end of the War, Featured Articles, Features, Jaffna

ආසියාවේ ආශ්චර්ය – අධිකරණයෙන් නිදහස් වූ තරුණයෙකුට අධිකරණය තුලදීම පොලීසිය පහර දෙයි

අද(21) පටන් දින නියමයකින් තොරව අධිකරණය වර්ජනය කිරීමට යාපනයේ නීතිඥවරුන් තීරණය කොට තිබෙන බව වාර්තා වෙයි. යාපනයේ අර්ධදීවීපයේ ක්‍රියාත්මක වන අධිකරණ 5කට සම්බන්ධ නීතිඥවරු 65කට ආසන්න සංඛ්‍යාවක් මෙම වර්ජනයට සම්බන්ධ වී සීටියි.

යාපනය අධිකරණය තුළදී පොලීසිය විසින් සැකකාර තරුණයෙකුට පහර දීමට විරෝධය පෑමත්, එම පොළිස් නිළධාරීන්ට එරෙහිව පියවර ගන්නා තුරු වර්ජනය දිගටම පවත්වාගෙන යන්නට යාපනය නීතිඥ සංගමය තීරණය කොට තිබෙන බව බීබීසී සංදේශය අද(21) වාර්තා කළේය.

එහීදී අදහස් දැක්වූ ජ්‍යේශ්ඨ නීතිඥ සිදම්බර්ම් උදයාර් කනගසංගම් ‛‛පුෂ්පරාජා ඇන්ටනී කියන 31 හැවිරිදි තරුණයෙක් එයාගේ නීතිඥ තව්බාලා මහතා මගින් අධිකරණයට ඉදිරිපත්වෙලා තිබෙනවා. එයාට විරුද්ධව පොලීසිය ක්‍රියා කළා යෑයි කියලා යම් යම් අපරාධ සම්බන්ධයෙන්. එහිදී එයාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ඉල්ලීමක් කරලා තිබෙනවා. එවිට මහේස්ත්‍රාත්තුමා ‛බී’ වාර්තාව බලලා එයාගේ නම එතන සඳහන් නොවන නිසා එයාව රිමාන්ඩ් බාරයේ තබා ගන්න බැහැයි කියලා එයාව යන්න ඇරියා. ඉන්පසුව එයා උසාවි ගොඩනැගිල්ලේ සිටියදී නිළ ඇඳුම් රහිත යාපනයේ පොලිස් නිළධාරීන් 7 දෙනෙක් පමණ එතනට ඇවිල්ලා උසාවිය පවතිද්දී මෙයාව අත්අඩංගුවට අරං එතනදීම ගහල ඇදගෙන ගිහින් තියනවා. මේ සිද්ධිය වෙනකොට උසාවි වැඩකරන නිළධාරීන් මෙයාගෙ කෑ ගැහිල්ලට එතනට ඇවිල්ලා තියනවා. නීතිඥයනුත් ඉදලා තිබෙනවා.

ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමා(ආනන්දරාජා මහත්මයා) නඩු අසමිනුයි හිටියේ. ඊට පස්සේ යාපනයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහෙස්ත්‍රාත් නිළ කාමරයට ගෙන්නුවා. එතන නීතිඥවරුන් 5දෙනකුත් ඉදලා කරුනු කියලා තිබෙනවා. ශ්‍රීකාන්ත කියන නීතිඥ මහතා එතනදී පැහැදිලි කළා.‛‛මේක ඉතාමත් බරපතල සිද්ධියක්, මේ වගේ සිදුවීම කවදාවකවත් වෙලා නෑ. කියලා. ඒ අවස්ථාවේදී පොලීසියේ උසස් නිළධාරින් විසින් සිද්ධියට සම්බන්ධ නිළධාරීන් වෙනුවෙන් සමාව ඉල්ලා තිබෙනවා. එහිදී නීතිඥ ශ්‍රීකාන්ත මහතා පවසා ඇත්තේ ‛‛සමාව අපි පිළිගන්නවා. නමුත් එයට විරුද්ධත්වය අපි ප්‍රකාශ කරනවා’’ යනුවෙන් පවසා ඇති බවය.

එහිදී නීතිඥ සිදම්බර්ම් උදයාර් කනගසංගම් වැඩිදුරටත් අදහස් දැක්වූ ‛‛ඒ අනුව අපි රැස්වීමේදී තීරණ 3ක් ගනු ලැබුවා. එකක් පොලීසියේ එම 07දෙනාට විරුද්ධව ස්ථිර පියවර ගත යුතු බවත්, එතෙක් අපි උසාවි වර්ජනය කරනවා. දෙක, අගවිනිසුරුතුමිය ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිකුත් විනිසුරු තුමන්ලා මේකට මැදිහත් වෙලා සහතික කළ යුතුයි අනාගතයේදී මෙවැනි දෙයක් සිදුවෙන්නනට ඉඩ දෙන්නේ නෑ කියලා. තුන්වනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේකට මැදිහත්වෙලා ස්ථිර පියවරක් ගන්නට ඕන. ඒ අනුව අපි අද සිට උසාවි වර්ජනය කිරීමට තිරණය කළා.’’