Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු විශේෂිත අයිතමයක් මෙවර සැසිවාරයේ න්‍යාය පත්‍රයෙහි අන්තර්ගතව තිබුනේ නැත. එජා මහලේකම් බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ සිය උපදේශක වාර්තාව සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර වශයෙන් සැළකිය හැකි වාර්තාවක් ද මෙවර කවුන්සිලයට නිල වශයෙන් එවීමට නියමිත බව සතියකට පෙර දැන ගන්නට තිබුණි. එසේ නමුත් එම වාර්තාව සැසි වාරයේ දී සාකච්ජාවට ගැනීමට කාලයක් හෝ විධි ක්‍රමයක් සැකසී තිබුනේ නැත.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහිදී සිදු වූ බවට කියැවෙන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රටවල් බොහොමයක් කල්පනා කරන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමට (එල්එල්ආර්සී) අවස්ථාවක් දීම අත්‍යාවශ්‍ය බවයි. එබැවින් එම කොමිසමේ අවසන් වාර්තාව නොවැම්බර් මාසයේ දී එළි දැක්වෙනු ඇතැයි ද එමගින් අවම වශයෙන් දැනට මතුවී ඇති මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ කරුණු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයන් යෝජනා කැරෙනු ඇතැයි ද එම රටවල් අපේක්ෂා කරති.

එම තත්ත්වය යටතේ මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු තීරණාත්මක සාකච්ඡාවකට පසුබිමක් හෝ සූදානමක් මානව හිමිකම් කවුන්සිලයේ තිබුණේ නැත. එසේ තිබියදීත් ජිනීවා හි තීරණාත්මක ඉදිරි සති කිහිපය පිළිබඳ ප්‍රචාරාත්මක ව්‍යාපාරයේ යටි අරමුණ වන්නට ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි සියළු ප්‍රයත්නයක් උපන්ගෙයි ම පරාජය කළ බවට උදම් ඇනීම සඳහා පසුබිම සකස් කිරීම බව අනුමාන කළ හැකිය.

ඒ කෙසේ වෙතත් ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය තුළ සිය මතය තහවුරු කිරීමට අමාත්‍ය සමරසිංහගේ ප්‍රධනත්වයෙන් පැමිණි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමත් වු බව පෙනෙන්නට තිබේ. කවුන්සිලයේ සැසිවාරය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධයේ දෙපාර්ශවය විසින්ම කරන ලදැයි කියැවෙන යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව තීරණාත්මක විරෝධයක් දක්වයි. එනමුත් එම කරුණූ සාකච්ඡාවට ගැනෙන ප්‍රසිද්ධ රුස්වීම් කවුන්සිලය අතරවාරයේ පැවැත්වීමට එය කටයුතු කරයි. තේරුම් ගත නොහැකි ප්‍රතිවිරෝධයක් එම කරුණ තුළ තිබේ.

මෙම කරුණ පසුගිය 12දා ශ්‍රී ලංකාණ්ඩුවේ ජීනීවා තානාපති කාර්‍යාලය විසින් මානව හිමිකම් කවුන්සිලය තුළ කෑම දෙපැයේ දී පවත්වන ලද සාකච්ජා සභාවේ දී මතුවිය. එම කරුණ මතු කරමින් කතා කළ රටවල් 27ක් නියෝජනය කරන යුරෝපා සංගමයේ නියෝජිතවරිය කියා සිටියේ මෙම සාකච්ඡාව කවුන්සිලයෙහි රාමුව තුළ සිදුවනු දැකීම තමන්ගේ අපේක්ෂාව බවයි. ඇය තවදුරටත් කියා සිටියේ එල්එල්ආර්සී කොමිසමේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කැරෙන්නේ කවරදාකදැයි දැන ගැනීමට කැමැති බවත් තමන් ඒ පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වන බවත් ය. එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර සංවාදයකට යොමු කළ යුතු බවත් ඇය කියා සිටියා ය.

අමාත්‍ය සමරසිංහ විසින් මෙහෙයවන ලද සහ හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් කරුණූ ඉදිරිපත් කර පිළිතුරු සපයන ලද මෙම සාකච්ඡා සභාවේ දී එල්එල්ආර්සී කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කැරෙනු ඇති බවට සහතිකයක් නොදීමට ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිත පිරිස වග බලා ගත්තේ ය. දැන ගන්නට ඇති පරිදි එම තීරණය සහමුළින්ම රදා පවතිනු ඇත්තේ ජනාධිපති රාජපක්ෂ අත ය.

