වොෂිංටන් ටයිම්ස් හි තීරු ලිපි රචක ටී. කූහුනර්, අසාංශ් ත්‍රස්තවාදී නායකකු සේ සළකා මරා දැමිය යුතුයැයි ලීවේ ය. හිටපු උප ජනාධිපති ඩෑන් කියුලේගේ ප්‍රධාන ලේකම් ‛‛අපේ විවිධ සම්පත් යොදාගෙන අසාංශ් සහ ඔහුගේ සගයින් නිහඩ කළ නොහැක්කේ මන්දැයි’’ ඇසුවේ ය. තවත් ඇමෙරිකානු මතධාරියකු වන ජොනාහ් ගොල්ඩ්බර්ග් ඇසුවේ “ අසාංශ් තවම මිය ගොස් නැත්තේ මන්ද” කියා ය. රයිට් විංග් නිවිස් අඩවියේ හව්කින්ස් “ සී.අයි.ඒ. විසින් ඔහු මරා දැමිය තිබුණා” යැයි ලීවේ ය. ජනාධිපති අපේක්ෂිකාව විය හැකි සාරා පලින් අසාංශ් අල් කයිඩා නායක බින් ලාඩන්ට සමාන කළේ ය. තවත් ඇමෙරිකානු දක්ශිනාංශික මතවාදී නායකයෝ ඔහුගේ ලේ ඉල්ලා මරහඬ නැගූහ.

සෑම කලුවළාවකම රිදී රේඛාවක් තිබේ. අසාංශ් – විකි ලීක්ස් හෙළිදරව් විරෝධී දක්ෂිණාංශික ව්‍යාපාරයට මුහුණ දීම පිණිස අනෙක් පසින් ද බලගතු මහාජන ව්‍යාපාරයක් ගොඩ නැඟිණ. අපේ සතුටට හේතුවන වර්ධනය එය යි.

නෝම් චොම්ස්කි වැනි කීර්තිමත් වාම සහ රුඩිකල් විද්‍යාර්ථින් රුසක් ම අසාංශ්ගේ ආරක්ෂාව පිළිබඳ පියවර ගන්නැයි ඔහුගේ මව්රට වන ඕස්ට්‍රේලියාවේ අගමැතිට ලිපියක් යවා එය ජනමාධ්‍යට ප්‍රසිද්ධ කළහ.

වියට්නාම් යුද්ධයේ ඇත්ත ලෝකයට ගෙන ආ අසහාය ජනමාධ්‍යවේදී සහ සිනමාකරු ජොන් පිල්ජර් විකි ලීක්ස් හෙළිදරව් අගය කරමින් අසාංශ්ගේ නිදහස වෙනුවෙන් පෙරට ආයේ ය. “ විකි ලීක්ස් සහ ජුලියන් අසාංශ් රැක ගැනීම මගේ ජීවිත කාලයේ ඉතාම වැදගත් කාරණාවලින් එකකි. අද ලෝකයේ සුපිරි බලවතුන් දෙදෙනෙක් සිටී. එකක් නම් වොෂිංටනයේ යුද බලය යි. අනෙක නම් මහජන මතයේ සහ යුක්තියේ බලය යි. ජුලියන් අසාංශ් දෙවැන්න නියෝජනය කරයි.”
ඇමෙරිකානු වානිජ ධනවාදයේ නිරුවත කියා පෑ ‛පැරන්හයිට් 9/11’ සහ ‛ධනවාදය- ආදර කතාවක්’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඇමෙරිකානු නිදහස්මතධාරී රුඩිකල් සිනමාකරු මයිකල් මුරේ ජනමාධ්‍යට ලියූ ප්‍රසිද්ධ ලිපියක මෙසේ කීවේ ය:

“ ඊයේ මම විකි ලීක්ස් ආරම්භකයා වන අසාංශ්ගේ ඇප මුදල වෙනුවෙන් මගෙන් ඩොලර් 20,000ක් යැවීමි. එපමණක් නොවේ. මා ප්‍රසිද්ධියේම කියා සිටින්නේ මගේ වෙබ් අඩවිය, මගේ වෙබ් සර්වර්ස්, මගේ වෙබ් නාමයන් යනාදී සියල්ල, රහසිගතව සැළසුම්කර දියත් කැරෙන අපරාධ හෙළි දරව් කිරීම, පිණස විකි ලීක්ස් වෙබ් අඩවිය පවත්වා ගනිමින් දියුණු කිරීමට දායක කරන බවයි.

“අප ඉරාකයේ යුද්ධයට ගෙන ගියේ ගෙතූ බොරු මත ය. එකළ විකි ලීක්ස් තිබුණේ නම් එම බොරුව හෙළිදරව් කැරෙන්නට තිබුණි. දැන් රහසිගතව එළෙස ක්‍රියා කළ කාලය අවසානය.”

