සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‛‛මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.’’ ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ


“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, කැමරා ඒ සියල්ල විනාශ කරලා තියෙනවා. කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. අපේ පොත් එකතුවක් තිබුණා අවුරුදු 100 ක් 200ක් විතර පරණ පොත් සමහර පොත් පුස්තකාලවලවත් හොයා ගන්න බැහැ. ඒ සියළුම දේවල් විනාශවෙලා තියෙනවා. ඒවයෙ වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ.’’

ලංකා ඊ නිව්ස් ආයතනයට අද(31) කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා එසේ පැවසීය. ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේ ය.

‛‛ජනවාරි කියන්නෙ අවුරුද්දෙ ආරම්භක මාසය. ආරම්භක මාසයේ මොකක් හරි ආරම්භ කරලා මේ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා වන සැලැස්මක් තමයි පසු ගිය අවුරුදු ගාණක් පුරා මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. අපි ඒකෙදි බොහොම දුක් විඳලා, පීඩා විඳලා තියෙනවා. රැකියා පවා නැතිවෙලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න ඕනෙ. මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මාධ්‍ය නිදහස ගැන, මිනිස් අයිතිවාසිකම් ගැන. නමුත් මං අහන්න කැමතියි මේවා පිටිපස්සෙ ඉන්න පිරිසගෙන් මේ මාධ්‍යට කරන හිරිහැර තුළින් අළුත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්න යනවාද කියලා. ”