සිංහල, Colombo, IDPs and refugees, Media

විමර්ශී – දකුණේ අපට නොපෙනුන උතුරේ ගංවතුර

vanni-flood-pic-copy.jpg
ජලයෙන් යටවූ වන්නියේ අවතැන් කඳවුරක් – ටැමිල් නෙට්හි පළ වූ ඡායාරූපයක්

රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සදහා ජනමාධ්‍ය සතු සමාජ වගකීම ගැන සැම කල්හිම සාකච්ඡාවට බඳුන්වේ. ගැටුම් සහිත සමාජයක ඒ සමාජ වගකීම අනිවාර්ය අංගයක් නොවුණහොත් ජනමාධ්‍ය සතු හතරවැනි ආණ්ඩුවේ බලාධිකාරය හෑල්ලුවට ලක්වේ. වර්තමානයේ ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින්නේ එම හතරවැනි ආණ්ඩුවේ මානුෂවාදී දැක්ම ජන ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා අත්‍යාවශ්‍ය වී ඇති මෙහොතකටය. ‛විමර්ශී’ මඟින් කෙරෙන්නේ, එම අත්‍යාවශ්‍ය සමාජ වගකීම ඉටු කරන ජනමාධ්‍ය මඟින් මතු කෙරෙන මානුෂවාදී ගැටළුවල ස්වභාවයන් හඳුනා ගන්නට උත්සාහයකි.

රට පුරා වැසි ඇද හැලුනු අතර විශේෂයෙන් උතුරු පළාතට බරපතල හානි කරමින් ඇද හැලුනු ධාරානිපාත වැසි නිසා ලක්‍ෂ තුන හමාරකට වැඩි ජනතාවකට දුක් පීඩා විඳින්නට සිදු වීම පසු ගිය සතියේ මානුෂවාදී ගැටළු අතර කැපී පෙනිණ. 2008 නොවැම්බර් මස 22 වැනි සෙනසුරාදා සිට 28 වැනි සිකුරාදා දක්වා වූ දින හතක් තුළ දිනපතා සහ සති අන්ත සිංහල සහ දෙමළ පුවත්පත්වල (පුවත්පත් 59කි)දළ වශයෙන් වර්ග සෙන්ටි මීටර් 69,509 ක් පමණ මානුෂවාදී තොරතුරු වාර්තාකරණයට වෙන්වී තිබූ අතර ජනතාවට දැඩි ලෙස බල පෑ ජලගැල්ම ආශ්‍රිත පුවත් සඳහා එයින් වර්ග සෙන්ටි මීටර් 8,774 ක් වෙන්වී තිබිණ.

රට පුරා වැසි ඇද හැලුනත් එහි බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ උතුරේ ජනතාවය. වසර 30කට පසු උතුරට ඇද හැලුනු දරුණුතම මහ වැස්ස ඇද හැලුනේ පසුගිය සතිය තුළය. යාපනයේ සහ වන්නියේ ජීවිත 7ක් බිලි ගත් ජලගැල්ම නරකම ප්‍රතිඵල ගෙන දුන්නේ කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවටය. හේතුව, ඒ වන විටත් ඔවුන් ගත කරමින් සිටියේ සාමාන්‍ය ජීවිතය නොවීමය. එම දිස්ත්‍රික්කවල ජනතාවගෙන් බහුතරය සිටියේ යුද්ධය නිසා අවතැන්ව කෑම බීම ආදී මූලික අවශ්‍යතාද නොමැති තත්ත්වයකය. කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල දිසාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව කිලිනොච්චියේ මුළු ජනගහනය වූ 219,878 න් 174,979 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය වූ 259,293 න් 197,103 ක්ද (ඔක්තෝබර් අග වන විට) ඒ වන විටත් සිටියේ අභ්‍යන්තර අවතැන් වූවන් ලෙස පාසල්, ආගමික ස්ථාන හෝ වෙනත් පොදු ගොඩනැගිලිවල සහ තාවකාලික කූඩාරම්වලය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උප දිසාපති කොට්ඨාශ හතරෙන් පූනගරී සහ පිච්චලෛයිපල්ලි කොට්ඨාශ වල ජනයා සම්පූර්ණයෙන් අවතැන් වී සිටි අතර කරච්චි උප දිසාපති කොට්ඨාශයේ භාගයක්ද අවතැන්ව සිටියහ. ගැටුම් සිදු නොවූ එකම කෙට්ඨාශය වූ කණ්ඩාවලෙයි ප්‍රදේශයේ අවතැන් පවුල් 45,000කට පමණ රැකවරණ ලබා දී තිබිණ. මුලතිව් දිස්ත්‍රික්කයේ උප දිසාපති කොට්ඨාශ පහෙන් දෙකක ජනයා සම්පූර්ණයෙන් යුද්ධය නිසා අවතැන් වී තිබුණි. මෙසේ අවතැන් වූවන් ආහාර, බෙහෙත්, ඇඳුම්, සනීපාරක්‍ෂක පහසුකම් කිසිවක් නොමැතිව දැඩි දුක් පීඩා විඳිමින් සිටින බව විශේෂයෙන් දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කරමින් සිටියදී, ඇද හැලුනු වර්ෂාවෙන් අවතැන් වූවන් මෙන්ම නොවූවන්ද දැඩි පීඩාවන්ට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ වන විටත් ඕමන්තේ මුර පොළ වැසීම නිසා ආහාර ද්‍රව්‍ය යැවීම පිළිබඳ ගැටළු වාර්තා වී තිබිණ. ඉන්දියාවෙන් එවූ ආහාර ආධාර වලින් කොටසක් සතිය අවසන් වන විටත් යවා තිබුණේ වව්නියාවට පමණය. තත්ත්වය එසේ තිබියදී ඇද හැලුනු වර්ෂාවෙන් විපතට පත් මුලතිව් ප්‍රදේශයේ පවුල් ගණන 23,236ක් ලෙස වාර්තා වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් ගණන 45,000ක් පමණ වේ. නමුත් යුද්ධය පවතින මෙම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන බරපතල තත්ත්වය වාර්තා වූයේ අඩුවෙනි.

වර්ෂාවෙන් ජනතාව අවතැන් වූ පුවත ප්‍රධාන දෙමළ පුවත්පත් හතරෙන් තුනක මුලින්ම වාර්තා වූයේ නොවැම්බර් 25 වැනිදාය. ඒ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය සම්බන්ධ පුවතක් ලෙසය. 26 වැනිදාද දෙමළ පුවත්පත් හතරම මෙම පුවත වාර්තා කර තිබූ අතර මන්නාරම, යාපනය සහ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් විපතට පත්වූ ප්‍රදේශ ලෙස වාර්තා විය. වන්නියට මහ ගංවතුරක් යන ශිර්ෂය යටතේ එක් පුවතක් පළ වී තිබුණි. සිංහල පුවත්පත් ජලගැල්ම පිළිබඳ වාර්තා කරන්නේ ඊට දින දෙකකට පසු 27 වැනිදාය. ප්‍රධාන දිනපතා පුවත්පත් හතරෙන් තුනක එදින වාර්තාව පළ වන අතර ඒ වන විටත් අවතැන්ව පීඩාවට පත් වූවන් මත පතිත වූ ස්වාභාවික ව්‍යසනයේ පීඩාවන් ගැන සඳහන් වූයේ නැත. අවතැන් ජනතාව යළි අවතැන් වූ පුවත ප්‍රථම වරට වාර්තා වන්නේ 27 වැනිදා දෙමළ පුවත්පත්වලය. වීරකේසරී පුවත්පත ඡායාරූප 7ක් මගින් වන්නියේ ගංවතුරේ බරපතලකම පෙන්වා ඇති අතර තිනක්කුරල් පුවත්පත ඡායාරූප 4කින් යාපනයේ තත්ත්වය පෙන්නුම් කරයි. රජයේ ප්‍රකාශනයක් වන තිනකරන් පුවත්පත වන්නියේ ප්‍රදේශ ගැන සඳහන් නොකොට මහ වැසි ගැන වාර්තා කරයි. ජලයෙන් යටවූ වන්නියේ එකම ඡායාරූපය පළ කළ සිංහල පුවත්පත වූයේ 28 වැනිදා ලංකාදීප පුවත්පතයි.

ලක්‍ෂ තුන හමාරකට අධික ජනතාවක් විපතට පත් කළ පුවතකට සතියක් පුරා වෙන්වූ වර්ග සෙන්ටි මීටර් 8774 න් 7678 ක් අයත් වූයේ දෙමළ මාධ්‍ය පුවත්පත්වලටය. දෙමළ පුවත්පත් ප්‍රධාන සිරස්තල 3ක්, කතුවැකි 2ක්, මුල් පිටු පුවත් 10ක්, ඡායාරූප 11 ක් පළ කරයි. සිංහල පුවත්පත්වල මුල් පිටුවේ පුවත් 3ක්, එක් ඡායාරූපයක් පළ වී තිබූ අතර ඇතුල් පිටුවල අනෙක් පුවත් පළ වී තිබිණ. ජලගැල්මෙන් විපතට පත් ප්‍රදේශ බහුතරය සහ බහුතර ජනතාව දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශ විය. එයිනුත් රජයේ පාලනය සහිත ප්‍රදේශවල තොරතුරු තරමක් දුරට හෝ වාර්තාවලට ඇතුළත් වුවද මුදා නොගත් මෙන්ම ගැටුම් පවතින වන්නියේ තොරතුරු සටහන් වූයේ අඩුවෙන්ය. යුද්ධය නිසා සම්පූර්ණ පරිපාලන යාන්ත්‍රණය කඩා බිඳී ඇති තත්ත්වයක් තුළ දිස්ත්‍රික්කවල බලධාරීන් අවතැන් වූවන් සම්බන්ධ කටයුතු කළමනාකරණයට උත්සාහ ගනිමින් සිටියේ වව්නියාවේ පිහිටුවා ගත් උප කාර්යාල හරහාය. රටක ජන සමාජයේ සියළු කොටස්වල තොරතුරු එකිනෙකාට දැන ගන්නට ලැබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. අනෙක් අතින්, විපතට පත් ජන කොටස්වලට මානුෂවාදී ආධාර කිරීම සඳහා සමාජයේ අවධානය යොමුවන්නේත්, විසඳුම් සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වන්නෙන්ත් ජනමාධ්‍ය මඟින් කෙරෙන මෙම තොරතුරු හෙළිදරව් කිරීම් නිසාය.

සීතා රංජනී