සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ජන ජීවිතය අඩාල කිරීම තුළින් මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?

කොළඹ නගරය මුළු ලෝකයෙන්ම ආකර්ශනීය නගරයක් කරන බවට සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා කියා සිටිනවා. අනික් අතට කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා සජිත් ප්‍රේමදාස කියා සිටිනවා. මේ දෙගොල්ලම ලස්සන නගරයක් බිහිකරන්න උත්සාහ කරනවා. එක්සත් ජතික පක්ෂය ‛යළි පුබදමු ශ්‍රී ලංකාව’ වැඩසටහන ගෙනාවා. එක්සත් ජාතික පක්ෂය ගෙනාපු ඒ සැලසුම තමයි මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක කරන්නෙ. මහින්ද රාජපක්ෂ ගිහින් යූ.එන්.පී එක ආවත් මේ සැලසුම් වෙනස් වෙයි කියලා හිතනවා නම් ඒක බොරුවක්.

මේ වන විට කොළඹ අළුතින් දූපතක් නිර්මාණය වෙමින් තියෙනවා. මේ නිර්මාණය කරන දූපත චීන සමාගමකට පවරලා අවසන්. ඒ වගේම ගාලු මෝදර තිබෙන්නාවූ ඉඩමෙන් අක්කර 10ක් ඩොලර් මිලියන 700ට තවත් චීන සමාගමකටත්, කොළඹ තවත් අක්කර 10 ක් ඩොලර් මිලියන 135ට තවත් චීන සමාගමකටත් පවරලා තියෙනවා.

කොළඹ ඡන්දයට තරඟ වදින මිලින්ද මොරගොඩ විසින් අවුරුදු 03 ක් ඇතුළත කොළඹ ගෙවල් තිස්පන්දහසක් හදනවා කියලා කියනවා. මේ හදන්නට බලාපොරොත්තු වෙන්නාවූ ගෙවල් කා සඳහාද? කොළඹ ප්‍රදේශයේ වතු 1614 ක් තියෙනවා. මේ කියන්නේ මුඩුක්කු ගෙවල්. සංඛ්‍යා ලේඛන අනුව පවුල් 75000ක් නැතිනම් ගෙවල් 75000ක් තිබෙනවා. මේ වතු වල ජීවත් වන එක නිවසක පවුල් තුනක් හෝ හතරක් සිටිනවා. ඉහත සංඛ්‍යා ලේඛන වලට එක ගෙයක් තුළ සිටින පවුල් සියල්ලම ගණන් අරගෙන නැහැ. එක ගෙයක් එක පවුලක් ලෙස තමයි ගණන් කර තිබෙන්නෙ. ඉතින් එක ගෙදරක ජීවත් වන පවුල් කිහිපයකට එක ගෙයක් දුන්නොත් ඒ ගේ දෙන්නේ කුමන පවුලටද කියලා ප්‍රශ්නයක් එනවා. ගේ ඇතුළෙන්ම දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා ඉවරයි. පවුල් සියල්ලම නිවස තමන් සතු කර ගැනීමට එකිනෙකා අතර ආරවුල් ඇතිකරගන්නවා.

ඒ වගේම කොළඹ නගරයෙන්ම පිටත් කරන්නා වූ පවුල් පදිංචි කරන්නේ කොහේද කියලා ඔවුන් අපට කියන්නේ නැහැ. ගෙවල් දෙනවා කියනවා මිසක් වෙනත් යටිතල පහසුකම් පිළිබඳව කිසිවක් කියන්නේ නැහැ. ළමුන් සඳහා දෙන පාසැල් පිළබඳ කිසිවක් කියන්නේ නැහැ. මේ ජනතාව යම් ප්‍රදේශයක පදිංචි කළ විට එම ප්‍රදේශයේ සිටි ජනතාව අතර අනිවාර්යයෙන්ම ඝට්ටනයන් ඇති වීමට නියමිතයි. ඒ පිළිබඳව කුමක් කරනවාද යන්න පිළිබඳ කිසිවක් සඳහන් වන්නේ නැහැ. කොළඹ නගරයේ සංවර්ධනය නාමයෙන් කරන්නා වූ විනාශය තුළින් විපතට පත්වන්නා වූ ජනතාව, ඊළඟට ඔවුන්ට කුමක්ද වෙන්න යන්නෙ පිළිබඳව කිසිම තේරුමක් නැහැ. ඔවුන්ව හමුවෙන්න යන අය පවා ඔවුන්ට කිසිවක් කියන්නේ නැහැ.

