සිංහල, Democracy, Human Rights, Matale, Peace and reconciliation

උතුර, දකුණ සහ මාතලේ

               වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත් පුළුල් වෙමින් පවතී. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දමිළ ජනයා ස්වකීය අනන්‍යාතාව හා සමානාත්මතා අයිතිය පිළිගන්නැයි ඉල්ලා සිටිති. ඒවා බොහොමයක් අවිහිංසාවාදී අරගලවිය.(විශේෂයෙන් 80 දශකයට පෙර) නමුත් පිළිතුර වුයේ, ඒවා ප්‍රචණ්ඩත්වය යොදාගෙන මැඩලීමය. එසේ ස්වකීය අනන්‍යතාව පිළිගනු වෙනුවට 1956 සිට 1981 දක්වා දකුණේ දමිළ ජනයා මරා දැමූහ. ඔවුහු සරණාගතයෝ බවට පත් කළහ. මෙය ඒ ඒ ජනවර්ග එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් බලන තත්වයකට පැමිණ වීමට හේතු කාරක විය. 1983 ජූලියේදී 5000කට ආසන්න ප්‍රමාණයක් මළවුන් අතරට දකුණේදී එක් වුහ. සාමකාමී උද්ඝෝෂණ අවසන්විය. විශේෂයෙන් උතුර නැගෙනහිර සහ සාපේක්ෂව දකූණද ලේ වලින් තෙත්විය. එදා සිට අද දක්වා දමිළ සහ සිංහල ජනකොටස් දෙකම මෙම ව්‍යසනයේ මරණිය ගොදුරු බවට උතුරේදීත්, දකුණේදීත් පත් වූහ. පත් වෙමින් ඇත. වාර්ගික ගැටුම විසදීම සදහා බොහෝ විට දකුණත් උතුරත් බොහෝ අවසථාවන් වලදී ප්‍රචණ්ඩත්වයම තෝරා ගත්හ. ප්‍රකාශිත අවි ගැටුම් නතර කළ අවදිවලදී පවා සාපේක්ෂ ලෙස මෙය සිදුවිය.

      විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කය ද 1983 කඑ ජූලි ජනවාර්ගික ව්‍යසනයේ දී අන්ත ජාතිවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් විය. බොහෝ දමිළ මිනිසුන්ට අයිති දේපල විනාශ විය. ඔවුන්ගේ ප්‍රධාන කෝවිල් ගිණිබත් කෙරිණ. බොහෝ පිරිසක් දකුණු ඉන්දියාවට සරණාගතයින් ලෙස පළා ගියහ. 2007 වර්ෂයට අදාල ජන සංඛ්‍යාලේඛන වලට අනුව සිංහලුන් 370122කට හා අනිකුත් ජාතීන් 50051ට ජීවන අවකාශය සලසයි. මේ අනුව සිංහල ජනයාට සාපේක්ෂව අනිකුත් ජාතීන්ගේ ප්‍රතිශතය 25%කි. මධ්‍යම කදුකරයට නෑකම් කියන ඉන්දීය වතු කම්කරුවන් සිටින වතු සමූහයක් පැවතීමද මේ දිස්ත්‍රික්කයේ විශේෂ ලක්ෂණයකි. දිස්ත්‍රික්කයට පරිභාහිරව පවතින ප්‍රචණ්ඩ ගැටුම් පරිසරයද සැළකිල්ලට ගත්විට මේ කලාපය වාර්ගික පීඩනයක් :ෑඑයබසජ ඔැබිසදබ ්රු්* සහිත කලාපයක් ලෙස හඳුනාගත හැක. නාගරිකව, ග්‍රාමීයව සහ වතු ආශ්‍රිතව විසිරී ඇති දමිළ ප්‍රජාව මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් ඉදිරියේදී වඩා තීව්ර වනු ඇත. ඓතිහාසිකව ලංකාවේ විශාලම ලෙස පවත්වන තේරු උත්සවය මාතලේ පවත්වනු ලබයි. යුද තත්වයන් තීව්ර වන්නට පෙර බොහෝ් සිංහල ජනයා ද මෙම සක්‍රීය ලෙස සහභාගී වුහ. නමුත් පසුගිය මෙම සංස්කෘතික උත්වයට එතරම් පිරිසක් සහභාගී නොවූහ. එයට බලපෑ හේතුව නම් සිංහල ප්‍රජාව අතර පැතිර ගිය කොටින්ගේ තර්ජන පිළබද අනියත බියයි.

        මෙයින් උතුරු නැගෙණහිර පවතින ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිපල වාර්ගික සංයුතියක් සහිත ප්‍රදේශ දක්වා ඉතා සීග්‍රයෙන් පැතිරෙණ බව මින් හෙළිවේ. තවද, දේශපාලන ව්‍යවසායකයෝ, ප්‍රදේශයේ වෙළද ප්‍රජාව ජනවාර්ගික අනන්‍යතාවයන් අනුව සංවිධානය කිරමට උත්සුක වීමක් නිරීක්ෂනය කළ හැක. මෙය අනිකුත් ජාතීන්ට ජීවිකාවක් සරිකර ගැනීමට ඇති අයිතිය සංවිධානාත්මක ලෙස ඇහිරීමක් ලෙස සැලකිය හැක. එසේම සිංහල සහ දමිළ ජනයා අතර වසර ගනනාවක් තිස්සේ ගුප්තව ව්‍යාප්ත කරනු ලැබූ වාර්ගික ආතතිය හා අවිශ්වාසය ඉතා සුලු ක්‍රියාකාරීත්වයකින් විනාශකාරී ලෙස පුපුරා යාමට ඇති ඉඩ ඉහළ අගයක් ගනී.

         මේ ආතතිය සමනය කිරීම සදහා ජාතීන් අතර සංහිදියාවක,් සහෝදරත්වයක් සහ එකිනෙකා අතර විශ්වාසයක් ඇති කිරිම මූලික අවශ්‍යතාවයකි. ජාතීන් අතර ලක්ෂණ අවධාරණය කරන හා අනවබෝධය, අන්‍යන්ට ගරු නොකිරීම සහ අවිශ්වාසය දුරු කරන ගැටුම් නිරාකරණ ප්‍රවේශයක් ගොඩනැගීම තිරසාර සාම ප්‍රයත්නයක ලක්ෂණ විය යුතුය. මෙය ජාතික වශයෙන්ද බෙදුණු දේශපාලන සංස්කෘතියක් වෙනුවට ඒකාබද්ධ දේශපාලන සංස්කෘතියක් දක්වාත් අලුත් මනුෂ්‍යත්වයක් සහ විවිධත්වය පිළිගන්නා රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම සදහා වන එක් විශ්වාසනීය, ගැඹුරු සහ මානවීය දේශපාලන කතිකාවතක් ගොඩනැගීම අලුත් ලංකාවට ඇති ප්‍රභල අභියෝගයයි.

ජේ. අබේසිංහ