සිංහල, Colombo, Democracy, Media

තිස්ස, හඳගම සහ නිලමෝර්

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන්

ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?

ජර්මනියේ දි ඔව්හු කොමියුනිස්ට්වාදින් සොයා ආහ. මා කොමියුනිස්ටිවාදියකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු යුදෙව්වන් සොයා ආහ. මා යුදෙව්වකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු වාත්තීය සමිතිකරුවන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව කතොලිකයින් සොයා ආහ. මම කතොලිකයකු නොව පොතෙස්තන්තලබ්දිකයකු වු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත. – 1945 දී නාසි වදකඳවුරක දි මරා දමන ලද දේවගැතිවර මාර්ටින් නිලමෝර් (දිනය නොදනී)

ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් දැන් දින 250කට වඩා රැදවුම් බාරයේ ය. ඔහුට, ඔහුගේ මුද්‍රණකරුවා වූ ජසීහරන්ට සහ ඔහුගේ බිරිඳ වලර්මතී යන තිදෙනාට ම නඩු පවරා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

දින 250 මේ තාක් සිරභාරයේ සිටීමට 32 හැවිරිදි වලර්මතී කර ඇති වරද වන්නේ නොර්ත් ඊස්ටන් හෙරල්ඩ් නම් සඟරාව පළ කිරිම පිණිස පිහිටුවන ලද සමාගමෙහි අධ්‍යක්ෂවරියක ලෙස අත්සන් කිරිම ය. ඇය අත්අඩංගුවට පත් විමට පෙර පුහුණුව ලබන ආධුනික ජනමාධ්‍යවේදිනියක ලෙස සේවය කළා ය. ඇය රඳවා ඇත්තේ සැකකාරියන් 150 දෙනෙකු සමඟ වැසිකිළි දෙකක් පමණක් ඇති ශාලාවක ය. තිස්සෙයිනායගම් සහ ජසීහරන් රඳවා ඇත්තේ තවත් 60 දෙනෙකු සමඟ එක් වැසිකිලියක් ඇති තදබදය පිරි ශාලාවක ය.

තිසෙයිනායගම්ගේ නඩු විභාගය පැවැති පසුගිය 4/5/6 යන දිනයන්හි එය නිරීක්ෂනය කිරීමට අන්තර් ජාතිය ජූරි සභිකයින්ගේ කොමිටියෙන් නියොජිතයකු ද පැමිණියේ ය. ඔහු සහ අප ජනමාධ්‍යවේදීන් දෙනෛකු හැර අන් කිසිවකු එදින එහි සිටියේ නැත. දින තුන පුරාවටම ජනමාධ්‍යවේදීන් හැරුණ විට එහි පැමිණ සිටියේ සත්‍යවේල් පියතුමා සහ තානාපති නිලධාරීන් පමණි.

තිසෙයිනායගම්ගේ නඩුව විරුද්ධව පවරා ඇති පුද්ගලික නඩුවකට වඩා මෙරට ජනමාධ්‍ය නිදහස ට එරෙහිව පවරන ලද නඩුවක් සේ සැළකිය යුත්තකි. තිසෙයිනායගම් වරදකරු කිරීම පිණිස ආණ්ඩුව උපුටා දක්වා ඇති ඔහු ලියු ලිපි වැනි සහ ඊටත් වඩා විවේචනාත්මක ලිපි අප බොහෝ දෙනා ලියා තිබේ.

මෙම නඩුව අන්තර් ජාතික ක්ෂේත්‍රයට ගෙන ගිය සහ දේශිය ජනමාධ්‍ය සංවිධානයන්ට අතදුන් ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධාන පවා ආණ්ඩුවේ ප්‍රහාරයට ලක් විය. දැන් එම සමගිය බිදවීමේ සූක්ෂම වැඩ සටහනක් දියත් වී තිබේ.

තිසෙයිනායගම්, ජසීහරන්, වලර්මතී දෙමළ ය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ය. ඉදින් ඔවුන්ගේ ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් වන්නේ කෙසේද කියා බොහෝ දෙනෙක් සිතන්නේ අවිඥානකව ය. නොදැනුවත්වම ය. එබැවින් ඒ සම්බන්ධයෙන් එතරම් අවධානයක් අවශ්‍ය යැයි සිතන්නේ ද නැත.

මාටින් නිලමෝර් ගේ කියමන අදටත් සත්‍ය වන්නේ එබැවිනි. ඔහු කියා සිටියේ මර්දනය තනි තනි සිදුවීම් ලෙස නොබැලිය යුතු බව යි. තිසෙයිනායගම් නඩුව මෙරට අද පවත්නා මූලධර්මවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ප්‍රවණතාවයේ එක් අවස්ථාවකි. නොඑසේව දෙමළුනට හෝ ජනමාධ්‍යවේදිනට හෝ එරෙහිව පවරන ලද නඩුවක් ලෙස බැලීම මහත් වරදකි.

දැන් අසෝක හඳගම සහ අක්ෂරය වෙත යමු.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මෙරට පෙන්වීම තහනම් කරන ලද අක්ෂරය සිනමා පටය අරභයා එහි අධ්‍යක්ෂ අසෝක හඳගමට එරෙහිව අධි චෝදනා නීතිපති දෙපාර්ථමේන්තුව මගින් මහේස්ත්‍රාත් අධිකරණයට 2008 නොවැම්බර් 11 දින බාර දෙන ලදී.

