Ampara, Anuradhapura, Badulla, Batticaloa, Election, Featured Articles, Features, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Trincomalee

පුංචි ආණ්ඩුවල ඡන්ද ප්‍රතිඵල සහ රටේ අනාගතය


මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 94,44,445 ක් සුදුසුකම් ලබා තිබිණි. එයින් දළ වශයෙන් 55% ත් 60% ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. මෙම ප්‍රමාණය පසුගිය 2010 ජනාධිපතිවරණය හා සැසඳීමේ දී සැලකිව යුතු අඩුවීමකි. 2010 ජනාධිපතිවරණයේ දී සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 74.49% (10,495,451)ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රතිශතය ඉන් පසුව පැවති 2010 පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී තවත් පහළට වැටිණි. එම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 61.26% (8,630,689)ක් තරම් ප්‍රමාණයකි.

මේ අනුව මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් සනාථවන ප්‍රධාන කාරණයක් වන්නේ ජනතාවට වඩාත් සමීප පාලන ඒකකය පළාත් පාලන ආයතනය වුවත් ඒ ගැන ජනතාව දක්වා තිබෙන උනන්දුව සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතින බවයි; නැතහොත් ජාතික දේශපාලනය කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තබා ඇති බවයි. බිම් මට්ටමේ නැතහොත් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන බලය ශක්තිමත් කිරීම ගැන හෝ ජනතා සහභාගීත්ව දේශපාලන ක්‍රමයක් ගැන හෝ මේ රටේ ජනතාව දක්වන උනන්දුව සහ කැපවීම සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පවතී. සියල්ල මධ්‍යම ආණ්ඩුව විසින් සිදු කළ යුතු බවට මහජන මතයක් ගොඩනැගී තිබෙන්නේ ද මේ නිසාවෙන් විය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය සමඟ හැඩගැසී තිබෙන මධ්‍යගතවාදී පාලන ස්වභාවයත්, පළාත් පාලන ආයතන මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වන, ප්‍රතිපත්ති සම්පාදන ආයතන නොවීමත් වැනි හේතු මේ ආකාරයේ ජන විඥානයක් ගොඩනැඟීමට හේතු වී ඇතැයි සිතිය හැකිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ ජනතාවට දැරිය නොහැකි තරමට වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ඉහළ නඟිමින් තිබුණු පරිසරයක් තුළයි. ඊට අමතරව විශාල ස්වාභාවික ආපදා තත්ත්වයකට ද රට ගොදුරු වී තිබිණි. ජීවන වියදම පාලනය කළ නොහැකි තරමට ඉහළ යමින් පැවතියේ ය. ලෝක ආර්ථික අර්බුදයේ සේයාවන් ද තවම මැකී ගොස් නැත. මෙවැනි අවාසිදායක වාතාවරණයක් තුළ වුව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතනවලින් අති මහත් බහුතරයක බලය හිමි කර ගැනීමට සමත් විය. ප්‍රකාශිත ඡන්දවලින් 55.65% (33,38,401)ක ප්‍රතිශතයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිමි කර ගෙන ඇත. මන්ත්‍රී ආසන 1839 ක් දිනා ගෙන ඇත. ජනතාවට වඩාත් සමීපව දැනෙන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සහ ජීවන වියදම ඉහළ යෑම වැනි ප්‍රශ්න මෙවර මැතිවරණයේ දී එතරම් සැලකිල්ලකට නොගෙන ඇති බවක් මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් සනාථ වෙයි. එය මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ඡන්දදායක චර්යාවේ විශේෂ වෙනස්කමක් ලෙස හැඳින්විය හැකිය. දෙවන වර ආණ්ඩුවක් බලයට පත් වූ පසු එම ආණ්ඩුව පිරිහීමට පටන් ගැනීම මේ රටේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සංසිද්ධියක් වුවද එය ද මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රකාශ නොවෙයි. යුද්ධය ජයග්‍රහණය කිරීම සහ රජයේ දිගු කාලීන ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලිය මේ සඳහා ඉවහල් වී තිබෙනු ඇතැයි උපකල්පනය කළ හැකිය. මේ අනුව මෙවර මැතිවරණයේ දී සාම්ප්‍රදායික ඡන්දදායක චර්යාවේ කිසියම් ආකාර වෙනසක් පිළිබිඹු කරෙතියි නිගමනය කළ හැකිය.

රටේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේ දී විශාල පසුබෑමක් පෙන්නුම් කරයි. ඔවුන්ට ලැබී ඇති මුළු ඡන්ද ප්‍රතිශතය 33.89% (20,32,891)කි. දිනා ගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 892 කි. මීට පෙර බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන 19 ක බලය ඔවුන් අතින් ගිලිහී ඇත. මේ අනුව එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයේ දී විශාල පරාජයක් ලබා ඇතැයි කිව හැකිය. නායකත්ව අර්බුදය මෙම පසුබෑමට එක් ප්‍රධාන හේතුවකි. මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදීත් මෙම නායකත්ව අර්බුදය සහ පක්ෂ අභ්‍යන්තර මත ගැටුම් ප්‍රදර්ශනය කෙරිණ. මැතිවරණය සඳහා පැහැදිලි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකිරීම ඔවුන්ගේ පරාජයට තවත් හේතුවකි. භාණ්ඩ මිල ඉහළ යෑම සහ ජීවන වියදම ඉහළ යෑම ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය. එහෙත් බහුතරයක් ජනතාව ඒ සඳහා සංවේදී නොවී ඇති බවක් මැතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රකාශ වෙයි. අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයට තරඟ වැදුණේ එය පළාත් පාලන මැතිවරණයක් ලෙසින් සලකාගෙන නොව ජාතික මැතිවරණයක් ලෙස සලකා ගෙන බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියෙන් පෙනී යයි. ඔවුහු ජනතාව අතරට ගියේ පවතින ආණ්ඩුව පෙරළීමේ අත්තිවාරම මෙම මැතිවරණයෙන් සනිටුහන් කරනු ඇති බව පවසමිනි. මෙම වැරැදි ප්‍රචාරණ වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂයේ පරාජයට තවත් හේතුවක් වන්නට ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේ දී අන්ත පරාජයකට මුහුණ පෑ අනෙක් පක්ෂයයි. ඔවුන් හිමිකර ගත් මුළු ඡන්ද ප්‍රතිශතය 3.02% (181,270)කි. ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 57 කි. පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාලනය කෙරුණු, වරක් දකුණු පළාතේ හොඳම ප්‍රාදේශීය සභාව ලෙසින් තේරුණු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ද ඔවුන් අතින් ගිලිහිණ. එක්සත් ජාතික පක්ෂය සේම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම මැතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨය කොට ගත්තේ භාණ්ඩ මිල ඉහළ යෑම සහ ජීවන වියදමයි. එයට වෙනස්ව ගම නඟා සිටුවීම සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ඉදිරිපත් කළේ නැත. පැහැදිලි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් සහ විනයක් ඇතිව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද එදිනෙදා සිදුවීම්වලට ආවේගශීලීව ප්‍රතිචාර දක්වන, හුදු අනාගත දැක්මක් නොමැතිව ඉබාගාතේ යන පක්ෂයක් බවට පත් වී ඇත. ඔවුන්ගේ පරාජයට මේවා හේතු වන්නට ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මේ මංමුළාවූ ස්වභාවය පසුගිය කාලය පුරා ප්‍රදර්ශනය විය. වරෙක එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟත්, තවත් වරෙක සරත් ෆොන්සේගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමඟත්, තවත් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය සමඟත් සන්ධානගත වීමෙන් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණට අද වන විට නිශ්චිත දර්ශනයක්, ප්‍රතිපත්තියක් හෝ පැහැදිලි මාවතක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් මෙලෙස අන්ත පසුබෑම්වලට ලක්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආනගත ප්‍රගමනය ගැන හිතන විට එතරම් යහපත් ප්‍රවණතාවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් වන්නේ ප්‍රබල විපක්ෂයක් ද ඇති විටයි. වර්තමාන රජයේ විපක්ෂයේ භූමිකාව නිරූපනය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොට ගත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් විසිනි. එහෙත් අද මෙම පක්ෂ වෙතින් පෙන්නුම් කරන දැඩි නිහැඬියාව සහ පසුබෑම රජයේ අධිකාරිවාදී ගමන් මඟට රුකුල් දෙන්නක් වී ඇත. රජය යම් අවස්ථාවක අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් හෝ රජය වැරැදි ක්‍රියාමාර්ගවලට යොමු වන්නේ නම් හෝ ඒවා නිවැරැදි කිරීම විපක්ෂයේ වගකීමයි. එහෙත් අද ඒ සඳහා ප්‍රබල විපක්ෂයක් නැත. එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අභ්‍යන්තර අර්බුදවලින් ගහණ වී ඇත; බිම් මට්ටමේ ජනතාවගෙන් විතැන් වී ඇත; පැහැදිලි ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙලක් හෝ නොමැතිව ඉබාගාතේ යන තත්ත්වයකට පත් වී ඇත. මේ නිසා එක් පැත්තකින් මේ පක්ෂ දෙකම ප්‍රතිසංවිධානය විය යුතුව ඇති අතර ජනතාවට දැනෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුව ඇත. අනෙක් පැත්තෙන් එම වැඩපිළිවෙල සමඟ ජනතාව අතරට යමින් බිම් මට්ටමේ සිට පක්ෂ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කළ යුතුව ඇත. එය මෙම පක්ෂවල උන්නතිය සඳහාත් රටේ උන්නතිය සඳහාත් යන දෙකටම අදාළ වේ.

