සිංහල

ලාංකේය සංගීතයේ විප්ලවීය මිනිසා “කේමදාස මාස්ටර්” සමුගනී……..

kemadasa1.jpg 

සම්පත් සමරකෝන්
            ප්‍රවීන සංගීතඥයෙකු වන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හෙවත් “කේමදාස මාස්ටර්” පසුගිය 24 දා පෞද්ගලික රෝහලකදී සිය ගමන් සගයන්ගෙන් සමුගත්හ. අද(27) ඔහු සදහටම අප අතරින් සමුගෙනයනු ඇත. ඔහු රෝගාතුරව සිටිය දී පවා ඒ පිළිබඳ කිසිදු වෙහෙසක් නොපෙන්වා ඔහු, ඔහුගේ නිර්මාණ කාර්යයේ යෙදීම පුදුම සහගතය. ඒ කෙසේ වෙතත් වසර 71 ක් ජීවත් වෙමින් ඔහු සමුගත්තේ පිරී ගිය මනසකින් සහ සතුටු සිතින් විය යුතු ය.
වාද්දූව, තල්පිටියේ දී 1937 ජනවාරි 25 උපත ලද කේමදාස මාස්ටර් තම සංගීත දිවිය ආරම්භ කරන ලද්දේ කුඩා කල තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුනු බට නලාවෙනි. පසුව ඔහු සංගීත ශිල්පියෙකු ලෙස ගුවන් විදුලි සංස්තාවට සම්බන්ධ විය. සිරිසේන විමලරත්නයන්ගේ   ‛රොඩී කෙල්ල’ චිත්‍රපටයේ සිට ‛අග්නිදාහය’ දක්වා වූ චිත්‍රපටවලට සංගීතය සපයා සිය විප්ලවීය සංගීත ප්‍රතිභාව ලොවටම පෙන්වීය.
              සිම්පනි, ඔපෙරා, කැන්ටාටා වැනි මහා සංගීත සම්ප්‍රදායන් සිංහල සංගීත ක්ෂේත්‍රයට හදුන්වා දී  සිංහල සංගීතය නව මගකට යොමුකල මේ මහා සංගීතඥයාගේ නික්ම යාම නැවත පිරිවිය නොහැකි ය. එසේම ආචාර්ය කේමදාසයන් වේදිකාව මත ද ඔහුගේ නිර්මාණයන් එළිදැක්වූයේ පුදුම සහගත ලෙස ය. මරා සාද්, ධවල භීෂණ, මකරාක්ෂ ආදි වේදිකා නාට්‍යවලට සංගීතය සැපයූ ඔහු ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේත් පැසසුමට ලක්වු අතර එයින් දිනාගත් සම්මාන සංඛ්‍යාව බොහොමයකි.
               එසේම මෙම  විප්ලවීය මිනිසා කිසිදිනෙක සම්මාන හෝ මුදල් සදහා තම නිර්මාණ සිදු නොකල අව්‍යාජ කලා කරුවෙක් විය. සමාජ ජීවිතයේදී නොබියව නොසැලී තම මතවාදයන් ඉදිරිපත් කළ ආචාර්ය කේමදාසයන් කිසි දිනෙක තම නිර්මාණ හෝ මතවාදයන් අවිචාරවත් දේශපාලනය සදහා භාවිතා කිරීමට ඉඩ නොදුන් නිර්භිත, අදීනකලාකරුවෙක් විය.
              කලාව මිනිසුන් උදෙසා යන්න තමන් ජීවත් වූ කාලයේ දී ම තහවරු කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සමුගැනීම සියලු දෙනාට දරාගත නොහැකි වේදනාවක් වන අතර ඒ වේදනාවත් සමග අපට දයාබර සොඳුරු මිනිසෙකුගේ සමුගැනීමේ වේදනාවක් ද වන බව සටහන් කරමු.