Colombo, Featured Articles, Features

ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා

ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා

– පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ 2009 ජනවාරි 08 දා ඝාතනය කෙරුණි. ජනවාරි 09 දින ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය:
“ ඊයේ සිදුවූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ ඝාතනය මගේ ආණ්ඩුව සහ මම ඍජුව සහ බරපතල ලෙස හෙළා දකිමි. ධෛර්යමත් ජනමාධ්‍යවේදියකු ලෙස බොහෝ කළක් මා දැන සිටි ඔහු මගේ සමීප මිතුරෙකි. මෙම සාහසික අපරාධය අපේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය මුහුණ පා ඇති භයානක අනතුරු පෙන්වාලයි. මේ ක්‍රූර ක්‍රියාවට සම්බන්ධ සියළුම පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීම පිණිස උපරිම වේගයෙන් සරව සම්පූර්න පරීක්ෂණයක් කරන සේ මම පොලීසයට නියෝග කර ඇත්තෙමි ” (2009.01.09, ඩේලි නිවස් පුවත්පත)

ඊට පසු දින මාධ්‍ය ඇමැති යාපා අබේවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයා පොලීසියට, රහස් පොලීසියට සහ යුදහමුදා බුද්ධි අංශයට මෙම ඝාතනය පිළිබඳව විස්තරාත්මක පරීක්ෂණයක් පවත්වන සේ නියෝග කළ ඇති බවත් වරද කරුවන් අල්ලා ගැනීමට කාලය අවශ්‍ය බවත් ය. (2009.01.10 එම පුවත්පත)

ඉන් මසක් ඉක්ම යන්නට පෙර එකී පරීක්ෂනය බාරව සිටි සියළු ආයතනයන්හි ප්‍රධානියා වූ බලගතු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ කීවේ ය: “කව්ද ලසන්ත කියන්නෙ, ඔය ඕන තරම් මිනිස්සු මැරෙන්නේ ලෝකෙ, ලසන්ත කියන්නේ ටැබ්ලොයිඩ් පත්තරේකට ලියාපු මිනිහෙක්, මොකද හැමෝම මේ මිනිහ ගැන අහන්නේ, දහස් ගානක් මිනිස්සු එල්ටීටීඊයෙන් මරළ තියෙනවා” (පෙබරවාරි 05 දා බී.බී.සී. ය සමඟ කළ වීඩියෝ සම්මුඛ සාකච්ජාව)

පසුගිය 29දා එනම් ඝාතනයෙන් වසර දෙකකුත් දවස් විසි එකකට පසු ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව 40වන වතාවට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනින. එහිදී රහසිගත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශණ ඒකකය කියා සිටියේ පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට ඇති බාධා දීර්ඝ වශයෙන් එම වාර්තාවෙහි අඩංගුවන බව යි. මීළඟ නඩු දිනය පෙබරවාරි 11 දා ය. (2011.01.30 නිව්ස් පර්ස්ට්)

ලසන්ත ඝාතනයේ දෙවර්ශ පූර්ණය නිමිත්තෙන් “ ආණ්ඩුව විසින් (ඝාතනය) යට ගැසීම” මැයෙන් විස්තරාත්මක ලිපියක් සන්ඩේ ලීඩර් කතුවරිය වන පෙඩ්රිකා ජෑන්ස් විසින් පළ කරන ලදී. එම ලිපිය කියා සිටින්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන් ඝාතන ප්‍රයත්නය, කීත් නොයර් පැහැර ගැනීම සහ නාමල් පෙරේරා පැහැර ගැනීමට දරන ලද ප්‍රචන්ඩ උත්සාහය පිලිබඳ පරීක්ෂන හිටපු හමුදාපති ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු අලුතින් ආරම්භ වූ බවයි. ඊට අමතරව එම ලිපිය පෙන්වා දෙන එක් වැදගත් කරුණක් නම් අපරාධ පරීක්ෂණයේ දී නූතන තාක්ෂණය කොයිතරම් දුරට උපයෝගී වන්නේ යන්න යි. විශේෂයෙන්ම මෙම පරීක්ෂනයේ දී ජංගම දුරකථන තාක්ෂනය උපයෝගී ඇති අන්දම යි.

