සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam, Stories from the silent

මානව හිමිකම් ක්‍රියාකාරී රාසික්ගේ මළසිරුර සොයා ගනී. පුත්තලමේදී සිදුකළ අවසන් කටයුතු උණූසුම් වෙයි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම අවසන් කටයුතු සිදුකළ ඊයේ දිනයේදී පුත්තලම ප්‍රදේශයේ සියලු වෙළදසැල් වසා දමා කලු කොඩි ඔසවා තිබූ අතර ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඒ පිටුපස සිටින දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන ලෙසත් එම ජනතාව ඉල්ලා සිටියේ ය.

2010 පෙබරවාරි 11 වනදා අතුරුදහන් කිරීමෙන් පසු ඔහුව ඝාතනය කර වාලච්චේනෙයි ප්‍රදේශයේ වළදමා තිබියදී පසුගිය 29 වනදා ඔහුගේ සිරුර සොයා ගත්තේ ය.

කෙසේ නමුත් මෙම අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ වාර්තා ප්‍රසිද්ධ වූ නමුත් ලංකාවේ සිදුවන සෑම අතුරුදහන් කිරීමක්ම අවසන් වන්නේ වන එක්කෝ ඝාතනය කර සිරුර හමුවීමෙන්, එසේත් නැතිනම් ඔහු සදාකල්ම අතුරුදහන් වී ඇත යන්න සටහන් වීමෙනි. නමුත් මෙය සටහන් වන්නේ පසුගිය කාලය පුරාම සිදුවූවාක් මෙන් අතුරුදහන් කර ඝාතනය කළ ඛේදනීය තවත් අවස්ථාවක් ලෙස ය.

මාස 19කට ආසන්න කාලයක් ගත වුවත්, ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරීකයෙකු වූ රාසික් මහතා ඝාතනය කරන තෙක් ඔහුව සොයා ගැනීමට ලංකාවේ ආරක්ෂක අංශ සමත් වූයේ නැත. අවසානයේ ඔහුගේ පවුලට මෙන්ම සමීපතමයන්ට හමුවූයේ ඝාතනය කර වළදාමා තිබු සිරුර පමණය.

නමුත් මේ විට මෙම අතුරුදහන් කිරීම සහ ඝාතනය පිළිබදව දේශපාලකයන් මෙන්ම දේශපාලකයන්ගේ බැලමෙහෙවර කරන පිරිස් සම්බ්න්ධ බවට විවිධ ආරංචි මාර්ග පැතිර යමින් පවතී.

නමුත් පසුගිය කාලයේ සිදුකල සෑම ඝාතනයකටම වරදකරුවන් කිසිවෙක් නීතිය හමුවට පැමිණ වීමට ආරක්ෂක අංශවලට හා බළධාරීන්ට නොහැකි තත්වයක් තුළ මෙම ඝාතනයත් සිදූ වී ඇත.