Colombo, Featured Articles, Features

”ගවර්මන්ට් මැසේජස්”


‛‛ගවර්මන්ට් මැසේජස්’’ ‛‛ඇත්තටම ගවර්මන්ට් මැසේජර්ස් කියලා 25ක් දීලා තියනවා.’’ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙක්.

‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ් එකක් ඒක හරි.’’ මිලින්ද මොරගොඩ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ගාමිණි ගොඩකන්ද මහතා. (මෙහි හඬ පටය පහතින් දක්වා ඇත.)

මෙසේ අදහස් ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තිස්සේම කොළඹ, මුනිදාස කුමාරතුංග මාවතේ ප්‍රසිද්ධ කර ඇති විශාල පුවරුවක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය. එහි සඳහන් වන්නේ ‛‛කොළඹ නගරයේ සිදුවන අසිරිමත් වෙනස කඩිනම් කිරීමට රජය සමඟ එකට වැඩ කළ හැකි නගරාධිපතිවරයෙකු තෝරමු’’ යනුවෙන් සහ ඊට පහළින් ‛‛කොළඹ පරමාධර්ශී නගරයක් කරමු’’ යනුවෙන් ද සටහන් කර තිබීමයි. මේ පිළිබදව පසුගිය 24දා ලංකාපෝස්ටර් බ්ලොග් අඩවියේ මේ පිළිබදව ඡායාරූප සමග වාර්තාවක් පලවී තිබිණි. එහි ද සදහන් වුයේ මේසේය.

”…කොළඹ, කුමාරතුංග මුනිදාස මාවතේ සවිකර ඇති ආණ්ඩුවේ ප්‍රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් වක්‍රාකාරයෙන් ප්‍රදර්ශනය කර ඇත. මෙම පුවරැවේ මීට පෙර සටහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ රැව සමග ආණ්ඩුව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබදවය. දැන් එහි සදහන් වෙන්නේ නගරාධිපති අපේක්ෂකයෙකුගේ සටහනක් ය. මෙහි පිළිබිබුවන ප්‍රධානම වාක්‍යකින් මෙය කාගේදැයි නිශ්චිතවම ඕනෑම අයෙකුට කිව හැක. එම පුවරැවේ පහතින් ” කොළඹ පරාදර්ශී නගරයක් කරමු” යනුවෙන් සටහන් ව ඇත. මැතිවරණ ප්‍රචාරණයේදී පරමාදර්ශි නගරයක් ගැන කතා කරන්නේද, තමන්‍ගේ මුද්‍රත ලේඛනවල එය සටහන් කරන්නේද අන් කිසිවෙක් නොව ‘තොරතුරැ දැන ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවේදී පරාජය කරමින්, නගරාධිපති වුවහොත් තොරතුරැ දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන බව කියමින් සිටින මිලින්ද මොරගොඩ මහතාය.

”තොරතුරැ ලබා ගැනීමේ අයිතිය” ඉතාමත් හොද එකකි. වන්නේ එය නොවෙයි එය ප්‍රකාශ කරන තැනැත්තාම රජයට අයත් දේපල ව්‍යාජ ලෙස තමන්ගේ මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමය.”

ගවර්මන්ට් මැසේජර්ස් සහ මැතිවරණ මැසේජර්ස්

ගැටලුව පැන නගින්නේ එතැනිනි. කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයත් සහ මිලින්ද මොරගොඩ මහතාගේ මධ්‍ය සම්බන්ධීකාරක වරයාත් පවසන පරිදි මෙය ආන්ඩුවේ පණීවිඩයකි. නැතිනම් ඔවුන්ගේ වචන වලින් කියන්නේ නම් ‛‛ ගවර්මන්ට් මැසේජර්ස්ය’’ ආණ්ඩුවේ පණිවිඩයක එක් පක්ෂයක අපේක්ෂයෙකු වෙනුවෙන් තම සහය පළ කිරීම කොතරම් ප්‍රජාතන්ත්‍රවිරෝධීද.? එය එළි පිටම මැතිවරණ නීතිය මෙන්ම සදාචාරත්මක අගයන්ද විනාශ කරන්නකි. කෙසේ නමුත් මෙහි ප්‍රධාන වාක්‍යයේ සඳහන් සහ විශේෂයෙන් එහ පහල කොටසේ සදහන් වන ‛‛කොළඹ පරමාධර්ශී නගරයක් කරමු’’ යන ශීර්ෂ පාඨය නිරන්තරයෙන් භාවිතා කරන්නේ ද මිලින්ද මොරගොඩ මහතාය.