මෙම සාකච්ඡා සභාවේ ප්‍රධාන මැය බවට පත් වූයේ වූයේ හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳව කරුණූ පැහැදිළි කිරීම යි. හිටපු නීතිපති මොහාන් පිරිස්ට අනුව දැන් හදිසි නීතිය මිය ගොසිනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අලුතින් වගන්ති කිහිපයක් එක් කරන ලද නමුත් ඒ මගින් හදිසි නීති රෙගුලාසි සහමුලින්ම නීතිගත වන්නේ නැතැයි යන්න ඔහුගේ මතය විය.

එම අදහස පිළිනොගත් ලෝක දෙමළ සංසදයේ සභාපති එමැනුවෙල් දේවගැතිවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබෙනු තුරු හදිසි නීතිය පමණක් ඉවත් කිරීමෙන් පළක් නැති බවයි.

චැනල් 4 හි ‛‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’‛ නම් වාර්තාමය චිත්‍රපටයට ප්‍රතිචාරයක් වශයෙන් ශ්‍රී ලංකාණ්ඩුව විසින් නිර්මාණය කළ ‛‛ගොතා පතුරුවන බොරු’’ නොහොත් ‛‛ලයිස් ඇග්‍රීඩ් අපෝන්’’ වාර්තා චිත්‍රපටයේ විනාඩි 17ක් කොටසක් ද මෙම රුස්වීමේ දී පෙන්වන ලදී. (එහි ඩීවීඩී සංයුක්ත තැටිය ඇතුළු කිලෝ 5.2ක් බර ලියැවිලි මල්ලක් සහභාගිවූවනට නොමිලයේ සපයා තිබුනි). එම වාර්තා චිත්‍රපටය ‛‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’’ ට අභියෝගයන් ගණනාවක් ඉදිරිපත් කරන බව සැබෑ ය. (චිත්‍රපටය සඳහා තමිල් සෙලවම්ගේ බිරිද හැඩ ගැන්වූ වේශ නිරුපන ශිල්පියා වැන්දඹු දෙමළ ස්ත්‍රීන් නළලෙහි පොට්ටු නොතබන බව දැන සිට නැත). එම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නොපෙන්වූයේ කාලය පිළිබඳ ප්‍රශ්ණය නිසා බව කී අමාත්‍ය සමරසිංහ නියමිත අනෙක් අදහස් දැක්වීම් වෙනුවට විවෘත සාකච්ඡාවට සභාව විවෘත කළේ ය.

චිත්‍රපටය පිළිබදව අදහස් දැක්වූ මානව හිමිකම් සඳහා දෙමළ සංසදයේ ප්‍රධානී කිරුබාකරන් අසා සිටියේ මෙම චාර්තා චිත්‍රපට දෙක විසින් එකිනෙකට පටහැනි මත දෙකක් ඉදිරිපත් කරන බැවින් ඒ පිළිබඳ ස්වාධීන අන්තර් ජාතික පරික්ෂනයකට ශ්‍රී ලංකාව විරුද්ධ වන්නේ මන්ද යනු ය. එම ප්‍රශ්ණය එමෑනුවෙල් දේවගැතිවරයා විසින් ද නගනු ලදුව මොහාන් පිරිස් මහතා කියා සිටියේ 500 වසරක යටත් විජිත පාලනය තව දුරටත් අවශ්‍ය වන්නේ මන් ද කියා ය. ඉන් ඔහු අදහස් කළේ අන්තර් ජාතික පරික්ෂනයක් යනු යටත් විජිතවාදයේම දිගුවක් බවයි. එනමුත් එවැනි පරීක්ෂන පලස්තීන ප්‍රශ්ණය, මියන්මාරයේ හමුදා පාලනය වැනි බොහෝ අවස්ථාවන්හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දියත් කරන ලද බවත් ශ්‍රී ලංකාව පවා එවැනි පරීක්ෂනයන්ට සහාය දි ඇති බවත් රැස්වීමෙන් පසු පැවැති තේ සාකච්ඡාවන්හිදී අසන්නට ලැබුණි.