මොන්ට්‍රියල්හි කොන්කෝඩියා සරසවියේ මානව විද්‍යා මහාචාර්‍ය මැක්සිමිලිඅන් පොර්ටේ මෙසේ ලිවේය: “රාජ්‍ය ය. රහසිගතබව. ආරක්ෂාව. බලවත් අසල්වැසියා. උසාවි. පොලීසි. සමාගම්. බැංකු. ඔත්තු සේවා. රාජ්‍ය ද්‍රෝහීත්වය. ඝාතනය. තොරතුරු යුද්ධය. යුද පිටිය. සෙබළු. ත්‍රස්තයෝ. අපරාධකරුවන්. හැකර්ස්. ක්‍රියාධරයින්. අනතුර. අත් අඩංගුව. සිරගතකිරීම. පළිගැනීම. විරෝධය. කඩකප්පල් වැඩ. යුක්තිය. නිදහස. අයිතීන්. මහජනයා.
“මේ වනාහී විප්ලවීය විභවයකින් යුතු ගැටුමක හමුවන මූලික වචන ය. ඕනෑම ගැටුමක දී මේ බොහොමයක් මූලික වචන බවට පත්වෙයි. අද විකි ලීක්ස් ව්‍යාපාරය සහ රාජ්‍ය අතර ගැටුම විමසා බලන විට හමුවන වචන ද ඒවා ම ය. දැන් අපට කතාකරන්නට ඇත්තේ විකි ලීක්ස් නම් ව්‍යාපාරය ගැන ය. තහනමින් පසු එහි සහායකයින් විසින් ආරම්භ කරන ලද විකි ලීක්ස් ජායා වෙබ් අඩවි ගණන 1700 බවට පත් විය. (දින කිහිපයක් තුළ) විකි ලීක්ස් අඩවියට සහාය දැක්වූ පිරිස 500,000 ඉක්මවීය. අසාංශ් අත් අඩංගුවට ගැනීම පහරක් වුවද ව්‍යාපාරය නතර වී නැත. වඩා වේගයෙන් වඩවඩා කේබල් පනිවිඩ නිකුත් වෙයි. ව්‍යාපාරය ඉදිරියට යයි. තමා සංවිධානය නොව එහි පහන් තිරය බවට අසාංශ් කී කතාව දැන් සත්‍ය බවට පෙරළී ඇත.

“ලෝක භූ දේශපාලනය මෙතැන් සිට පුර්ව සහ පශ්චාත් කේබල්ගේට් ලෙස වෙන් කැරෙනු ඇති බවට අසාංශ් ගේ කියමන සමඟ අපට එකඟ විය හැකි ය. කැරොන් රොස් නම් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයා කී පරිදි දැන් ඉතිහාසය දාතම දරනු ඇත්තේ පූර්ව විකි ලීක්ස් සහ පශ්චාත් විකි ලීක්ස් යනුවෙනි ”.
වාම මතවාදී වෙබ් අඩවියක් වන කවුන්ටර් ප්න්ච් හි මූලිකයකුවන ඇලෙක්සැන්ඩර් කොක්බර්න් විකි ලීක්ස් හෙළිදරව් අරභයා වු සිය ලිපිය අවසන් කලේ අසාංශ්ගේ මරණය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ කැමැත්ත වන බව අවධාරනය කරමිනි. සී.අයි.ඒ. සංවිධානයේ 1958 ඝාතන අත්පොතෙන් උප්ටා ගත් මේ ජොදයෙන් ඔහුගේ ලිපිය නිමා වෙයි.

“සාමාන්‍යයෙන් කෙනෙකෙු මරා දැමීම පිණිස ඉතාම ඵලදායී ක්‍රමය නම් අඩි 75ක ඉහළක සිට ඝන පෘෂ්ඨයකට වැට්ටවීමය. විදුලි සොපාන, අනාරක්ෂිත තරප්පු, පියන් නැති ජනේල සහ පාලම් මේ සඳහා යොදා ගත හැකිය. එකවරම වේගයෙන් පුද්ගලයා විලුඹෙන්ම තල්ලු කිරීමෙන් මෙය සිදු කළ හැකි ය. ඝාතකයා ‛බියපත් සාක්ෂිකරවකු’ සේ වහාම කෑ ගසන්නේ නම් පලා යාම හෝ වෙනත් තැනෙක සිටි බවට සාක්ෂි සකස් කිරීම අවශ්‍ය නැත”

රාජ්‍ය යනු රහසිගතබව ය. ඊට අභියෝග කිරීම මරණයෙන් වන්දි ගෙවීමට තරම් භයානක ය. එය ශ්‍රී ලංකාවේදී වුවත් ඇමෙරිකාවේ දී වුවත් වෙනසක් නැත.

අසාංශ්, ප්‍රවේශමෙන්!