සිංහල, Colombo, Democracy, Education, Governance, Health, Human Security, Life quips, Media

‛‛විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් ගොඩනගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා’’

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ නැගී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා වෙත ලිපියයක් යොමුකරමින් එහි විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලය පවසා සිටී.

එහි කාලීන වැදගත්කම සලකා එම සම්පූර්ණ ලිපිය මෙසේ පළකරමු.

ආචාර්ය මණ්ඩලය,
විද්‍යාපීඨය,
කැලණිය විශ්වවිද්‍යාලය.

2011-07-04

උපකුලපතිතුමා,
කැලණිය විශ්වවිද්‍යාලය,
කැලණිය.

මහත්මයාණෙනි,

කැලණිය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය අභියෝගයට ලක්වීම

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය 1967 දී ස්ථාපනය කරනු ලැබ මේ දක්වා කීර්තිමත් විද්‍යාඥයන් රැසක් ලොවට බිහි කරමින් විද්‍යා දැනුම බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ජාතිකවත් ජාත්‍යන්තරවත් පිලිගැනීමට ලක්ව ඇති බව අප හොඳින් දන්නා කරුණකි. මෙම පීඨයෙහි සියළු පර්යේෂකයන් විසින් සිය පර්යේෂණවල ප්‍රතිඵල පර්යේෂණ පත්‍රිකා හෝ දාර්ශණික සම්මන්ත්‍රණ වැනි පිලිගත් ක්‍රමවේදයන්ට අනුව යමින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර එම ප්‍රතිඵල නොයෙකුත් ශ්‍රාස්ත්‍රීය සංවාද තුල ඇගයීමකට ලක්වන බවද නොරහසකි.

කෙසේ වුවද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ නැගී ඇත.

මෙම පර්යේෂණ දේව මණ්ඩලයක මගපෙන්වීම මත පදනම් වී ඇති බව ඉහත පර්යේෂක කණ්ඩායම විසින්ම විවිධ මාධ්‍ය මගින් වරින් වර ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එමෙන්ම දැනට භාවිතා කරනු ලබන පිළිගත් විද්‍යාත්මක මූලධර්ම අභියෝගයට ලක් කරමින් එම පර්යේෂකයන්ගේ ප්‍රධානියා වන කැලණිය විශ්වවිද්‍යාලයේ වත්මන් විද්‍යාපීඨාධිපතිීුමා විසින් මාධ්‍ය දැනුවත් කර ඇත. මෙම ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග තුලින් පොදු මහජනතාව තුලත් විද්‍යාත්මක ක්‍ෂෙත්‍රය තුලත් කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි, විශේෂයෙන් විද්‍යාපීඨය කෙරෙහි ඉතාමත් අයහපත් මතයක් ගොඩ නැගෙමින් පවතින බව ද දැනට ඉගෙනුම ලබන ඇතැම් ශිෂ්‍යයන් තුලද ව්‍යාකූල තත්වයක් හටගෙන ඇති බවද පෙනේ. මෙම තත්වය, විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩ නගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා පමණක් නොව අප පීඨයෙන් ඉදිරියේ දී බිහිවන විද්‍යාර්ථීන් ගේ ගෞරවය සහ සමාජ පිලිගැනීම ද අනතුරට ලක්කරන්නකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ආචාර්යවරුන්ගේ බහුතරය වන අපි බොහෝ දෙනෙක් මෙම පර්යේෂණවල ක්‍රමවේදයන් දැනගත්තේ මාධ්‍ය තුලින්ම පමණක් බව දන්වා සිටින අතර අපගේ ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු පිලිගත් විද්‍යාත්මක මූලධර්ම මත පමණක් සිදුකෙරෙන බව ඔබතුමාට අවධාරණයෙන් දන්වා සිටින අතර, කැලණිය විශ්වවිද්‍යාලයේත් එහි විද්‍යාපීඨයේත් ගෞරවය ආරක්ෂා කිරීම සඳහා නොපමාව මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී,
විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලය-කැලණිය විශ්වවිද්‍යාලය.