Ampara, Featured Articles, Features, Moneragala

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම

ඔකඳ සිට, කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි.

ආරුගම්බේ පාලම මතට සැඳෑ හිරු රැස් පතිත වෙමින් තිබිණි. අප ගමන් ගන්නේ ලංකාවේ තිබෙන අපූර්වතම පාලමක් මතින්, ලංකාවේ තිබෙන සුන්දරම වෙරළ තීරයක් ආසන්නයෙන් පානම දෙසටය.

ආරුගම්මේ නගරය පසු කරන ටික දුරක් ගමන් කරන විට වම් පසින් අපූර්ව වෙල් යායක් දිස්වෙයි. වෙල් යායට එපිටිනි දිස් වන්නේ රාගම්වෙල ප්‍රදේශය යි. මීට ටික කලකට පෙර රාගම්වෙල ගම්වැසියන් එළවා දමා රාජපක්ෂ සන්තකයට ගත් ඉඩම් කට්ටි දුකින් මෙන් බලා සිටිනවා යැයි මට සිතේ. එහි විසූ සියලු මිනිසුන්ට සහ ගැහැණුන්ට අයත් වූයේ තමන්ගේ පාරම්පාරික ඉඩම් හැරදා තම සමීපතමයන්ගේ නිවෙස්වල ලැඟුම් ගන්නට ය. ඒ ලංකාවේ සංවර්ධනයේ සහ සංචාරක කර්මාන්තයේ හැටි ය.

‛‛අන්න පාද යාත්‍රාවේ යන කට්ටියක්..’’ මා සමඟ ගමන් ගත් මිතුරා පැවසීය. කුඩා දරුවන් දෙදෙනෙක්, සහ කහපාට වේට්ටියකින් සැරසී පිරිමි අයෙක් සහ ගැහැණු අයෙක් අප ඉදිරියෙන් කමන් කරයි. ඔවුන් සියලු දෙනා අත හා හිසේ කුමන හෝ බෑගයක් දක්නට විය.

තවත් ටික දුරක් ගමන් ගත් අපට දක්නට ලැබුනේ කුඩා ආරක්(දියපාරක්) අසල ආහාර පිසිමින් සිටන තවත් බැතිමතුන් කණ්ඩායමකි. ඔවුන් සියලු දෙනා ගමන් ගන්නේ පයින්ම කතරගමටය.

ඒ සිංහල මිනිසුන් කතරගම දෙවියන් නමින් ද, දෙමළ මිනිසුන් මුරුගන් දෙවියන් නමින් ද හඳුන්වන කතරගම දෙවියන් වන්දනාමාන කිරීමටය. හිරු රශ්මියෙන් සහ වනය තුළ සිදුවන අනතුරුද නොසලකා මහ වනය මැදින් තමන්ගේ දුක් ගැනවිලි වෙනුවෙන් වූ බාරහාර නිදහස් කර ගැනීමටත්, ඇතැම් අයෙක් දෙවියන් කෙරෙහි ඇති අසීමිත භක්තියත් නිසා කැපවෙමින් මෙම දුෂ්කර ගමනට සහභාගී වෙයි.

ලංකාවේ දිගම පාද යාත්‍රාවේ යෙදෙන මෙම දෙමළ බැතිමතුන් යාපනය, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය වැනි දුර ප්‍රදේශවලින් පැමිණෙයි. මෙම අපූර්ව පාද යාත්‍රාව පටන් ගන්නා එක් ස්ථානයක් වන්නේ යාපනය යි. යාපනයේ සිට ඔකඳට ළගා වීමට අවම වශයෙන් දවස් 35ක් ගත වෙන බව පැවසේ.

පානමට ලගා වූ අප ඉන් හැරී කුමන වනාන්තරයේ ප්‍රධාන පිවිසුම් දොරටුවට ගමන් ගන්නා අතරමඟ විශාල නඩ වශයෙන් ආහාර පිසිමින් සිටින දෙමළ බැතිමතුන් දක්නට විය. පානමින් කිලෝමීටර 16කට ආසන්න ප්‍රමාණයක් ගෙවා ඓතිහාසික දෙවොලක් වන ‛ඔකඳ’ දෙවොලට ළගා වන විට බිම් කලුවර වැටී තිබිණි.

