සිංහල, Colombo, Health, Human Security, Life quips, Media

‛ආසනික්’ පිටිපස්සෙ තියෙන්නේ දේශපාලනයක් – ගාමිණී වියන්ගොඩ

නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් උතුරු මැද පළාතේ ජලයේ ආසනික් තියෙනවා කියලා ගෙනාපු ප්‍රවාදය විද්‍යාත්මකව ඉක්මණින්ම විසඳෙන්න පුළුවන්. නමුත් මේක මම දකින්නෙ ආසනික් ප්‍රශ්නයක් විදිහට විතරක් නෙමෙයි. මේක පිටිපස්සෙ තියෙනවා වෙන දේශපාලනයක්. ඒ දේශපාලනේ කරලියට එන්නෙ නාථ දෙවියො හරහා. දැන් නලීන් ද සිල්වා ඇතුළු පිරිස කියන විදිහට මේක විද්‍යාත්මක පර්යේෂණයකට වඩා නාථ දෙවියන්ගේ මග පෙන්වීම යටතේ කරපු පර්යේෂණයක්. මොකක්ද මේ ඇතුළෙ තියෙන දේශපාලනය? ඇයි මේ අය නාථ දෙවියො සම්බන්ධ කරගන්නෙ? මේක අපේ රටේ කාලයක් තිස්සෙ තිබුණු දෙයක්. මේ රට සිංහල බෞද්ධ රටක් කියලා පසු ගිය අවුරුදු 20ක 30ක කාලය තුළ මේ අය ‛ජාතික චින්තය’ තුළින් ගොඩනැඟුවා. එමගින් මේ රටේ අයිතිය තියෙන්නෙ සිංහල බෞද්ධයින්ට පමණක් බවත් අනිත් ජාතීන් ජීවත් විය යුත්තේ ඒ සිංහල බෞද්ධයින්ගෙ කැමැත්ත පරිදි බවටත් මතයක් මේ පිරිස ගෙනාවා. මෙහිදි තමන්ගෙ මතය තහවුරු කරන්න බුද්ධාගම පාවිච්චි කළා. උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉන්න අවස්ථාවේ දී දේශනා කළාය කියන එක්තරා කාරණයක් පෙන්වා දිය හැකියි. එය තමයි අවුරුදු 5000ක් යනතෙක් බුද්ධාගම පවතින එකම රට ලංකාවයි කියන එක. දැන් අවුරුදු 2600 ක් ගෙවිලා තියෙනවා, තව අවුරුදු 2400 ක් තියෙනවා. බෞද්ධයින් වෙනුවෙන් එම අවුරුදු 2400 තුළ ලංකාව ආරක්ෂා කළ යුතුයි යන්න තමයි මොවුන් ගෙන එන තර්කය.

මේ අය කියන විදිහට නාථ දෙවියො කියලා කියන්නෙ අනාගතයේ බුදු වීමට නියමිත මෛත්‍රී බුදු හාමුදුරුවො. නාථ දෙවියන්ව අපේ කර ගැනීම පිටුපස අනාගතයේ මෛත්‍රී බුදු හාමුදුරුවොත් සිංහල කර ගැනීමේ වෑයමක් පේනවා. ‛ජාතික චින්තකයින්’ විස්තර කළ අන්දමට බුදු හාමුදුරුවො ශ්‍රී ලාංකික නොවී ඉන්දියානුවෙකු වීම අපිට තිබුණ ලොකු අඩුවක්. එක පැත්තකින් ඉන්දීය විරෝධයක්, ඒ අතරම අනික් අතට බුද්ධාගම ලෝකයේ උතුම්ම දහම විදිහට අදහනවා. යම් කිසි දවසක මෛත්‍රී බුදුහාමුදුරුවන්ව වත් ලංකාවේ උත්පාදනය කරගන්න අපට පුළුවන් වෙනවා නම් මේ පරස්පරයත් ලිහාගන්න පුළුවන් වෙනවා. අනාගතයේ බුදු හාමුදුරුවො මේ නාථ දෙවියන් නම්, මෙලෙස නාථ දෙවියන්ගෙන් විද්‍යාත්මක දේවල් ලබා ගත්තට පස්සෙ බුද්ධ ධර්මය අපේ සන්තකයට යටත් වෙනවා. එතකොට ඒක ටිබෙට් රටේවත්, නේපාලයේවත්, ඉන්දියාවේවත් තියෙන බුදු දහම නෙමෙයි ඒක සිංහලයන්ගෙ බුදු දහම. ඒ බුදු දහම රැක ගැනීම සඳහා ලංකාව කියන දේශ සීමාව රැකගත යුතුයි. බෞද්ධ නොවන සිංහලයන් නොවන අයගෙන් මේ දේශ සීමාව රැක ගත යුතුයි. මේ පිටුපස තියෙන ‛ජාතික චින්තන’ ප්‍රවාදය මෙයයි. මිනිස්සුන්ව නොමග යවමින්, මිනිස්සුන්ව අනාගතයේ දී ඇති විය හැකි විනාශකාරී යුද්ධ කරා දැන්ම ඉඳන් සකස් කරන සැලැස්මවල් විදිහට මේ දේවල් පේනවා. මේ පිටුපස තියෙන කුමන්ත්‍රණය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි.