එම මාරක දිනයෙහි ලසන්ත වික්‍රමතුංග සිය පදවාගෙන ගිය රථය ගමන් ගත් මාර්ගයේම එම අවස්ථාවෙහිම ගමනේ යෙදුණු ජංගම දුරකථන අංක පහක් පරීක්ෂකයින් විසින් සොයා ගන්නා ලදී. මෙම දුරකථන පහ නුගේගොඩ ලසන්ත වික්‍රමතුංගගේ නිවසේ සිට බත්තරමුල්ල හරහා අත්තිඩිය හන්දිය දක්වා ජංගම දුරකථන සංඥා කුළුණු 12ක් පසු කරමින් ගමන් කර තිබුණි. ඉන් එක් දුරකථනයක් නුගේගොඩ රැදී සිටි අතර අනෙක් දුරකථන හතර ලසන්ත හඹා ගිය පුද්ගලයින් අත තිබූ බව මෙයින් ගම්‍ය වේ. මෙම දුරකථන හතර නුගේගොඩ නතර වී සිටි දුරකථනය හිමි පුද්ගලයා සමඟ නිරන්තරයෙන්ම කතා කර තිබේ. සන්ඩේ ලීඩර් කතුවරිය සදහන් කරන අන්දමට ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ තැනැත්තා අත තිබූ බවට සැක කළ හැකි දුරකථන අංකය ද ඝාතනය සිදුකළ ස්ථානයේ සිට දෙන ලද ඇමතුමක් මගින් හඳුනා ගෙන තිබේ. මෙම සිම් කාඩ් පහම පාවිච්චි කරන ලද එකම දවස ලසන්ත ඝාතනය කළ දා පමණි. ඉන් පෙර හෝ ඉන් පසු හෝ ඒවා පාවිච්චි වී නැත.

හිටපු හමුදාපති සරත් පොන්සේකා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වල යෙදී සිටියදී 2010 ජනවාරි 24 දා පැහැර ගන්නා ලද ප්‍රගීත් එක්නැලිගොඩට (පැහැර ගැනීම පිණිස) යම් ස්ථානයකට පැමිණෙන ලෙස ව්‍යාජ ඇමතුම දුන් ජංගම දුරකථන සිම්කාඩ් පත ද පාවිච්චි කර තිබුණේ එදිනම පමණක් බව මෙම ලියුම්කරුට විශ්වාසදායක ආරංචි මාර්ගයක් පැවසීයේ සන්ඩේ ලීඩර් කතුවරියගේ ලිපිය පළ වීමට කළකට පෙර ය. එයින් පෙනේනනේ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැර ගැනීම සඳහා එකම රටාවක් අද දක්වාම ක්‍රියාත්මක වන බව යි. එනමුත් එම දුරකථන සිම්කාඩ්පත වටා පරීක්ෂණයක් කෙරුනේ ද යන්න අප දන්නේ නැත.

එමෙන්ම උපාලි තෙන්නකොන් ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් මෙවැනිම පරීක්ෂණයක් කළේ නම් ඝාතනයට සම්බන්ධ ජංගම දුරකථන හැසිරීමේ මෙම රටාවම හඳුනා ගැනීමට තිබූ බව අපට අනුමාන කළ හැකි ය. 2005 වර්ශයේ අප්‍රෙල් 28 දින ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තරාකී පැහැර ගන්නා ලද්දේ ද ජංගම දුරකථන පණිවිඩයක් මගින් ඔහු සිටි තැනින් බැහැරට කැඳවීම ආධාර කරගෙනය. එම ජංගම දුරකථනයේ ගමන් මග ද මේ ආකාරයටම පොලිස් පරීක්ෂකයිනට සොයා ගන්නට තිබුණි.