‛‛අද අපි මෙතන නතර වෙනවා’’ වෑන් රියෙන් බසිනවාත් සමඟ මාගේ මිතුරෙකු පැවසීය. නිරුවත් දෙපා පොළවේ ගෑවෙනවාත් සමඟ සිසිලක් දැනුනේ ය. ඒ සෑම තැනම තෙත වැලි නිසා බව පසුව පෙනෙන්නට විය.
ඒ විශාල දෙවොලේ සෑම තැනම ඉටිරෙදි එළා ගනිමින් නින්දට සැරසෙන මිනිසුන්, ගැහැනුන් සහ ළමුන්ය. තවත් තැනක ආඬි ළිදෙන් වතුර ගෙන දාහය නිවාගන්නා පිරිස්ය.

දෙවොලේ ඒ පසෙක මහා විශාල ගල් පර්වතයක් මුදුනේ කුඩා දේවාලයක දැල්වෙන පහනකි.

ඒක පසෙක මුහුදත්, ඝණ කැලෑවත් අනෙක් පසින් ‛ඔකඳ’ දෙවොලත් මනාවට දිස් වූයේ එම මහා ගල් පර්වතය තරණය කලාට පසුවය.

ගෙනා ඉටිරෙද්ද ගල මත එලාගෙන එහි වැතිරගත් විට මුලු අහසම තරු ගොන්නකි. ‛තරු යට රැයක්’ ඉබේටම කියැවිනි. ‛ඔකඳ’ දේවාලය කියන්නේ එක් පසෙකින් ප්‍රේමයට දෙවොලක් ද? මගෙන් ම අසා ගතිමි. ඇත්තටම ‛ඔකඳ කියන්නේ වල්ලි අම්මා යි, කතරගම දෙවියොයි හමු උන තැන’ එක් ජනශෘතියක මා කියවා ඇති බව සිහි විය. ඒ නිසා ඒ දෙවොලට ‛ප්‍රේමයේ දෙවොල’ කීවාත් වැරදි නැතැයි මට සිතිනි.

පසුදා පාන්දර අවදි වූයේ විසල් ගල මත පිහිටි කුඩා දෙවොලට පැමිණෙන බැතිමතුන්ගේ යාතිකා හඬිනි. සියලු දෑ අසුරා ගනිමින් ඔකඳ දෙවොල දෙසට ගමන් ගත්තේ උදෑසනම ගමන පටන්ගතහොත් විඩාවක් නැතැයි පෙර දින අපව දැනුවත් කල වයසක මිනිසෙකු කී කතාවක් මතක් වීමෙනි. දෙවොල සෑම තැනම උදෑසන ස්නානය කර පිරිසිදු වී අලංකාර ඇඳුම්වලින් සැරසී ගත් ළමුන් ය. කාන්තාවන් ලහි ලහියේ තම බඩු පොදි එක් රැස් කරයි. බෙහෝ බැතිමතුන් පාද යාත්‍රාවේ බයංකරම සහ දුෂ්කරම ගමනට පිහිට පතා ඔකඳ දෙවොලෙහි පූජා පවත්වති. ඔකඳ දෙවොලෙහි ඝාංඪාර නාදයත්, සුවඳ දුම් පහසත් මැදින් සුලු වේලාවකින් ‛කුමන’ අභය භූමියේ පිවිසුම් දොරටුවට ලඟා විය. මෙතැන සිට මෙම දුෂ්කර ගමන වැටී තිබෙන්නේ කුමන හා යාල අභය භූමි හරහාය. මුලු දුර අවම වශයෙන් කිලෝමීටර 105කි.

කුමන පිවිසුම් දොරටුව ළග පොලීසියේ සහ වනජීවි නිළධාරීන් කිහිප දෙනෙකු ගමන් මලු පරීක්ෂා කරයි. ඔක්කොම සිංහල ද මාත් සමඟ ගිය අයගෙන් විමසීය.

‛‛මම සිංහල’’ මම පැවසීමි.