ආසනික් වලට එහා ගිය, ඊට වඩා පුළුල් රාමුවක කටයුතු කරන පිරිසක් විසින් ගෙන යන ප්‍රවාදයක් විදිහට ඇත්තටම මිනිසුන්ට පැහැදිලි කළ යුතුයි. මේ රටේ විද්‍යාඥයො පෙරමුණ අරගෙන මේ මිථ්‍යාවන්ගෙ තියෙන බොරුව, නිසරුභාවය විද්‍යාත්මක ක්‍රම මගින් පෙන්වා දිය යුතුයි. අනිත් අතට මේ රටේ දේශපාලඥයො සවිංඥාණික වෙන්න ඕනේ මේ රට යන්න හදන්නෙ කොහාටද කියන එක පිළිබඳව.

අනික් අතට විද්‍යාව කියන එක බටහිරට පෙර තිබ්බෙ පෙරදිග තමයි. චීනයේ, ඊජිප්තුවෙ, ඉන්දියාවෙ විද්‍යාව තිබුණා. ඒක විද්‍යාවෙ ළදරු අවදිය. නමුත් අද විද්‍යාව තියෙන්නෙ බටහිර තමයි. බටහිර විද්‍යාවෙන් තමයි අද අපි පරිහරණය කරන සියළුම දේවල්, නලීන් ද සිල්වා යන වාහනේ පවා, එයා භාවිතා කරන ටෙලිවිෂන් එක, රේඩියෝ එක හදලා තියෙන්නෙ. ජපානයේ, කොරියාවෙ, ඉන්දියාවෙ ඒවා නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ තාක්ෂණය එන්නෙ බටහිරෙන්. බටහිරෙන් වේවා, නැගෙනහිරෙන් වේවා තාක්ෂණය හරිනම්, ඒක මිනිසුන්ට පහසුවක් නම් ප්‍රශ්නය මොකක්ද? වැදගත් වෙන්නෙ මේක සත්‍යක්ද ? අසත්‍යක් ද ? කියන එක පමණයි. බටහිරෙන් පැමිණි විද්‍යාව සත්‍ය නම් එය අපි පිළිගත යුතුයි. අපි කළ යුත්තේ ඒක බටහිරෙන් ආවා කියලා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. මේ අය කියන විදිහට බටහිර වෛද්‍ය විද්‍යාව බොරුවක්, දේශීය ක්‍රමය තමයි හරි. නමුත් මේවා ප්‍රායෝගික කාරණා නෙමෙයි. තමන් වුණත් පිළිපදින්නෙ නැතුව මිනිසුන්ව අන්දන්න කියන දේවල්. මේවා තර්ක කරන්න දේවල් නෙමෙයි. නමුත් බටහිර විද්‍යාව කියන්නෙ කුමන්ත්‍රණයක් කියලා මේවා ඇතුළෙන් මේ අය ගොඩ නගනවා. විද්‍යාව කියන එක මිනිසාට යහතින් ඉන්න පසුබිම සකස් කරලා දෙනවා නම් ඒ විද්‍යාව බටහිර ද නැගෙනහිර ද කියන එක අදාල නැහැ.