එසේම ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක වරයා පවසන පරිදි එය මැතිවරණ ප්‍රචාරක බිල්බෝඩ් එකකි. එය රජයේ මැතිවරණ ප්‍රචාරක බිල්බොර්ඩ් එකකි. ඔහු තවදුරටත් පවසන්නේ ‛‛වෙලා තියෙන්නනේ එක එක පාර්ශව මේ වෙනුවෙන් පෙනී හිටිනවා.’’ මෙයින් එකක් ඔහු පිළිගනි . එය නම් මිලින්ද මොරගොඩ මහතා වෙනුවෙන් කැම්පේන් කරන අය සිටිනවා. ඔවුන් කරන වැඩ අපිට නවත්තන්න බෑ යනුවෙනි. නමුත් මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ ‛‛කොළඹ නගර සභාව විසින් රජයේ පණිවිඩ සදහා ලබා දුන් පුවරුවක මැතිවරණ අපේක්ෂකයෙකුට අයත් දැන්වීමක් ප්‍රචාරය කරන්නේ කෙසේද? ප්‍රචාරය කරන්නේ කවුරුන් විසින් ද යන්නයි. වගකිව යුත්තෙක් නැති, එසේත් නැතිනම් වගකීමක් නැති පුවරුවක් කොලඹ නගරයේ ප්‍රදර්ශණය කිරිමට පොලීසිය හෝ නගර සභාව අවසර දෙන්නේද? එසේම එම පුවරුවල ඔනෑම අයෙකුට ඕනෑ පණීවිඩයක් දිය හැකිද? නැත. මෙහි අයිතිකරුවන් මහ නගර සභාවත්, පොලීසියත් නොදන්නේද?

අනෙක් කරුණ නම් කොළඹ මහ නගර සභාවේ නිළධාරියා පවසන පරිදි මෙමබිල්බෝර්ඩ්ස් කිසිවෙකුටවත් අලෙවි කර නැත. එසේ තිබියදී එක් පාර්ශවයකට ඡන්දය දෙන්නැයි වක්‍රාකාරයෙන් හෝ ඉල්ලීම ප්‍රචතන්ත්‍ර විරෝධි මෙන්ම අචාරධාර්මිකවද ගැටලු ඇති කරන්නෙකි. එසේම කිනම් පක්ෂයක හෝ ඡන්ද අපේක්ෂකයෙකු වෙනුවෙන් රාජ්‍ය දේපල මේන්ම රාජයේ පණිවිඩ වෙනුවෙන් යොදා ගන්නා මාධ්‍යන් භාවිතා කරමින් අනියමින් හෝ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ක්‍රියා කිරිම නිසා මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිපල සහ මැතිවරණය නිදහස් හා සාධාරණ වන්නේ කසේ දැයි මෙයින් මතුවන අනෙක් උභතෝකෝටිකයයි.

මැතිවරණ නීතිය

කොළඹ නගරයේ තිබෙන මෙම සිදුවීම යම් ආකාරයකින් මැතිවරණ නීතිය උල්ලංගණය කරනවා නේද යනුවෙන් අප මිලින්ද මොරගොඩ මහතාගේ මාධ්‍ය සම්බ්නධීකාරකවරයාගෙන් විමසුවෙමු. ඔහු ප්‍රකාශ කලේ,

‛‛ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්ණය, මැතිවරණ නීතිය සම්බන්ධයෙන්. නමුත් එකේ නොම්මරයක් වත් නෑ. නීතියේ තියෙන්නේ මනාප අංකය ප්‍රදර්ශණය කිරීම තහනම් කියලා.

මේකේ සළකුණක් තිබෙනවා.?

මාධ්‍ය සම්බ්න්ධීකාරක – නෑ මේකේ සළකුණක් නෑනේ.

‛‛කොළඹ පරමාධර්ශී නගරයක් කරමු’’ කියන සළකුණ?

නෑ එක වචනයක් නේ.
(මෙහි පහත එම මැතිවරණ නීතියට අදාල ස්කෑන් සටහන දක්වා ඇත.)

නමුත් මාධ්‍ය සම්බන්ධීකාරක වරයාට වරදින්නේ එතැනය. ඔහු මීට පෙර මෙම බිල්බෝඩය මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් සහිත බව පිලිගත්තේ ය. තව දුරටත් ඔහු පෙනී සිටිමින් ඔහු මෙසේ කීවේය ‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ් එකක්’’ නමුත් ඔහු මෙය මිලින්ද මොරගොඩ මහතාගේ බිල්බෝර්ඩ් එකක් බවට සෘජුවම පිලිගැනිමට කැමති නැත. මැතිවරණ නීතිය උල්ලංඝනය වන්නේ දැයි ඇසූ විට ඔහුට අනුව එය මැතිවරණයයට අදාල බිල්බෝඩ් එකක් නොවන්නා සේය.