මෙවර මැතිවරණයේ දී සුළුජන පක්ෂවලට සැලකිව යුතු ජනවරමක් ලැබී ඇත. දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 12 ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 4 ක් ද ජයග්‍රහණය කර තිබේ. කඳුරට ජනතා පෙරමුණ සහ ජාතික මුස්ලිම් කොංග්‍රසය පිළිවෙලින් පළාත් පාලන ආයතන 1ක් සහ 2ක් වශයෙන් පළාත් පාලන ආයතන 3 ක බලය හිමි කර ගෙන ඇත. මෙය යහපත් ප්‍රවණතාවක් මෙන්ම එකී පක්ෂවලට හොඳ අවස්ථාවකි. ග්‍රාමීය සංවර්ධනයට දායක වෙමින් බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා මෙම අවස්ථාව වෙසෙසින් ප්‍රයෝජනයට ගත හැකිය; ප්‍රයෝජනයට ගත යුතුය. දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂවලට මෙහි අදාළත්වය වැඩිය. දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් ලෙස ඔවුන් ඉල්ලා සිටින දේශපාලන විසඳුමේ හැඩය කුමක් විය යුතුද යන්න පෙන්වා දීමට මෙය කදිම අවස්ථාවකි. ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් නිර්මාණ කර පෙන්වීමෙන් දෙමළ ජාතික සන්ධානයට මේ සඳහා පසුබිම සැකසිය හැකිය.

මෙම මැතිවරණයේ තවත් එක් විශේෂත්වයක් වන්නේ මෙය පළාත් පාලන මැතිවරණයක් වුවත් කිසිදු පළාත් පාලන අපේක්කෂයකුට ජනමාධ්‍යවල පෙනී සිටීමට සැලකිව යුතු ඉඩක් ලබා නොදීමයි. දේශපාලන සාකච්ඡා/සංවාදවල දී හෝ ප්‍රවෘත්ති විකාශනවල දී හෝ පළාත් පාලන අපේක්ෂකයන් හා ඔවුන්ගේ ප්‍රකාශ අසන්නට දකින්නට ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඒවා සියල්ල නියෝජනය කරනු ලැබුවේ ජාතික දේශපාලන නායකයන් විසිනි. මැතිවරණ වේදිකාව සම්පූර්ණයෙන්ම පාහේ මෙහෙයවනු ලැබුවේ ජාතික තලයේ දේශපාලන නායකයන් විසිනි. ඡන්දාපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තීන් ගැන හෝ ක්‍රියාමාර්ග ගැන හෝ කතා කිරීමට ලැබී තිබුණු අවස්ථා ඉතා අල්ප විය. මෙහි අර්ථය ගම ගැන ජාතික නායකයන්ගේ අවධානය වැඩි වීමක් ද නැතහොත් ප්‍රාදේශීය නායකයන් නොසලකා හැරීමක් ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මෙම තල දෙකෙහි සංකලනයක් සිදු වූයේ නම් තත්ත්වය වඩා යහපත් යැයි කිව හැකිය.