මෙම රැස්වීමට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාණ්ඩුවට සහාය දක්වන සැළකිය යුතු තරමේ විදේශගත පිරිසක් ද කැඳවා තිබුණි. ජනාධිපති ප්‍රේමදාස යුගයේ රජයේ ඩේලිනිව්ස් පුවත්පතෙහි කර්තෘ වරයා වූ ඔස්ට්‍රේලියාවේ පදිංචි මහින්දපාල මහතා ද ඒ අතර විය. ඔහු නිරන්තරයෙන් ආරක්ෂ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ලිපි ද සපයයි. චිත්‍රපටයට පක්ෂව අදහස් දැක්වමින් ඔහු 1988 දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු සාම සාධක හමුදාවට දරුණු ප්‍රහාරයක් ද එල්ල කළේ ය. ඔහු අසා සිටියේ එල්එල්ආර්සීයට ඉන්දීය සාම සාධක හමුදාවේ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීමට අධිකාරයක් නොදුන්නේ මන්ද කියා ය.

එම අවස්ථාවේ දී වහාම මැදිහක් වූ අමාත්‍ය සමරසිංහ ඉන්දීය සාම සාධක හමුදාව පැමිනියේ ශ්‍රී ලංකාවේ ආරාධනය මත බවත් එය සිදු කළ යුතුව තිබූ රාජකාරිය කළ බවත් අවධාරණය කළේ ය. ඊට එහා දෙයක් නැතැයි යනුවෙන් කියූ අමාත්‍යවරයා ඉන්දීය ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාණ්ඩුවට විරසකයක් නැති බව පෙන්වා සිටියේ ය. වෙනත් ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු යළිත් ඉන්දීය ආණ්ඩුව ආරක්ෂා කරමින් කියා සිටියේ අවතැන් වූ දෙමළ ජනයා යළි පදිංචි කිරීම සඳහා ඉන්දියාව තරම් උදව් කළ වෙනත් රටක් නැති බවත් තමන් ඒ සම්බන්ධයෙන් කෘතඥ පූර්වක වන බවත් ය.

ශ්‍රී ලංකාණ්ඩුවේ මෙවැනි රුස්වීම්වලට පැමිණෙන කියුබානු, චීන, රුසියානු සහ පකිස්ථානු නියෝජිතයෝ වචන දෙක තුනක් මගින් සිය යුතුකම ඉටු කිරීමට මෙන් අපි ලංකාණ්ඩුව සමඟ යැයි කියා සිටිති. මේ අවස්ථාවේ ද එය එළෙසම සිදු විය.

එසේ නමුත් ඉන්දියානු නියෝජිතයා කිසිවක් නොකියා අසුන් ගෙන සිටියේ ය. අමාත්‍ය සමරසිංහ විසින් ප්‍රබල ලෙස ඉන්දියාව ආරක්ෂා කිරීමෙන් පෙන්නුම් කරන ලද සත්‍ය වූයේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව සම්බන්ධ කවර හෝ පියවරක තීරණාත්මක යතුර බවට දැන් ඉන්දියානු සාධකය පත්ව තිබීමයි. එසේ නමුත් මේ තාක් කාලයක් ඉන්දීය ආණ්ඩුවේ පිළිවෙත වී ඇත්තේ තමන්ට ශ්‍රී ලංකාණ්ඩුව සමඟ ඇති ප්‍රශ්ණ ද්වි පාර්ශවීයව පමණක් සාකච්ඡාවට ගන්නා බවයි. මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිවන ඕනැම තීරණාත්මක සාකච්ඡාවක දී ඉන්දියානු ස්ථාවරයෙහි වැදගත්කම සෑම පාර්ශවයක් විසින් ම දැන් තේරුම් ගෙන තිබේ.

දේශපාලන වේදිකාවෙහි විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද වැනි අමාත්‍යවරුන් ලවා ඉන්දියාවට පලු පැලෙන්නට පහර දෙවන අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉන්දියාව සම්බන්ධයෙන් ඉතා සුහද ආකල්පයක් පෙන්වීම ශ්‍රී ලංකාණ්ඩුවේ ද්විත්ව ප්‍රවේශය යි. ශ්‍රී ලංකාණ්ඩුවේ ප්‍රචාරකයකු වන මහින්දපාලගේ ප්‍රහාරය ද බොහෝ දෙනෙකු සැළකුවේ එම සැලැස්මේ ම කොටසක් ලෙස ය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ජිනීවා ප්‍රධානී පීටර් ස්පිලින්ටර් මෙම සාකච්ඡාව කවුන්සිලය තුල සිදු නොකරන්නේ මන්දැයි සහ 2006 ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ නොකළ ලෙසම එල්එල්ආර්සී වාර්තාව ප්‍රසිද්ධ නොකෙරෙනු ඇත්දැයි ප්‍රශ්ණ කළේ ය. ඊට පිළිතුරු දුන් මොහාන් පීරිස් අසා සිටියේ එල්එල්ආර්සී ගැන නිගමන දීමට ක්ෂමා සංවිධානයට අයිතියක් ඇත්තේ කෙසේ ද කියා ය. ශ්‍රී ලංකාවට වසර 2,500ක ඉතිහාසයක් ඇති බවත් එබැවින් බාහිර උපදෙස් අනවශ්‍ය යැයිද මෙහොන් පීරිස් කීය.