නිවසක් කියලා කියන්නේ ගඩොල් හෝ සිමෙන්ති හෝ ටකරං නෙමෙයි. නිවසක් කියලා කියන්නෙ ජන ජීවිතය. ජන ජීවිතය අඩාල කිරීම තුළින් මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද? සියයට අසූවක් දුප්පතුන් ජීවත් වන මේ රටේ, සියයට පනහකටත් වඩා දුප්පතුන් ජීවත් වන මේ කොළඹ ප්‍රදේශයේ සංවර්ධනය සිදුවිය යුත්තේ දුප්පතුන් වෙනුවෙන් පමණයි. නමුත් මේ සංවර්ධනය සිදුවන්නේ ඉතාමත් අතලොස්සක් වෙනුවෙන්. සංවර්ධනය අයිති වන්නේ දුප්පතුන්ට නම් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ දුප්පතුන් සමග. නමුත් කිසිම තැනක දුප්පතුන් සමග සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කර නැහැ. ඒ වෙනුවට දුප්පතුන්ට කොළඹින් පිටත් වෙන ලෙස කියා සිටීම පමණයි සිදු කරන්නේ.

කොළඹ, වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාවට කිව්වා, ඔබ මේ ප්‍රදේශයෙන් යන්න, ඔබට අපි රුපියල් අනූදාහක් දෙනවා කියලා. එතනට ආපු ඇමතිතුමා ආවෙ පාතාලෙ පිරිසක් සමග නිසා, මෙම ජනතාවට රුපියල් අනූදාහ භාරගන්න සිදු වුණා. ඔබ සල්ලි භාරගත්තෙ නැත්නම් අපි ඔබව පලවා හරිනවා කියලා මේ පාතාල පිරිස ජනතාවට කිව්වා. මාව හමුවෙන්න ආපු පවුලක් මට කියනවා මේ පිළිබඳව නඩුවක් දාන්න කියලා. එවිට මම කිව්වා මම තනියෙන් නඩු දාලා හරියන්නෙ නැහැ. සියළු දෙනා එකතු වෙලා නඩුවක් දාමු කියලා. නමුත් ඔවුන්ට ප්‍රදේශයෙන් ඉවත් වීමට දෙන රුපියල් අනූදාහට අමතරව, දුමින්ද සිල්වා ඇමතිතුමාගෙන් තවත් රුපියල් තිස්දාහක් හම්බ වෙලා තියෙනවා. ඔවුන් දුමින්ද සිල්වාගේ පාක්ෂිකයෙක් වීම නිසා මේ අමතර මුදල හම්බ වෙලා තියෙනවා. එබැවින් ඔවුන්ට නඩු දමන්න එන්න බැරි බවත් හැකිනම් නඩුවක් දමා තමන්ගේ නිවාස පිළිබඳ අයිතිය ලබා දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා.

කොළඹ අවට ප්‍රදේශයේ වැඩිපුර ජීවත් වෙන්නෙ දෙමළ ප්‍රජාව. පැල්පත් වාසීන් වැඩිපුර ඉන්නෙ දෙමළ ජනතාව. එක් පැත්තකින් දෙමළ ප්‍රජාව කොළඹින් වෙනත් ප්‍රදේශයකට විතැන් කිරීමේ උත්සාහයක් මේ වැඩසටහනේ තියෙනවා. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් බිඳදමන්නා වූ ක්‍රියාවලියක් ලෙස ද මෙය හැඳින්විය හැකියි.

මේ ජනතාව කොළඹින් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා අපි රවී කරුණානායක මන්ත්‍රීතුමාට කතා කළා. එතුමා එනවා කියලා නමුත් ආවේ නැහැ. නැවත වතාවක් කතා කළා. එවිට ‛ඔහොම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ, බයවෙන්න එපා’ කියලා හිනාවුනා. කොළඹ නගරය තුළ ඡන්දය පවත්වන්නේ නැහැ කියලා කියපු කාල වකවානුව තුළ විපක්ෂය විසින් ඒ තීරණයට එරෙහිව සියළු දෙනාගෙන්ම අත්සන් එකතු කරන්න උත්සාහ දැරුවා. ඒ අත්සන් එකතුකරන කොට ජනතාවට කියා සිටියේ මේ නිවසින් ඔබව ඉවත් කිරීමට විරුද්ධව පෙත්සමක් අත්සන් කරනවා කියලා. නමුත් ඇත්තටම අත්සන ලබාගත්තේ ඡන්දය පවත්වන ලෙස බල කිරීම සඳහා. ජනතාව මුලාකරමින් කරන්න බලාපොරොත්තු වන්නා වූ සංවර්ධනය සහ සංවර්ධනය නාමයෙන් තමන්ගේ දේශපාලනය කරන්නා වූ පක්ෂ දෙකකට මැදිවෙලා අපි ඉන්නවා.

මාරිමුත්තු සත්‍යවේල් පියතුමා