‛‛ආ මේ නොම්මරේ ගන්න’’ 644 අංකය ලියා ඇති කුඩා කාඩ්බෝඩ් කැබැල්ලක් මා අත තබමින් එහි නිළධාරියෙක් පැවසීය.

කී දෙනෙක් විතර මෙතනින් අද ගියා ද? මා ඇසූවෙමි

ඔයත් එක්ක 644යි . ඔහු පැවසීය.

‛‛පාර වැරදෙන්නේ නෑ නේද…’’ මෙවැනි දුෂ්කර ගමනක් යන පළමු අවස්ථාව වන බැවින් මම විමසීමි.
‛‛නෑ නෑ දිගටම පාර තියනවා’’ ඔහු පැවසීය

‛‛පොලිතීන් තියෙනවා ද’’ පිවිසුම් දොරටුව පසු කරනවාත් සමඟම ගසක් මුල සිටි අයෙක් කීවේ නොඇසෙන තරමේ ශබ්දයකිනි. ‛‛පොලිතින් බෑග් එහෙම තියනවා නම් ඒවා මෙතන තියලා මේ බෑග් අරගෙන යන්න.’’ ඔහු කීවේ අප දෙසට රෙදිවලින් මැසූ බෑගයක් දිගු කරමිනි. (මෙය මෙයිට වඩා විදිමත්ව පැවසීමත්, අවබෝධ කර දීමත් වඩා වැදගතක් යැයි මට පසක් වූයේ දින දෙකක් ඉක්ම ගිය විට හාත් පස පොලිතීන් සහ නොදිරන දේවල් වලින් අපවිත්‍ර කර තිබූ ඒ සුන්දර වන පියස දැකීමෙන්ය.)

කුමන කියන්නේ ලංකාවේ කුරුල්ලන්ගේ පාරාදිස ය. එක් කලකට සංචාරක කුරුල්ලංගෙන් පිරී යයි. උදෑසන 6.30 පසුවී ඇතත් තවමත් කුරුල්ලන් තුරුලතා මුදුනේ ගී ගයමින් සිටී. කටුක බවින් පිරි පාරේ එක් පසෙක යාන්තමින් සිදී ගිය වැවකි.

විටෙක මහා රූස්ස ගස් ය. තවත් විටෙක කටු පඳුරු ය. අප ගමන් ගත් නඩය හැර කිසිවෙක් නැත. ඇත්තේ විටෙක ඇසෙන කුරුල්ලන්ගේ හඬ පමණය. ලංකාවේ ප්‍රසිද්ධ සහ පාරිසරික වශයෙන් වැදගත් අභය භූමි දෙකක් හරහා අප මාර්ගය වැටී ඇත. එකක් අප ගමන් ගන්නා කුමණ ය. අනෙක යාල ය. මේ අභය භූමි දෙකම රක්ෂිතය. ඇතැම් කලාපවල සංචාරය කිරීම තහනම්ය. බොහා් කලාපවල පයින් ගමන් කිරීම සපුරා තහනම්ය. ඒ තහනම් සීමා මෙම කඳසුරිදු වන්දනාව හෙවත් පාද යාත්‍රාවට බලපාන්නේ නැත. එය කොතරම් අපූරු අත්දැකීම්ක්දැයි මට සිතුනේ මහා පලු ගසක ඉදුනු ගෙඩි රස බලන විට දීය. පලු සහ වීර මේ දුෂ්කර මාර්ගයේ දෙපස ඕනෑ තරම්ය.

තවමත් හිරු මුදුන් වී නැතිමුත් දහවල මෙන් දැඩි රස්නයක් ඇඟට දැනෙයි. එක විට විශාල වංගුවක් සමඟ මගේ පය නැවතිනි. ‛‛යෝධ ලිප’’ යනුවෙන් මහා ගල් පර්වත තුනක සලකුනු කර ඇති ඉතාමත් පැරණි යැයි සිතිය හැකි විසල් ගල් තුනකි. එතැනින් නික්මුනු අපගේ සිත සසල වූයේ තවමත් උනූසුම ඇති අලියෙකුගේ ‛බෙටි’ දැකීමෙනි. මහා රූස්ස වනය තුළින් කොයි මොහොතේ හෝ අලියෙකු මුණ ගැසේවී යැයි සිතේ අතිවුනු බියෙන් සහ ඒ බිය තුළම වූ අලියෙකු දැකගැනීමට ලැබෙන ප්‍රිතියෙන් ඉදිරියට ගියේ ය.