මෙම අධිචෝදනා පත්‍රය මගින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අක්ෂරය සිනමා පටය හරහා බාලවයස්කාර පිරිමි ළමයකු නිරුවත් දර්ශන සඳහා යොදා ගන්නා ලදැයි ද බාලවයස්කාර පිරිමි ළමයකු කුලී පදනම මත නිරුවත් දර්ශන සඳහා යොදා ගන්නා ලදැයි ද වශයෙන් චෝදනා දෙකක් ගොනු කොට තිබේ.

මෙම සිනමා පටය තහනම් කිරිමට එරෙහිව මෙරට කිර්තිමත් සිනමා අධ්‍යක්ෂවරු ගනනාවක්ම පෙනී සිටි නමුත් ආණ්ඩුවට ඒවා නෑසු කන්ව ගියේ ය.

කලා කෘතියක් සඳහා නිරුවත භාවිත කිරීම සම්බන්ධයෙන් සහ ළමා ශ්‍රමය යොදා ගන්නා ලදැයි ප්‍රජාතන්ත්‍රවාදි රටක සිනමා අධ්‍යක්ෂවරයෙකුට එරෙහිව පවරන ලද ප්‍රථම නඩුව වීමේ ඉරණම මෙම අධි චෝදනා ය. ත්‍රස්ත විරෝධී නීති යටතේ ජනමාධ්‍යවේදී තිසෙයිනායගම්ට නඩු පැවරිමෙන් ද වත්මන් ආණ්ඩුව ලොවෙහි ඒ අරභයා ද ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබේ.

කණගාටුවට කරුණ නම් තිසෙයිනායගම් නඩුව සහ අසෝක හඳගම නඩුව අතර ඇති සම්බන්ධය බොහෝ දෙනෙකු විසින් නොදැකීම ය. එපමනක් නොව පසුගිය කාලය පුරා මෙරට නිදහස් අදහස් ප්‍රකාශනය මැඩලිමට ආණ්ඩුව ක්‍රියාත්මක කරන ලද මර්ධනකාරි පියවර මූලධර්මවාදි රාජ්‍යක මඟ සළකුණු ලෙස නොසැළකිම ය. ගස් මිස කැළය නොදැකීම ය.

යුද විරෝධි මානවවාදී සිනමාපට කරුවන්ට එරෙහිව 2005 වසරේ දී එල්ල කරන ලද විවිධ ප්‍රහාරයන් මගින් ඔවුන් නිහඩ කරන ලදී. යාපනයේ ජනමාධ්‍ය මෙල්ල කිරිම පිණිස මරා දැමුණු මාධ්‍ය සේවකයින් 12 දෙනෙකු පමණ විය. වෘත්තිය සමිති අයිතීන් මර්ධනය විවිධ ආකාරයෙන් සිදු විය. රාජ්‍ය නොවන සංවිධාන මත එල්ල කරන ලද පීඩනය සහ වාග් ප්‍රහාර විසින් ඒවා අඩපන කරන ලදී. වැලිඅමුණ නිවසට බෝම්බ ගසා මහසෝන් බලකාය ලවා මරණ තර්ජන එවනු ලැබුණි. යුද තොරතුරු වාරණයකින් තොරව මහජනයා හමුවේ තැබීමට ගත් පියවරක් වූ “ඩිපෙන්ස් වොච්” දියත් කල මංගල සමරවීර මහතාට මරණ තර්ජන ගලා ආවේ ය. නැගෙනහිර පළාත් සභාවට බලය ඉල්ලා සිටි පිල්ලෙයාන්ට එරෙහිව කරුණා මුදා හැරියේ ය. මේ වනාහි එක් මර්ධනකාරී සැලැස්මක කොටස් මිස තනි තනි කොටස් නොවේ.

විපාක්ෂික දේශපාලන පක්ෂ සහ සංවිධාන බෙදා කඩා ඉහිර වීම පිනිස වූ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාවට නැගුණි. පසුගිය කාලය පුරා ප්‍රජාතන්ත්‍ර විරොධි බලවේගයන්ට එහෙිව පෙරමුණ ගත් ජනමාධ්‍ය සංවිධානයන්හි සමගිය ද එහි අන්තර් ජාතික සහයෝගය සහ නායකත්වය බිඳ දැමීම පිණිස ද විවිධාකාර කූට පියවර ගැනෙමින් තිබේ. ඉදිරියට තව තවත් ප්‍රහාරයන් එල්ල වනු ඇත.

ආණ්ඩුව යුද්ධයක් මුදා හැර ඇත්තේ එල්ටීටීඊයට එරෙහිව පමණක් නොවේ. තමන් සමඟ නැති අන් සියල්ලන්ට ම එරෙහිව ය. අප සමාජයෙහි කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයක් අප අපේක්ෂා කරන්නේ නම් තේරුම් ගත යුතු සත්‍ය එය යි. අප බෙදා වෙන් කිරිමට කැස කවන පුද්ගලයින්ට සහ බලවේගයන්ට අප ඉඩ නොදිය යුත්තේ ද එනිසා ය.

සුනන්ද දේශප්‍රිය