සිංහල, Governance, Kurunegala

ගොකරැල්ල පොලීසියට රාළහාමිලා හිඟයක්

දිනකට අපරාධ සම්බන්ධ පැමිණිලි 15-20 පමණ වාර්ථාවන ගොකරැල්ල පොලීසියේ අපරාධ අංශයේ සේවය සඳහා සිටිනුයේ පොලිස් කොස්තාපල්වරුන් 8 දෙනෙකු පමණක් බව නම සදහන් කිරිමට අකමැති පොලිස් නිළධාරියෙකු ‛‛විකල්ප’’ වෙබ් අඩවිය සමඟ පැවසී ය. වර්ග කිලෝ මීටර 80ක පමණ වපසරියකින් යුතු පොලිස් වසම තුළ ග්‍රාමසේවා වසම් 110 ඇති බවත් එනමුත් මේ සියලු ප්‍රදේශ ආවරණය කිරීම සඳහා පොලීසිය සතුව ඇත්තේ එක් වාහනයක් පමණක් බවත් ඒ සඳහා මසකට ලැබෙනුයේ ඩීසල් ලීටර 90 පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය. පොලිස් වසමට අයත් කඳු සහිත සමහර ප්‍රදේශවලට සතියකට වරක් වත් යාමට නොහැකි වන බවත් පොලිස් වසමේ එක් කෙළවරකට ගොස් ඒමට අවම වශයෙන් ඩීසල් ලීටර 15 පමණ වැයවෙන බවත් ඔහු ප්‍රකාශකළේය.