ඒ බිය තුනී වූයේ පාරවල් කපන යන්ත්‍රයක් එක විටම විශාල වංගුවකින් මතු වීමත් සමගය. ‛‛පාද යාත්‍රාවට තමයි මේ පාර ටිකක් හැදුවේ හැබැයි වැස්සට යන්න බෑ වතුර පිරනෙවා’’ එහි රියදුරු මා සමඟ පැවසූයේ ඉවෙන් මෙන් මා සිංහල යැයි සිතා විය හැකි බව ඔහුගේ වචන තුළ ගැබි වී තිබිණි.

එක විටම අපට ලංවූයේ වතුර ස්වල්ප ප්‍රමාණයක් ඉතිරි වූ සිදී ගිය සේයාවක් පමණක් ඇති වැවකි. දැන් අප පැය 2කකට වඩා මහා වනය මැදින් අපි ගමන් කර ඇත්තෙමු. හිරු රශ්මිය එන්න එන්නම වැඩි වී ඇත. අප ගෙනා වතුර සීමිත බැවින් වතුර උගුරක් පමණක් බී පිපාසය සංසිදුවා ගත්තේ කිසිදු හෙවනක් නැති වැව මතින් යෑමට තිබෙන නිසා ය. විනාඩි 15කින් පමණ හිරු රැස් යටින් වැව් තාවුල්ල තරණය කළ අපට එක විට හමු වූයේ දිය පිරුනු ආරකි. අප මාර්ගය වැටී තිබුණේ එම ආර මතින් බව අප දැන ගත්තේ එයට පෙර ගමන් කල අයගේ අඩි සළකුණු මතිනි. එම ආරේ දෙපා පොගවා ගත් අප නැවතත් කැලයට පිවිසුනේ එවැනි ම වූ එයට වඩා විශාල පිටියකටය. එහි කිසිදු හෙවනක් නැත. එහි හිරු රුස් කොපමණ සැරට පවතී ද යත් ඈතින් මිරිඟුවක් ද දිස් විය. කෙලින්ම හිරු රැස් පතිත වන්නේ හිස මතය.

එම පිටිය මතින් අලුතින් සකස් කර ඇති පාරකි. එහි පටන් ගැන්මේම ගසක ‛‛අන්දරකළ කලපුව’’ නමින් පුවරුවක් සඳහන් ව ඇත. අයට එපිටිනි මහ මුහුදේ ශබ්දය ඇසුනෙන් ඊට යාබදව ඇත්තේ මහ මුහුද බව වටහා ගතිමි.

‛‛දැන් ඉතින් යමු..’’ මාත් සමඟ ගිය මිතුරා කීවේ හොඳ හුස්මක් ගනිමිනි. අවාට වඩා වේගයෙන් අප ගමන් ගත්තේ ඉසිලිය නොහැකි හිරු රස්නය නිසා ය. එහි මදකට හෝ සහනය ඇත්තේ විටින් විට හමන වියලි සුළඟ නිසා ය. විනාඩි 15කින් පමණ අප පලු ගසක් මුල වැතිර ගත්තේ ඉසිලිය නොහැකි දාහඩියත්, මහන්සියත් සමඟය.

ටික වේලාවක් එහි සිටි අප නැවතත් ගමන් ආරම්භ කලේ යම් පමණක සෙවන දෙන රූස්ස ගස්වල පිහිටෙන් ය. එක විටම මුව රංචුවක් අපගේ අඩි සද්දයට බියේ පළා ගියේ ය. ඒ අතර සිටි විශාල ඌරෙක් අප දෙස ටික වේලාවක් බලා සිට වනය තුළට දිව ගියේ මර බියකිනි දැයි මට සිතිනි. තැන තැන මොනර පිහාටුය. ‛ළඟම මොනරුන් ඉන්න ඕන’ මිතුරා කීවේය.