යළි ලසන්ත ඝාතනයට කරා හැරෙමු. එදින මෙම ජංගම දුරකථන පාවිච්චි කළ පුද්ගලයින් පස්දෙනා කතා කළ කරුණු එම දුරකථන අයත් සමාගමෙන් ලබා ගත්තේ ද යන්න සන්ඩේ ලීඩර් ලිපියේ සදහන් වන්නේ නැත. දැන ගන්නට ඇති අන්දමට මෙම දුරකතන අයත් වූයේ ඩයලොග් ජාලයට ය. 2009 වසරේ අවසාන භාගයේ දී නිල නොවන වාර්තා සඳහන් කළේ මෙකී කතාබහ සියල්ල ඩයලොග් ජාලයේ මූලස්ථානය විසින් මකා දමා ඇති බවයි. එසේ කරන ලද්දේ නම් එළෙස එම කතාබහ මකා දමන ලද්දේ කාගේ අවශ්‍යතාවයක් අනුවදැයි සොයා බලන ලද්දේ ද යන්න ද දැනගන්නට නැත. නූතන තාක්ෂණය දුරකතන මගින් පටිගත කර ගන්නා කඩහඬ මගින් සංසන්දනය කිරීමට හැකියාව තිබේ. අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ හඬ එකී පටිගත කිරීම් සමඟ සැසදීමට තිබුණි. නමුත් ඒ කිසිවක් සිදුව නැත.

මෙම අංක හිමි සිමිකාඩ් පත් පහම මිලදී ගෙන තිබුණේ ජේසුදාසන් නුවරඑලියේ ගරාජ හිමියකුගේ නමින් ඔහුගේ ජාතික හැදුනුම් පත් අංකයට ය. ඔහු පොලීසියට කියා සිටියේ කළකට පෙර තමාගේ ජාතික හැදුනුම්පත නැති වූ බව යි. එමෙන්ම තමා කළක් යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයකු සමඟ සමීප ඇසුරක් පැවැත් වූ බවත් ඉඳහිට අඩියක් ගැසූ බවත් ඔහු පොලීසියට කියා තිබේ. මේ කරුණ මගින් පුවත්පත ඇති කරන සැකය නම් එම සොල්දාදුවා විසින් ජේසුදාසන්ගේ හැදුනුම්පත පාවිච්චිකර මෙකී සිම් කාඩ් මිලදී ගත්තේ ද යන්න යි.

මේ අතර ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැක පිට සොල්දාදුවන් 17 දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් අවසානයේ දී සැකකාර හමුදා බුද්ධි අංශ සොල්දාදුවන් 06 දෙනෙකු තෝරා රඳවා ගැනීම දක්වා පරීක්ෂණය ඉදිරියට ගිය බව කතුවරියට පොලිසීය කියා තිබේ. වැදගත් කරුණ වන්නේ මෙම සොල්දාදුවන් 06 දෙනා අතර ජේසුදාසන් නම් ගරාජ හිමියා සමඟ මිතුරුව සිටි බුද්ධි අංශ සොල්දාදුවා ද සිටීම යි.

එපමණක් නොවේ. මෙම සොල්දාදුවන් හය දෙනා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රිවිර කර්තෘ උපාලි තේන්කෝන් ඝාතන ප්‍රයත්නය සිදුවූ දිනයන්හි යෙදී සිට තිබූ රාජකාරිය වූයේ ඔත්තු සෙවීමෙහි හෝ පරීක්ෂාකාරීව සිටීම යනුවෙන් හදුන්වනු ලබන කාරියක බවත් කතුවරිය සිය ලිපියේ සඳහන් කරයි. නාමල් පෙරේරාට පහර දුන් දිනය සහ කීත් නොයර් පැහැර ගත් දිනය හා මෙම පිරිසට සම්බන්ධයක් තිබුණේ ද යන්න ද පැහැදිළි නැත.

