සිංහල

එතැනින් වව්නියාවට. මෙතැනින් කොහේට ද?

සින්නතම්බි ශන්මුගදාසන් පනස් තුන් හැවිරිදි සින්නතම්බි ශන්මුගදාසන් මීට මාසයකට පමණ පෙර සිටියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයක් වන මුල්ලයවාලි ප්‍රදේශයේ සරණාගත කඳවුරකයි. සින්නතම්බිගේ ගම යාපනයේ පලාලි ප්‍රදේශය. මේවන විට ඔහු හතරවතාවක් පමණ අවතැන්වෙලා. 1990 යුද්ධය වේලාවේ ඔහු පලමු වරට අවතැන් වුනේ. ඒ අවස්ථාවේ ඔහු හිටියේ වඩමාරච්චි ප්‍රදේශයේ සරණාගත කඳවුරක.ඊට පස්සේ 1995 යුද්ධය අවස්ථාවේ අවතැන්වෙච්ච ඔහු ආලම්බි ප්‍රදේශයට පැමිණියා. මේ වර යුද්ධය පටන් ගත්තට පස්සේ ඔවුන් මුල්ලයවාලි ප්‍රදේශයට පැමිණියා. දැන් එතැනින් වව්නියාවට. මෙතැනින් කොහේටද? ශන්මුගදාසන් ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්තයකි.

“මගේ ගම යාපනයේ පලාලි, 1990 යුද්ධය නිසා අපිට ගෙවල් දොරවල් අහිමි වුනා. ඊට පස්සේ අපි ජීවත් වුනේ වඩමාරච්චි ප්‍රදේශයේ. 1995 දී අපි ආලම්බි ප්‍රදේශයට පැමිණියා. මීට මාස කිහිපයකට පෙර යුද්ධය පටන් ගත් නිසා අපි මුල්ලයවාලි ප්‍රදේශයට පැමිණියා” වව්නියාවේ සිදම්බරම්පුරම් අනාත කඳවුරේදී අපට හමු වූ සින්නතම්බි ශන්මුගනාදන් හිස් අහස දෙස බලාගෙන කියාගෙන යනව.

මට ශන්මුගදාසන්ව මුණගැසුනේ වව්නියාවේ පිහිටි සරණාගත කඳවුරක දීයි. මුල්ලයවාලි එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ සිට හොර රහසේ බෝට්ටුවක නැගුන ශන්මුගදාසන් ඔහුගේ බිරිඳ හා පුතාද රැගෙන රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයකට පැනල ආව.
“යුද්ධය නිසා පුතාගේ ඉස්කෝලේ ගමන නැවතුනා, මං මෙහේට ආවේ පුතාගේ අධ්‍යාපනය ගැන හිතල නෙමේ. පුතාව බේරගන්න ඕන නිසා. පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයින්ව එල්ටීටීඊ එකට බඳව ගන්නවා. මගේ පුතාව ඒකෙන් බේරගන්නයි මං රජයේ පැත්තට පැනලා ආවේ.”
වන්නියේ ඉඳල වව්නියාවට එන්න හිතුවට එය ලෙහෙසි පසු කටයුත්තක් නොවන බව ශන්මුගදාසන් දැනගෙන හිටිය. ඒත් ඔවුන් ස්තීර ලෙසම ඒ අවධානම භාර ගැනීමට සුදානම් වුනා. තද වැසි සහිත රාත්‍රියක් මේ සඳහා සුදුසුම දිනය ලෙස ඔහු කල්පනා කලා. මුලතිව් ප්‍රදේශයෙන් බෝට්ටුවක නැගුන ඔහුවු මුහුදේ පැය හතරක් පමණ ගමන් කරමින් සිටින විටදී බෝට්ටුපෙලක් පැමිණ ඔවුන්ගේ බෝට්ටුව වටකරනු ලැබුවා.
“ ඒක්වරම ආපු බෝට්ටු පෙළක් අපි ගමන් ගත් බෝට්ටුව වටකලා. ඉන්පසුව ඔවුන් අපේ බෝට්ටුව දෙසට අහසට වෙඩි තිබ්බ. බෝට්ටුවේ සිටි අපි සියළු දෙනාම බියෙන් කෑගහන්න වුනා. කට්ටියම බෝට්ටුව ඇතුලේ ගුලි වුනා. මම බෝට්ටුව ඇතුලේ සිට සුදු කොඩියක් වනන්නට වුනා. ටික වෙලාවකින් ඔවුන් පැමිණ අපිව අත්අඩංගුවට ගත්ත. අපිව අත්අඩංගුවවට අරගෙන තිබුනේ නාවික හමුදාවෙන්. නාවික කඳුවුරකට ඔවුන් අපිව රැගෙන ගියා. පසුව කුච්චිවේලි පොලීසියට භාර දුන්නා. පෙලීසියේ දින පහක් අපිව තියාගත්තා ඉන්පසුව වව්නියාවේ සිදම්බරම්පුරම් සරණාගත කඳවුරට ගෙනත් දැම්මා”
වන්නියේ පවතින තත්ත්වය පිළිබඳව ද ශන්මුගදාසන් අපත් සමග දොඩමළු වුනා.
“වන්නියේ සිටින ළමයින්ට හරියට අධ්‍යාපනයක් නැහැ. යුද්ධය නිසා ගෙවල් අහිමිවෙලා තැනින් තැනට යන නිසා ළමයින් නිතරම පාසල් මාරු කරනව. ගොඩක් ළමයි පාසල් යන්නේ නැහැ. වන්නියේ හැම තැනම බංකර්. මිනිස්සු හරිම බයෙන් ජීවත් වෙන්නේ. උඩින් ඇවිත් බෝම්බ දමන නිසා බංකර් හදාගෙන තමයි මිනිස්සු ඉන්නේ. අපිම තමයි බංකර් හදාගන්නේ. ගුවන් යානාවක් ඉහළ අහසේ යන විට සියලු දෙනාම බංකර් වලට යනවා. ගුවන් යානයක හඬක් අහුණු ගමන්ම බංකර්වලට යන්න පොඩි ළමයින් පවා දැන් පුරුදුවෙලා ඉන්නවා.”
“අපිට දැන් අවතැන් වීම කියන්නේ අමුතු දෙයක් නොවේ. අවුරුදු විස්සකට වැඩි කාලයක් අවතැන්වෙලා හිටපු නිසා අවතැන්විම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා” ශන්මුගදාසන්ගේ අවසන් වදන් පෙළ අපිට කියා පෑවේ දෙවරක් සිතිය යුතු දෙයක් අපිට ඉතිරි කරමිනි.
සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස්