Colombo, Featured Articles, Features

හොරු සමඟ හෙළුවෙන්

උපුල් ශාන්ත සන්නස්ගල මහතා ‛සංහිඳ’ ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත්කෙරෙන වේදිකා නාට්‍ය සහ සිනමා තිරපිටපත් 11 ක් එළිදැක්වෙන උත්සවයක් මැයි 26 වෙනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව මාධ්‍ය වල පළ විය. එසේම එම උත්සවය සඳහා විශාල පිරිසකට ආරාධනා පත්‍රද යවා තිබුණි. මේ මගේ මිතුරෙකුට ලැබී තිබුණු එම ආරාධනා පත්‍රයයි.

මේ ආරාධනා පත්‍රයට අනුව අශෝක හඳගම මහතාගේ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා පිටපත් ගණනාවකුත් ප්‍රසන්න විතානගේගේ නාට්‍ය පිටපත් දෙකක් සහ චිත්‍රපට පිටපතකුත්, නාමල් ජයසිංහගේ නාට්‍ය පිටපතකුත් 26 වෙනිදා දොරට වැඩීමට නියමිතව තිබුණි.

නාට්‍ය චිත්‍රපටි ගැන උනන්දුවක් ඇති, ඒවා රසවිඳින සාමාන්‍ය රසිකයෙකු වන මට මේ පොත් දොරට වැඩුම පිළිබඳ පුවත සිත් සතුටට හේතු විය. එහි වූයේ මා ගරු කරන නිර්මාණකරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණයි. ඒවා යළි යළිත් කියවා බැලිය හැකි, ළඟ තබාගෙන අධ්‍යයනය කළ හැකි මුද්‍රිත පිටපත් ලෙස ප්‍රකාශයට පත්වීම, මා වැන්නෙකුට සතුටු විය හැකි ප්‍රවෘත්තියකි. මේ පොත්වලින් ලාභ ඉපයිය නොහැකි බව දැන දැනම, ඒවා ප්‍රකාශයට පත්කිරීමට ඉදිරිපත් වීමෙන් ප්‍රකට වන්නේ උපුල් සර්ගේ සද් භාවය නොවේදැයි මට සිතුණි.

කෙසේ වෙතත්, ආරාධනා පත්‍රයේ සඳහන් වූ තොරතුරු කිහිපයක් ගැන මට ක්ෂණයෙකින්ම සාංකාවක් පහළ වූයේ මා ඒ නිර්මාණ ගැන මේ දක්වා දැන සිටි කරුණු සහ ආරාධනා පත්‍රයේ දැක්වෙන තොරතුරු එකිනෙකට වෙනස් වූ බැවිනි. මා දැන සිටි පරිදි මචං චිත්‍රපටියේ පිටපත ලියා තිබුණේ, රුවන්ති චිකේරා නැමැත්තියක සහ එම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වූ උබර්තෝ පැසොලිනි විසිනි. (ඔහු විදේශිකයෙකි) ප්‍රසන්න විතානගේ මහතා එම චිත්‍රපටියේ දේශීය නිෂ්පාදකවරයා විය. මේ චිත්‍රපටය මෑතකදී ශ්‍රී ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වූ, වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලාවට කැන්දූ චිත්‍රපටයක් බැවින්, සහ පෞද්ගලිකව මා එම චිත්‍රපටයට බෙහෙවින් ආශා කළ බැවින්, මම එහි පිටපත ලිව්වේ කවුද, අධ්‍යක්ෂණය කළේ කවුද, නළු නිළියන් තේරුවේ කවුද ආදි තොරතුරු ගැන උනන්දුවෙන් සොයා බැලුවෙමි. එහෙයින්, චිත්‍රපටිය ගැන මා දන්නා තොරතුරු වැරදි යැයි සිතන්නට මම මැලි වූයෙමි. අනිත් අතට, ‛හොරු සමග හෙලුවෙන්’ සහ ‛පුත්‍ර සමාගම’ යනු ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් නොවන බවත්, ඒවා විදේශ කෘතිවල පරිවර්තන බවත් මා දැන ගෙන සිටියෙමි. නමුත් ආරාධනා පත්‍රයේ ඒවා දැක්වුණේ ‛‛ප්‍රසන්න විතානගේගේ කෘති’’ හැටියටයි.

ආරාධනා පත්‍රයේ මතු නොව, මේ පොත් එළි දැක්විම ගැන පළවූ සියලුම පුවත් දැන්විම් සහ ලිපි වල මේ වැරැද්ද යළි යළි පුනරුච්චාරණය වී තිබුණි. උත්සවය අළලා උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ පවත්වා තිබූ සම්මුඛ සාකච්ඡා කිහිපයක්ද ඉරිදා පත්තරවල පළ වී තිබුණි. එක් පත්තරයක, ප්‍රසන්න විතානගේ මහතාගෙන් ද අදහස් විමසා පල කර තිබුණි. ඒ එක අවස්ථාවකදීවත් මචං චිත්‍රපටියේ පිටපතේ කර්තෘ පිළිබඳ වරද හෝ පරිවර්තන කෘති ‛ලියූ’ කෘති ලෙස සඳහන් වන වරද හෝ හරිගස්සා තිබුණේ නැත. ආරාධනා පත්‍රයේ මුද්‍රණ දෝෂයක්, පරිගණක අක්ෂර සංයෝජනයේදි සිදු වූ අතපසු වීමක් වෙන්නට ඇතැයි සිතා සිටි මට සියලුම මාධ්‍ය වල නැවත නැවතත් මේ වැරැද්ද එසේම කෙරීගෙන යන විට එය, ‛‛වැරදීමකින්’’ සිදු වෙන දෙයක් වෙන්නට බැරි යැයි සිතෙන්නට වූයේය. නමුත්, ප්‍රසන්න විතානගේ වැනි අප ඉත සිතින් පුදන නිර්මාණකරුවෙකු, අනුන්ගේ කෘතියක් තමන්ගේ නමින් පළ කරවාගැනීම වැනි ලැජ්ජා නැති වැඩක් කරාවියැයි යන්න මට කිසි සේත්ම විශ්වාස කළ නොහැක්කක් විය. ඇරත්, තමන් ලියූ පිටපතක් වෙනත් කෙනෙකුගේ නමින් එළි දකින තුරු එහි සැබෑ රචකයන් බකං නිලාගෙන ඉඳී යැයි සිතන්නටද බැරිය. අවසානයේ මට එළඹිය හැකිව තිබූ නිගමනය වූයේ, ප්‍රසන්න විතානගේ මහතා, මේ ආරාධනා පත්‍රය හෝ පොත් එළි දැක්විම ගැන පත්තරවල පළ වූ කිසිම ප්‍රවෘත්තියක්, සම්මුඛ සාකච්ඡාවක් හෝ දෑහින් නොදුටු බවයි. එය විශ්වාස කරන්නට මදක් අපහසු දෙයක් වුවත්, ප්‍රසන්න විතානගේ කුහකයෙක් යැයි සිතන්නට මම මැලි වූයෙමි. සමහරවිට මේ දිනවල ඔහු විදේශගත වී වෙන්නටත් පුළුවන් යැයි මම සිතුවෙමි.

මගේ ඊළඟ පුදුමය වූයේ, ඕනෑම අහුකොණක් කාටත් කලින් මීටර් වෙන අපේ උපුල් සර්ට මේ වැරැද්ද නොපෙනී ගියේ කෙසේද යන්නයි. ඔහු නිකම්ම නිකං පොත් ප්‍රකාශකයෙකු නොවේ. ඔහුද සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන ලේඛකයෙකි. එසේම චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු මචං චිත්‍රපටියේ තිරපිටපත ලිව්වේ කවුදැයි කියා නොදන්නවා විය නොහැක. එසේම, පරිවර්තිත කෘතියක්, මුල් කෘතියේ නම සහ කර්තෘ ගැන කිසිදු සඳහනක් නැතිව, පරිවර්තකයාගේ නමින් පළ කළ නොහැකිය යන මූලික සිද්ධාන්තය ගැන නොදන්නා තරම් අඳබාලයෙකු විය නොහැකිය. එසේ නම්, තමන් ප්‍රකාශයට පත් කරන පොත් පිළිබඳ ආරාධනා පතේ සහ මාධ්‍ය වල පළ වූ මේ විශාල වරද, ඔහු නොසලකා හැරියේ ඇයිදැයි මගේ විමතියටත් කළ කිරීමටත් හේතු විය.

කෙසේ නමුත්, මේ සියලු වැරදී පිළිබඳව එළිදැක්වීමේ උළෙලේදී සඳහන් වනු ඇති බවත්, ආරාධනා පතේ සහ මාධ්‍ය වල දැන්වීම් සහ ලිපිවල සඳහන් වූ සාවද්‍ය තොරතුරු හේතුවෙන් මචං කාතියේ සැබෑ කතුවරුන්ටත්, පරිවර්තිත කෘතිවල මුල් කකුවරුන්ටත් සිදු වූ අසාධාරණය ගැන කණගාටුව පළ කිරීමක් එහිදී සිදුවෙනු ඇති බවත් මම බලාපොරොත්තු වූයෙමි. මා එම පොත් එළි දැක්වීමේ උළෙලට ගියේ එවැනි අපේක්ෂාවක් ඇතිවය.

නමුත්, එතැනට ගිය විට මට දැනගන්නට ලැබුණේ ‛‛මචං’’ පිටපත මුද්‍රණය වී නැති බවයි. ‛‛හොරු සමග හෙලුවෙන්’’ සහ ‛‛පුත්‍ර සමාගම’’ පොත් දෙකේ කවරවල, ඒවායේ මුල් රචකයින්ගේ නම් තිබූ අතර, පරිවර්තක ලෙස ප්‍රසන්න විතානගේ මහතාගේ නම යොදා තිබුණි. අපට ලැබුණු ආරාධනා පත්‍රයේ වූ පොත්වල පිටකවර මේ වන විට වෙනස් කොට ඇති බව ඒ අනුව පැහැදිලි විය. ආරාධනා පතේ මේ පොත්වල කවරවල වූයේ ප්‍රසන්න විතානගේ මහතාගේ නම පමණයි.

‛‛මචං ’’ පිටපත මුද්‍රණය වී නොතිබීම මගේ වේදනාවට හේතු වූයේ, එය මා මිලදී ගන්නට හිතාගෙන ගිය පොත් කිහිපය අතරින් එකක් වූ බැවිනි. සභාවේ සිටි තවත් අය, මචං පිටපත නැත්තේ ඇයිදැයි අසනවා මට ඇසුණි.

කෙසේ වෙතත්, මචං පිටපත එදින එළි දැක්වෙන පොත් අතර නැති බවවත්, ඊට හේතුව කුමක්ද කියාවත්, ප්‍රකාශක උපුල් සර්වත්, ප්‍රසන්න විතානගේ මහතාවත් පැහැදිලි කර සිටියේ නැත. ප්‍රසන්න විතානගේ මහතා තමාගේ කතාව පටන් ගන්නා විට, ‛‛මට කෙටි නිවේදනයක් තියෙනවා දැනුම් දෙන්න’’ යැයි කියා මොන මොනවාදෝ කට යටින් මැතිරුවේය. ‛‛මචං පිටපත ලියුවේ රුවන්ති සහ උබර්තෝ පැසොලිනි. මම එය සිංහලට පරිවර්තනය කළා. සෞම්‍ය ලියනගේ සහ නාමල් ජයසිංහත් ඒ පරිවර්තනයට සම්බන්ධ වුණා. රුවන්ති මට කිව්වා, ළඟදීම දිනයක මචං පිටපත ඔබ අතට පත්වන බව කියන්න කියලා’’. කිසිම සම්බන්ධයක් නැතිව මන්ත්‍රයක් ජප කරන්නා සේ ඔහු කට යටින් මේ වචන ටික කියාගෙන ගොස් ඔහුගේ කතාවට එළඹුණේය. ඊට පසු ඔහු දිගටම තමන්ගේ කතාව කරගෙන ගියේය. ඔහු අර කලින් දැනුම් දුන් කෙටි නිවේදනයේ අරුත කුමක්දැයි සභාවේ සිටි කාටවත් වැටහුණේ නැත. ‛මෙතන නම් කුමක් හෝ පටලැවිල්ලක් සිදු වී ඇතැයි’ මට සිතෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. ආරාධනා පත්‍රයේ, මචං පිටපත තමාගේ කෘතියක් ලෙස සඳහන් වී තිබීම ගැනවත්, තමා විසින් පරිවර්තිත කෘති තමා විසින් රචිත කෘති ලෙස සඳහන් වී තිබීම ගැනවත්, පත්තරවලද ඒ වැරැද්ද දිගටම සිදු වූ බවවත්, ප්‍රසන්න විතානගේ මහතා සභාවට කීවේ නැත. ඒ වැරැද්ද නිසා මචං පිටපතේ කර්තෘවරුන්ට සහ පරිවර්තිත කෘතිවල මුල් කතුවරුන්ට සිදු වූ අසාධාරණය ගැන වචන මාත්‍රයකුදු සඳහන් කළේ නැත. ප්‍රසන්න විතානගේ මහතා වැනි පුද්ගලයෙකුගෙන් අප එවැනි නිහතමානී නිවැරදි කිරිමක් බලාපොරොත්තු වුණෙමු. නමුත් ඔහු එය එතරම් දෙයක් කොට සැලකුවේ නැත. අඩුම වශයෙන්, අනුන් ලියූ දේ, තමන්ගේ නමින් සඳහන් වි තිබීම, තමාට ලැජ්ජාවක් කොටවත් ඔහු සැලකුවේ නැත්තේ ඇයි?

උපුල් ශාන්ත මහතාවත්, සභාව මෙහෙයවූ කෞශල්‍යා මහත්මියවත්, මේ දේවල් ගැන කිසිවක් කීවේ නැත. ආරාධනා පත්‍රවල හෝ පත්තරවලට ලබා දෙන සම්මුඛ සාකච්ඡාවල හෝ දැන්විම් වල හෝ ඇතුළත් කරුණු, ඇත්ත වුවත් නැත්ත වුවත්, ඒකෙන් කිසි වෙනසක් සිදුවෙන්නේ නැති බවත්, ඒවා ගැන ඒ තරම් බරපතල ලෙස ගත යුතු නැති බවත්, ඔවුන් සිතුවා වැනිය. නමුත්, යමෙක් මේ උත්සවයට යන්නේ, ආරාධනා පත්‍රයක් ලැබුණු නිසාය. නැතිනම් පුවත් පතක සඳහන් වූ තොරතුරු අනුව, එතැනට යන්නට පෙළඹවිමක් ඇති වූ නිසාය. එසේ නම්, ආරාධනා පත්‍රවල සහ පත්තරවල සඳහන් වෙන තොරතුරු පිළිබඳ සභාවට වගකීමට උත්සව සංවිධායකවරුන් වෙත වගකීමක් ඇත. නමුත් උපුල් සර් එදා වැඩසටහනේ ස්තූති කතාව කළේ, ‛‛මං මගේ බිරිඳට ඇර වෙන එකෙකුටවත් බය නෑ, මං මගේ බිරිඳගෙන් ඇර වෙන කාගෙන්වත් සමාව ගන්නේ නෑ….’’යි කටමැත දොඩවමිනි. ඔහු එය කුමන සන්දර්භයක ලා කීවේදැයි මට ඒ මොහොතේ වැටහුණේ නැත. එතැන සිටි වෙන කිසිවෙකුටවත් වැටහෙන්නටද නැත.

කෙසේ හෝ උත්සව සභාව අවසන් වූ පසුව, මේ ආරාධනා පතත්, ප්‍රසන්න විතානගේ මහතා කට යටින් මැතිරූ අපභ්‍රංෂයත්, මචං පිටපත එදා එළිදැක්වුණු පොත් අතර නොතිබීමත්, උපුල් සර්ගේ චණ්ඩි පාට් එකටත් හේතු වූ කතන්දරය තේ බොන ගමන් තැන තැන ඇසුණු, කසු කුසු වලින් ටිකක් පාදා ගන්නට මට හැකි විය. මේ මට දැනගන්නට ලැබුණු දේ අනුව, මා සොයා ගත් කතාවයි. මේ කියන කතාව ඇත්ත විය හැකියැයි සිතාගන්නට අපට ලැබුණු ආරාධනා පත සහ එළිදැක්වුණු සහ නොදැක්වුණු පොත් සාක්ෂි සපයන බැවින් එය මම මෙසේ පැකිලිමකින් තොරව සටහන් කරමි.

– මචං පිටපත මුද්‍රණය කිරීමට ප්‍රකාශකයාට බාර දෙන්නේ ප්‍රසන්න විතානගේ මහතායි. එහි සැබෑ කර්තෘවරියක වන රුවන්ති මේ මුද්‍රණය ගැන
කිසිවක් දන්නේ නැත. මචං ප්‍රසන්න විතානගේගේ පිටපතක් ලෙස මුද්‍රණයට සූදානම් කෙරෙයි.

– මුද්‍රණයට සූදානම් කළ අවසාන පිටපතේ පවා මචං හි කර්තෘ ලෙස සඳහන් වන්නේ ප්‍රසන්න විතානගේගේ නමයි. පොතේ සෝදුපත් බැලීම කරන්නේ ප්‍රසන්න විතානගේමයි. (පිටපත පරිවර්තනයට තමා සම්බන්ධ වූ බැවින් එය තමන්ගේ නමින් ප්‍රකාශයට පත් කළ හැකියැයි යන මෝඩ සිතුවිල්ල ප්‍රසන්න විතානගේ මහතා වැනි පරිණත කලාකරුවෙකුට පහළ වීම ඔවුන් වැන්නන් පුදසුනේ තබාගෙන සිටින අපේ අභාග්‍යයකි).

– පොත් එළි දැක්වීමේ උළෙල පිළිබඳ ආරාධනා පතේ මචං ප්‍රසන්න විතානගේගේ කෘති අතර ඇතුළත් කෙරෙන්නේ වැරදීමකින් නොවේ. ප්‍රසන්න සහ උපුල් දෙදෙනාම හොඳින් දැනුවත්වය.

– මචං කෘතිය ප්‍රසන්න විතානගේගේ නමින් මුද්‍රණය වීමට යන බවත් එහි එළි දැක්වීමක් 26 වනදා පවත්වන බවත්, එහි සැබෑ කර්තෘවරුන් දෙදෙනාගෙන් කෙනෙකු වන රුවන්ති චිකේරාට මිතුරෙකුගේ මාර්ගයෙන් දැනගන්නට ලැබේ.

– රුවන්ති වහාම මැදිහත් වී මේ ගැන සොයා බලයි. මේ සමස්ත ක්‍රියාවලිය හරහා පිටපතේ කර්තෘ ලෙස තමාගේ බුද්ධිමය දේපල අයිතිය සාපාරාධී ලෙස උල්ලංඝණය කර ඇති බව ඇය ප්‍රකාශකයාට සහ ප්‍රසන්න විතානගේට දැන්වීමත් සමගම, මචං පිටපතේ මුද්‍රණය අත්හිටුවීමට ප්‍රසන්න සහ උපුල් තීරණය කරයි.

– මේ සමස්ත සිදුවීම හරහා මචං පිටපතේ කර්තෘ ලෙස තමාට සිදු වූ අසාධාරණය පිළිබඳව පොත් එළිදැක්වීමේ උලෙලේදි ප්‍රකාශයක් කරන්නැයි, රුවන්ති චිකේරා ප්‍රසන්න විතානගේට දැන්වා සිටියි. එපමණක් නොව, මචං කෘතියේ පරිවර්තකයා වශයෙන් පවා නම යොදන්නට ප්‍රසන්න විතානගේට අයිතියක් නැති බවත්, ඔහු පරිවර්තකයන් තිදෙනොගෙන් එක් අයෙකු පමණක් බැවින්, අනෙක් පරිවර්තකයන් දෙදෙනාගේ නම්ද මේ සභාවට දන්වා සිටින ලෙසත් රුවන්ති චිකේරා ප්‍රසන්නට දන්වා සිටියි. ඔහු එසේ නොකරන්නේ නම්, මේ සම්බන්ධව තමා බරපතල පියවරක් ගන්නා බව ඇය දන්වා සිටියි.

– ප්‍රසන්න විතානගේ, තමාගේ කතාව අරඹන්නට පෙර කට යටින් අපභ්‍රංෂයක් මතුරන්නේ, මේ සන්දර්භය පසුබිම් කරගෙනයි.

– උපුල් ශාන්ත ‛‛මම කාටවත් බය නෑ’ පාට් එක දමන්නේත් මේ සන්ර්භය තුළයි.

– මචං කෘතිය 26 වනදා එළි දුටු පොත් අතර නොතිබුණේ මේ සන්දර්භය තුළයි.

– ප්‍රසන්න විතානගේගේ කෘති ලෙස ආරාධනා පතේ සඳහන් වූ ‛හොරු සමඟ හෙලුවෙන්’ සහ ‛පුත්‍ර සමාගම’ නාට්‍ය පිටපත් දෙක පරිවර්තිත කෘති ලෙස, ඒවායේ මුල් කතුවරුන්ගේ නම් යොදා නැවතත් පිට කවර වෙනස් කරන්නේ ‛මචං’ පිටපත හරහා නිර්මාණ අයිතිය පිළිබඳ ගැටලුව ඉස්මතු වූ පසුවයි. ආරාධනා පතේ සඳහන් වූ මේ පිටපත් දෙකේ කවරවල වූයේ ප්‍රසන්න විතානගේගේ නම පමණයි. (ඉහත ආරාධනා පත බලන්න)

කෙසේ හෝ මේ සා බරපතල, වංචනික ක්‍රියාවක් තමා අතින් සිදු වූ බව ඉතා හොඳින් දැන දැනම, අඩුම වශයෙන්, ආරාධනා පතේ සහ මාධ්‍ය ප්‍රචාරණයේදී මචං පිටපතේ කර්තෘ ලෙස තමාගේ නම සඳහන් වීම වරදක් බව සභාවට කට ඇර කියන්නට තරම්වත් ප්‍රසන්න විතානගේ මැලි වුණේය. ඒ වෙනුවට ඔහු කළේ, ඇපයෙන් බේරෙන්නට රුවන්ති චිකේරා ඔහුට සභාවට කියන්නට යැයි කියූ කරුණු දෙක මෙලෝ එකෙකුට නොතේරෙන විදියට කට යටින් මැතිරීමයි. ‛ඉතිහාසයේ වු වැරදි’ නිවැරදි කරගන්නට අද පරපුර කළ යුත්තේ මොනවාදැයි බර සාර වචන වලින් දොඩවන උපුල් සර්, තවත් රචකයෙකුගේ බුද්ධිමය දේපළ හිමිකම පිළිබඳ මේ සා බරපතල අර්බුදයක් තමා විසින් ප්‍රකාශයට පත් කරන්නට හැදූ කෘතියක් හරහා පැන නැගි බව දැන දැනත්, ඒ රචකයාට චණ්ඩි පාට් දැමීම හැර, නිහතමානිව තම කණගාටුව පළ කිරීමට සූදානම් වූයේ නැත.

මේ අප සමාජයේ, අප ගුරුතන්හි ලා සලකන චරිතවල හැසිරීමයි.

මේ ආරාධනා පත දුටු, පත්තරවල ගිය ලිපි කියවූ, කිසිවෙකුට මේ බරපතල වැරදි ඇස ගැටුණේ නැද්ද? අඩුම වශයෙන් ඒ උළෙලේ සභාව අමතා කතා කළ අශෝක හඳගමටවත් මේ වැරදි පෙනුණේ නැතිද? නැතිනම්, ‛‛අනේ අපේ මොකෝ’’ න්‍යායෙන් කට පියාගෙන උපුල්වත් ෂේප් කරගෙන ප්‍රසන්නවත් ෂේප් කරගෙන වැඩේ තල්ලු කරගෙන යන පිළිවෙත වඩා හොඳයැයි ඔහුත් හිතුවාද?

අප යුද්ධයට, මිලිටරිකරණයට විරුද්ධ වෙනවා සේම, නිර්මාණ මංකොල්ලයටත් විරුද්ධ විය යුතුයි. රාජ්‍යයේ වංචා දූෂණ ගැන හඬනගනවා සේම අපේ නිර්මාණකරුවන් අතින් සිදුවෙන වංචාවන් ගැනද කතා කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි සංකල්ප වෙනුවෙන් පෙනී සිටින අප, පාරදෘශ්‍යභාවය, අනෙකාගේ බුද්ධිමය දේපළ හිමිකම ආරක්ෂා කිරීම යන ගුණාංග රැක ගත යුතුයි. එසේ නොවන්නේ නම්, අපේ සමාජය බෙදිය හැක්කේ මහා හොරු, සහ චූල හොරු කියන කණ්ඩායම් දෙකකට පමණකි.

අපේ සමාජය මේ සා ගඳ ගහන මඩ ගොහොරුවක් වී ඇත්තේ ඇයිදැයි අප ඉතිං කුමට පුදුම වෙමුද?

එබැවින් මෙහි, වැදගත් යැයි අපි පුදන අයත් හොරු සමග හෙළුවෙනි.

අරුන් වික්‍රම