එසේ කියනවාත් සමගම මොනරුන් තිදෙනෙකු කැළය දෙසට දිවුවේ අපගේ විඩාවත් සංසිදුවමින් වුවත් එයට වඩා වේගයෙන් අතුරිකිලි බිඳිමින් කැලය තුලින් ශබ්දයක් මතුවිය. එක වරම අපට සිහිවුයේ අලියා ය. තිගැස්සී එහිම නතර වුනු අපිට පෙනුනේ විශාල කුලු මීමෙකු දිව යන අන්දමයි. ‛‛කැලේ ඇතුලෙදී කුලු මීමාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන’’ වරෙක මගේ මිතුරෙක් කීවේ නක්ලස් කඳු වැටිය තරණය කරන අතර තුරය.

බොහෝ වනාන්තරවල කුළු හරකුන් ටිකක් ප්‍රචණ්ඩය. උන් ප්‍රචණ්ඩ වෙන්නේ තමන්ට අනතුරක් යැයි සිතා ගැනීමෙන් බව පර්ෙ‍ය්ෂකයින් පෙන්වා දී ඇත.

‛‛මෙතන තමයි ඇතැම් බැතිමතුන්ගේ පළමු නවාතැන්පළ. ඒ බාගුර කළපුවයි’’ පැය 3කට ආසන්න කාලයක් ගමන් කරමින් නැවතුනු එක් ස්ථානයක මගේ මිතුරා කීවේ ය. පෙර දින රාත්‍රීයේ විශාල පිරිසක් එහි ගත කර ඇති බවට සාක්ෂි ලෙස අවිලූ ගිණි ගොඩවල් තවමත් දුම් දමමින් ඇත. ඒක තැනක පැරණි කුඩා ඝනදෙවි දෙවොලක නටඹුන්ය. අනෙක් පස ගරා වැටුනු ලිඳක් සහ ගරා වැටුනු වැසිකිලි දෙකකි. මෙයින් කියා පාන්නේද වසර ගණනාවක් කඳ සුරිදු වන්දනාව මෙම දෙමළ වැසියන් සිදු කරමින් සිටි බව ය.

එයින් මඳක් ඔබ්බෙන් වූ පලු ගසක් මුල කුසගිනි නිවා ගත්තේ වෙනදාට එවන් ප්‍රනීත රසයක් නොදැනෙන රොටියක් කුසට දමා ගනිමින් ය. ‛‛අව්ව වැටෙන්න ඉස්සෙල්ලා අපි යා ගන්න ඕන’’ ‛‛අපගේ පළමු නවාතැන් පොල වන කුඹුක්කන් ඔයට’’ තව සෑහෙන දුර තියනවා.’’ නැවතත් ගමන ආරම්භ කරමින් ඔහු කීවේ ය.
ටික වේලාවකින් මා ඉදිරියෙන් ගමන් ගත් මිතුරා නතර වී ශබ්ද නොකරන ලෙස අතින් සංඥා කිරීමෙන් ඇති වූ තිගැස්මෙන් එකම තැන මාත් නතර විය. ‛‛දිවියා’’ අපගේ ශබ්දයට හෙමින් සීරුවේ කැළය දෙසට ඇදෙන දුර්ළබ ගණයේ ‛‛දිවියා’’ දැක ගැනීමට අපට හැකිවිය. ටික වේලාවක් නිශ්ශබ්දව එදෙස බලා සිටි අප නැවත ගමන් ආරම්භ කලේ දැඩි විමසිලිමත් බවකිනි. ඒ දිවියා අපට ඉගැන් වූ පළමු පාඩම නිසාවෙනි. ‛‛මේ නිසා තමයි මේ කැලේ පයින් යන්න එපා කියන්නේ’’ ඒ අතර මට සිතිනි. ඒත් මහ කැලය මැදින් ගමන් කරන විට බිය සමඟ කුමක්දෝ ශක්තියක් ලැබෙනවා යැයි මට සිතිනි.

………………………………………………….ඉතිරි කොටස ලබන සතියට…..

සටහන සහ ඡායාරූප – සම්පත් සමරකෝන්
[email protected]