සිංහල, Governance, Kandy, Transport

මැණික්හින්න අරත්න මාර්ගය අබලන් – මගී ජනතාව අමාරුවේ

මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ මැණික්හින්න කුඹල්ඔය හරහා අරත්න දක්වා දිවෙන ( මාර්ග අංක 620) ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් බස් ගමනා ගමනය නාරම්පනාව තෙක් සීමා කිරීම නිසා කරගස්තැන්න, නාපාන හා අරත්න වැනි ගම්රැසක මඟී ජනතාව දැඩි අපහසුවට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් දිගින් දිගටම වගකිව යුත්තන්ට දැන්වුවද කිසිදු පියවරක් නොගැනිම නිසා මාර්ගයේ තත්වය තව තවත් නරක අතට හැරුනු බව ජනතාවගේ මතයයි.

මේ පිළිබඳව කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාවෙන් විමසූ විට ඔවුන් පැවසූවේ මෙම මාර්ගය පළාත් සභාවට අයත් එකක් බවයි. කෙසේ වෙතත් මාර්ගය අබලන් වීම නිසා බස් ගමනා ගමනය බිඳවැටී ජනයා අපහසුවට පත්වී ඇති බව ප්‍රාදේශීය සභාව ලෙස ඔවුන් ද පිළිගන්නා බවත් මේ පිළිබඳව පළාත් සභාවෙන් විමසන ලෙසත් පැවසූහ.

අප මේ පිළිබඳව මධ්‍යම පළාතේ මහමාර්ග අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ලේකම් කේ.පී.කරුණාදාස මහතා පැවසූවේ ‛‛ මෙම ප්‍රදේශයේ මාර්ග බොහෝමයක් අබලන් වී ඇති බවට පළාත් මාර්ග අධිකාරිය මඟින් හඳුනාගෙන ඇති බවත් මේවසරේ මාර්ග අලුත් වැඩියා වැඩසටහන මඟින් එයින් කිලෝමීටර් 2200 පමණ අලුත්වැඩියා කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැදවා ඇති නිසා මසක් ඇතුලත අලුත්වැඩියා කටයුතු පටන් ගැනිමට බලාපොරොත්තු වන බවයි.’’ එම වැඩසටහනට මෙම මාර්ගය ඇතුලත් දැයි විකල්ප කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ ‛‛ වාමන ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වූ මාර්ග සියල්ල වාහන ගමන් කළ හැකි මට්ටමට අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන ලැබී ඇති නිසා නොබෝ දිනකින් එම අලුත් වැඩියා කටයුතු පටන් ගැනිමට බලාපොරොත්තු වන බවයි.