සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා’’ – විපක්ෂනායක

“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම ගෙනියන්නෙ. මේ අධර්මිෂ්ඨ පාලනය නැති කරන්න කියලා තමයි අපි කියන්නෙ. ඒකයි අපි මෙතන එකතු වෙලා තියෙන්නෙ. මේක ආරම්භයක් විතරයි. ඡන්දෙන් පස්සෙත්, ඡන්දෙ නැති කාලෙත්, ඡන්දෙ නැති ප්‍රදේශවලත් අපි ඔක්කොමලා එකතු වෙලා මෙතනින් ආරම්භ කරමු මේ ව්‍යාපාරෙ. මහින්ද රාජපක්ෂ පන්නමු.”

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්, ඉහළ යන බඩු මිල පහත දමා ජනතාවට සහන සලසන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද(9) සවස 4ට එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ, විරෝධතා පාගමනට සහභාගී වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එසේ පැවසීය.

එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයන් සහ ආධාරකරුවෝ විශාල ප්‍රමාණයක් මෙම පාගමනට සහභාගී වූ අතර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන පුංචි බොරැල්ල මංසන්දිය හරහා වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කෙරිණ. උද්ඝෝෂණකරැවන් වැලිකඩ බන්ධනාගාරය අසලට ළගා වන විට විශාල පොලිස් භට පිරිසක් සහ ජල විදිනයන්ද බන්ධනාගාරය අසල රදවා තිබු අතර පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාකරැවන් උද්ඝෝෂනයේ යෙදුනු අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ‍’ජෙනරාල්ව නිදහස් කරන තුරැ මෙම සටන දිගටම සිදු කරන බවය’.

“ජෙනරාල්ව – හිරේ දැම්මා
මාධ්‍යට – ගිනි තිබ්බා
ඉඩ දෙන්නට- බැහැ මේවා
මහ පාරට – අපි ආවා

කරව් කරව් – නිදහස් කරව්
ජෙනරාල්ව – නිදහස් කරව්
කරව් කරව් – නිදහස් කරව්
අපෙ සෙන්පති – නිදහස් කරව්

දමව් දමව් – එළියට දමව්
විරු ජනපති – එළියට දමව්
දමව් දමව් – පන්න දමව්
හොර ජනපති – පන්න දමව්
ජනයා දැන් – බලු වෙලාය
මුලු රටටම – කෙලවෙලාය”

විරෝධතා පාගමනේ දී භාවිතා කළ සටන් පාඨ කිහිපයකි.