මේ අවස්ථාවේ දී මැදිහත් වීමක් කළ වේදිකාවෙහි අසුන්ගෙන සිටි මාලදිවයින් ජනාධිපති මෙහොමඩ් නශීඩ් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනවර්ගයන් අතර මෙන්ම ක්ෂමා සංවිධානය සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර ද ප්‍රති සංධානයක් අවශ්‍ය බව තමාට පෙනෙන බවයි. වඩා හොදින් වචන පාවිච්චි කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන් ඔහු කියා සිටියේ මානව හිමිකම් වෙනුවෙන් ප්‍රබල වැඩ කොටසක් කරන ක්ෂමා සංවිධානය විසින් තමා හෘද සාක්ෂියේ සිරකරුවකු ලෙස නම් කර ගෙන යන ලද ව්‍යාපාරය සිය නිදහසට මහත් පිටුබලයක් වූ බව ය.

ශ්‍රී ලංකාණ්ඩුවට සහාය දැක්වීමට කැනඩාවේ සිට පැමිණි ඉරේනා කියා සිටියේ රට වෙන වෙනම කොටස් ලෙස පැවැතීම අනවශ්‍ය බව ය. එහි ඇගවීම බව පෙනෙන්නට තිබුණේ බලය බෙදීමට ඇති විරුද්ධත්වය යි.

අවසානයේ දී කෙටි අදහස් දැක්වීමක් කල ඇමෙරිකානු තානාපතිනි එලීන් චැම්බර්ලීන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශීය යන්ත්‍රණය වන එල්එල්ආර්සීය යුද්ධය සම්බන්ධයෙන් නැගී ඇති චෝදනාවන් නිසි ලෙස ආමන්ත්‍රණය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් එසේ සිදු නොවුව හොත් ශ්‍රී ලංකාවට එල්ල වන අන්තර් ජාතික තෙරපීම් ඉහල යනු ඇති බවත් ය.

අවසානයේ දී ඇති පදමට වඩේ සහ පැටිස් සංග්‍රහය භුක්ති විඳ ආපසු යමින් සිටි අප අතර සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියක් උරහිසේ දමාගන සිටි කිලෝ 5.2 පොත් කට්ටලය දමා තිබූ අමු රෙද්දෙන් කළ බාල වර්ගයේ මල්ල පටියෙන් ගැලවී දඩස් ගා කඩා වැටුනි. මල්ලෙහි මුද්‍රණය කර තිබුණේ ‛ආසියාවේ ආශ්චර්‍ය – ශ්‍රී ලංකාව’ කියා ය.

සුනන්ද දේශප්‍රිය විසිනි

පසුවදන

ඉහත කී රුස්වීමේදී මවිසින් ( නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියා) මාලදිවයින් ජනාධිපති නශිඩ්ගෙන් ප්‍රශ්ණයක් අසන ලද බවටත් ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නශිඩ් සිය රටට විරුද්ධව කටයුතු කිරීම අවමානයක් බවටත් කියා මගේ කට වැසූ බවටත් රජයේ ගුවන් විදිලිය 15දින උදැසන පුවතක් ප්‍රචාරය කරන ලදී. මේ වනාහී අමූලික බොරුවකි. එවැනි කිසිදු සිදු විමක් ඇති නොවීය. මෙමගින් පෙන්වන්නේ වෙනත් රටක රාජ්‍ය නායකයකු පවා සිය බොරු ප්‍රචාරයන්ට ඈදා ගැනීමට රජය බංකොලොත් වි ඇති තරමය. රුස්වීමේ සම්පූර්ණ පටිගත කරන ලද හඬපටියක් මා සතුව තිබේ.