මැතිවරණ ප්‍රචණ්ඩත්වය මෙරට මැතිවරණවල අවේණික ලක්ෂණයක් වුවත් මෙවර පළාත් පාලන මැතිවරණය සමස්තයක් වශයෙන් නිදහස් හා සාමකාමී මැතිවරණයක් වූ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. එහෙත් මෙම මැතිවරණයේ දී ඇතැම් ප්‍රදේශවල මිනිස් ඝාතන පවා සිදු විය. එය කිසි ලෙසකින් හෝ අනුමත කළ හැකි ප්‍රවණතාවක් නොවේ. (ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිසිලෙසකින් හෝ අනුමත කළ හැකි නොවේ) ජනාධිපතිවරණයක දී හෝ පාර්ලිමේන්තු මහ මැතිවරණයක දී හෝ නම් එවැනි බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම එතරම් පුදුම විය යුතු දෙයක් නොවේ. මන්ද, මෙම මැතිවරණ ක්‍රමයේ ස්වභාවය සහ එහි තිබෙන දුර්වලතා නිසා එවැනි සිද්ධීන් ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩි බැවිණි. එහෙත් ගම් මට්ටමෙන් පැවැත්වෙන කුඩා මැතිවරණයක දී පවා එවන් බරපතළ ආකාරයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වීම මොනම තත්ත්වයක් යටතේ හෝ අනුමත කළ හැකි නොවේ. මේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම සහ ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම රටේ ඉදිරි ගමනට බෙහෙවින් වැදගත්ය.

රටේ නීතිය අභියෝගයට ලක් කරන ප්‍රධාන අවස්ථාවක් වේ නම් ඒ මැතිවරණ සමයයි. රාජ්‍ය දේපොළ අයථා ලෙස භාවිතා කිරීම, රාජ්‍ය බලය අයථා ලෙස යොදා ගැනීම, මැර බලය, බරපතළ ලෙස මුදල් නාස්තිය හා දූෂණය ආදී වූ බොහෝ ක්‍රියා මැතිවරණ සමයේ දී සිදු කෙරෙයි. මෙය ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් හොඳින් දනිති. වෙනසකට ඇත්තේ විපක්ෂය නියෝජනය කරන පිරිස් මේවා චෝදනා ලෙස ආණ්ඩුවට ඉදිරිපත් කිරීමත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස් ඒ සියලු චෝදනා පදනම් විරහිත ඒවා ලෙස සලකා ප්‍රතික්‍ෂේප කිරීමත් පමණි. ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනෙන්නේ ඉතා මඳ වශයෙනි. මැතිවරණයෙන් පසුව නැවත මැතිවරණයක් එන තෙක් මේ ගැන කිසිවෙක් කතා කරන්නේ හෝ ඒවා මැඬපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නේ හෝ නැත. මෙය මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධව දැකිය හැකි ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා මේ තත්ත්වය මැඬපැවැත්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට දැන්වත් සියළු පාර්ශ්ව එක්ව ක්‍රියා කළ යුතුය.

පළාත් පාලන ආයතන, ප්‍රතිපත්ති සම්පාදන ආයතන නොවුණත් ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියට පළාත් පාලන ආයතන මඟින් ලබාදිය හැකි දායකත්වය ඉතා විශාලය. මන්ද, මධ්‍යම රජයේ සංවර්ධන සැලසුම් ගම සමඟ සම්බන්ධ කරන ප්‍රධාන යාන්ත්‍රණය පළාත් පාලන ආයතනය වීමයි. ඒ වගේම ජනතාවට වඩාත් සමීප පාලන ඒකකය ද පළාත් පාලන ආයතනයයි. මේ අතර පළාත් පාලන ආයතනවලට සතුටු විය හැකි ප්‍රවෘත්තියක් පසුගියදා අසන්නට ලැබිණ. ඒ දැනට පවතින පළාත් පාලන ආයතන තවත් ශක්තිමත් කිරීම සඳහා ඒවාට වැඩි බලතල හිමිවන ආකාරයේ නව නීති සම්පාදනය කිරීමට රජය ක්‍රියා කරනු ඇති බවට පළ වූ ප්‍රවෘත්තියයි. පළාත් පාලන ආයතන සමඟ එක්ව වැඩ කිරීම සඳහා ජන සභාව සංස්ථාපනය කරන බව ද රජය ප්‍රකාශ කර සිටියේය. ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම සඳහාත්, ජනතාවගේ සහභාගීත්වයෙන් ග්‍රාමීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් මේ ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීම රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට බෙහෙවින් හිතකරය.

සංජීව මුණසිංහ