මේ ද්විත්ව ලක්ෂණයන් ගෙන් සහ මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන මහාචාරය රොහාන් සමරජීව මහතාගෙන්, ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවිය Twitter පණිවිඩ හරහා ඇති වී තිබුණු සංවාදයෙන්ද මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වෙයි. මේ එම Twitterපණිවිඩයේ සිංහල පරිවර්තනයයි.

ග්‍රවුන්ඩ්වීව්ස් – ඔබලා දැන් මැතිවරණයේදී රාජ්‍ය දේපල අයතාපරිහරණයට පවා යොමු වී තිබෙන්නේ?

රොහාන් සමරජීව – මේ අහන්නේ තර්ස්ටර්න් පාරේ තිබෙන එක ගැන, ඔයා සිවිල් ප්‍රශ්ණයක් අසද්දි, සිවිල් පිළිතුරකට වැඩි ඉඩක් තිබෙන්නේ. මේක ආණ්ඩුවේ නෙමෙයි, මැතිවරණ නීතියටත් අදාලව තමයි සිදු කරලා තිබෙන්නෙ. (පහතින් දැක්වෙන්නේ එම Twitter පණිවිඩය යි)

දැන් තව දුරටත් මෙය පහැදිලි වේ. එය නම් සමරජීව මහතා මෙය ආණ්ඩුවේ නොවේ කියද්දී, නගර සභාවත්, මිලින්ද මොරගොඩ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක පවසන්නේ ‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ් එකක්’’ බවය. එසේම නගර සභාවේ නළධාරියෙක් පවසන්නේ මෙය ‛‛ගවර්මන්ට් මැසේජර්ස් සදහා දුන් එකක්’’ බවය.

කෙසේ නමුත් මේ තත්ත්වයන් ගෙන් පැහැදිලිවම සනාත වන්නේ රජයට දුන් බිල්බොර්ඩ්ස් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සදහා භාවිතා කරන බවය. එහි ද කුමාරතුංග මුනිදාස මාවතේ පුවරුව මිලින්ද මොරගොඩ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අදාල ලෙස නීතිවිරෝධි ලෙස යොදා ඇති බව ලියුම්කරුගේ අදහසයි. නමුත් නගර සභාවත්, මිලින්ද මොරගොඩ මහතාගේ මාධ්‍ය සම්බ්න්ධිකාරක ගාමිණී ගොඩකන්ද මහතාත් මෙය එසේ නොවේ යැයි කිීමට මහත් වූ වැයමක් ඉදිරිපත් කලද එම බිල්බෝඩය දකින ඕනෑම අයෙකුට මෙය කාගේදැයි කිව හැකිය.
අනෙක නම් රොහාන් සමරජීව මහතා පවසන පරිදි මේය මැතිවරණ නීතිය උල්ලංගණය නොකරනවා යැයි කියන්නේ කුමන පදනමකින්ද? අනෙක ඔහුම පවසන පරිදි මෙය සිදුකර තිබෙන්නේ මැතිවරන නීතයට අදාලය. නීතියට අදාල වන්නේ නම් මිලින්ද මොරගොඩ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ භාවිතා කල සළකුණක්, ශීර්ෂ පාඨයක් තිබෙන්නේ කෙසේ ?

මෙයින් ප්‍රජාතන්ත්‍රවාදයටත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකට ප්‍රභල අභියෝගයක් මතුවෙයි.

එනම් නගර සභාව පවසන පරිදි මෙය ගවර්මන්ට් මැසේජර්ස් සඳහා ලබා දුන් බිල්බෝර්ඩ් එකකි. එසේ ආණ්ඩුවට ලබා දුන් බිල්බෝඩ් එකක මැතිවරණයට අදාල එක් අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා භාවිතා කිරීමයි. එය මැතිවරණ නීතිය අමු අමුවේ බිද දැමීමකි. එයින් ලංකීය සමාජයට නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති ඉඩ තව තවත් හැකිලී යනු ඇත.

පහතින් දැක්වෙන්නේ, කොළඹ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙකු සමග සහ මිලින්ද මොරගොඩ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ගාමිණි ගොඩකන්ද මහතා සමග ඊයේ(27) සිදුකල සාකච්ඡාවේ හඬ පටයයි.

කොළඹ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙක්
[youtube]http://www.youtube.com/watch?v=PoBd-UZ3Pv8[/youtube]

මිලින්ද මොරගොඩ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ගාමිණි ගොඩකන්ද මහතා
[youtube]http://www.youtube.com/watch?v=WvzOpQktjHA[/youtube]

මේ පිළිබදව අප කොළඹ මහනගර සභාවේ කොමසාරිස්වරියව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද එය ව්‍යවර්ත විය.

මේ මැතිවරණයට අදාල ගැසට් ප්‍රකාශයේ ස්කෑන් සටහනයි.

සම්පත් සමරකෝන්