එසේ නමුත් මෙම සොල්දාදුවන් ලසන්ත ඝාතනයට සම්බන්ධ දුරකථන පාවිච්චි කළ අයම ද යන්න ස්ථිර නැතැයි සන්ඩේ ලීඩර් කතුවරිය කියා සිටී. අවසානයේ ද ඒ සියළු දෙනාම අධිකරනයෙන් නිදොස් කර නිදහස් කර යවන ලද්දේ පොලීසියේ උපදෙස් පිටය.

සන්ඩේ ලීඩර් ලිපියට අනුව ලසන්ත ඝාතනය ආසන්නයේ යුද හමුදාපතිවරයාගේ අභිමතය පරිදි වැය කළ හැකි එහෙත් වැය කළේ කෙසේදැයි වාර්තා නොවන විශාල මුදලක් පරිහරණය වී තිබේ. පොලීසිය එම කරුණ ද සිය විමර්ශණයට හසු කර ගෙන තිබුණි.

මේ අතර හිටපු හමුදාපති සරත් පොන්සේකාට සම්බන්ධ බවට සැක කොට අත් අඩංඟුවට ගත් ජේෂ්ඨ බිගේඩියර්වරයකු තමන් නීති විරෝධිව රඳවාගෙන ඇතැයි ඉල්ලා මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී නීතිපතිවරයා ඔහු ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සහ උපාලි තෙන්නකොන් ඝාතන ප්‍රයත්නයට සම්බන්ධ බවට සාක්ෂි ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දන්වා සිටියේ ය. එසේ නමුත් 2010 අප්‍රෙල් 30 දින එම බ්‍රිගේඩියර්වරයා ද නිදහස් කරන ලදී. (30.04.2010 බීබීසී සන්දේශය)

රජයකට අවශ්‍ය නම් අපරාධයක් සෙවීම කොතරම් විස්තීර්ණ ලෙස කළ හැකිදැයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති කරුණු අපට මනා සේ පෙන්වාලයි. එපරිද්දෙන්ම මෑත කාලයේ සිදුවූ ජනමාධ්‍ය ඝාතන පමණක් නොව සිරස රෑපවාහිනිය ගිනි තැබීම, පා.ම. මහේශ්වරන් ඝාතනය, පා.ම. රවිරාජ් ඝාතනය යනාදිය ද විස්තීර්ණ ලෙස පරීක්ෂණයට ලක් කරන්නට ඉඩ තිබුනි. නමුත් එම කිසිදු ඝාතනයක් නිසා පරීක්ෂනයකට ලක් නොකරන ලදී.

ශ්‍රී ලංකාවේ පවතින දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය වත්මන් පාලනයේ සංකේතයක් වැන්න. නීතිය වෙනුවට රජ කරන්නේ අවනීතිය බව මෙම පරීක්ෂණයේ අවසානයක් නැති අවසානය තහවුරු කරයි.

මෙම ලිපිය ලියන 31 දින රැයෙහි කොළඹ ලංකා ඊ නිවිස් වෙබ් අඩවි කාර්යාලයට ගිනි තබා විනාශ කරන ලදී. ජනාධිපතිවරයා සුපුරුදු පරිදි වහාම ගිනිතැබීම හෙළා දුටු අතර ඉක්මන් පරීක්ෂනයක් කරන ලෙස පොලීසියට නියෝග කළේ ය. මෙම පරීක්ෂනය ද කිසිදු ප්‍රගතියකින් තොර ව්‍යාජයක් වන බවට මෙම ලියුම්කරු ප්‍රසිද්ධියේ ම කැට ඇල්ලීමට කැමැති ය.

සොරාගේ අම්මාගෙන් පේන අසා හොරු ඇල්ලු රටක් වෙත් ද?

සුනන්ද දේශප්‍රිය