සිංහල, Badulla, Economic issues, Human Rights, Human Security, Life quips

සොරගුණේ වනාන්තරය ‛‛චින්තනයේ දඩයක්කරැවන්’’ ගොල්ෆ් පිටියකට යට කරයි. – විජමූ ගේ පුතාත් හවුල්

යෝජිත ව්‍යාපෘති බිමේ පිහිටි වේලි ඔයේ දිය දහරාවන්

ගොල්ෆ් පිටියක් සහ හෝටලයක් තැනීම සදහා ලංකාවේ තවත් සංවේදී වනාන්තරයක් වන සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628ක් එළි කරමින් දැවැන්ත විනාශයක් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මේ දැවැන්ත විනාශය පිටුපස සිටින්නේ අති බෞද්ධයෙකු ලෙස හඳුන්වා ගන්නා විජමූ ලොකුබණ්ඩාරයන්ගේ පුත් හපුතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාර මහතා ය. එමෙන්ම මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතා විසින් වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කරයි. අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක න්‍152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි. මේ ඒ පිළිබදව පරිසර සංරක්ෂණ භාරය විසින් සකස් කරන ලද සම්පූර්ණ වාර්තාවකි.

අලි – මිනිස් සහජීවනය බිඳ හෙළමින්, වේලිඔය ව්‍යාපාරය යටතේ යල – මහ දෙකන්නය වගා කළ ජනතාව අවතැන් කරමින් සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628 ක් එළි පෙහෙළි කර Eco Golf Resort නමින් ගොල්ෆ් ක්‍රීඩා පිටියක් හා හෝටලයක් ඉදිකිරීමට වනාන්තර මැනීම හා ව්‍යාපෘතිය සැළැසුම් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පසුගිය දිනවල ව්‍යාපෘති භූමියට පිවිසුම් මාර්ග සැකැසීමේ කටයුතු ද ක්‍රියාත්මක විය. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්වන්ගුහාව ග්‍රාම නිලධාරී වසමේ දඩයම්පහළගම ග්‍රාමයේ පිහිටි වනාන්තර කොටසේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

කොළඹ 07, ධර්මපාල මාවතේ අංක 65/බී දරන ස්ථානයේ පිහිටි “Alpha and Omega Developers (Pvt) Ltd” නම් සමාගම විසින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා යොදා ගන්නා ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර බෝගහපට්ටිය – සමනළ වැව අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර ඉඩම් ය. මේ වනාන්තර ඉඩම වේලි ඔය වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වන අතර උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි – ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි.

මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතා විසින් වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කරයි. අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක J152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි.

මේ ව්‍යාපෘතිය පිටුපස සිටින ප්‍රධාන දේශපාලන හස්තය වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා ගේ පුත් හපුතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාර මහතා ය. මීට අමතරව බණ්ඩාරවෙල ප්‍රධාන ව්‍යාපාරිකයකු ගේ පුත්‍රයකු හා හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනාන්තර ඉඩම් කොල්ලය හා ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ව සිටී. මේ දේශපාලන හා නිලධාරී සම්බන්ධය හේතුවෙන් පාරිසරික අනපනත් තුට්ටුවකට මායිම් නොකර මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර වනාන්තර ආශ්‍රිත නොවන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. නමුත් ඊට ප්‍රථමයෙන් යෝජිත ව්‍යාපෘති භූමියේ වනාන්තරය පුරා වනාන්තර තීරු එළි පෙහෙළි කරමින් මැනීම් කටයුතු සිදු කිරීම හා මාර්ග සැකැසීම නීති විරෝධී ක්‍රියාවකි. මෙලෙස මහ පරිමාණ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමට ප්‍රථමයෙන් ඒ සඳහා අනුමැතිය ලැබේය යන පූර්ව නිගමනය මත සිට ව්‍යාපෘති භූමිය සකස් කිරීම ව්‍යාපෘති යෝජකයින්ගේ විලාසිතාවක් බවට ලංකාව තුළ පත් වෙමින් තිබේ. ඒ තත්ත්වය මැඩ පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ඍජුව මැදිහත් විය යුතු ය. ඒසේ නොවුනහොත් පුනර්ජනනය කළ නොහැකි මෙවන් සම්පත් ඊනියා සංවර්ධකයින් ගේ ගොදුරු බවට පත් වී වැනසී යනු ඇත. මේ වන බිමට ද අත්වෙමින් තිබෙන්නේ එවන් ඉරණමකි. උඩවලව ජාතික වනෝද්‍යානය හා ඒ ආශ්‍රිත වනාන්තර පද්ධතිය අලි – ඇතුන් ගේ නිජබිමක් ලෙස අලි – මිනිස් සහජීවනයෙන් යුතු කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමේ හැකියාව පවතින මුත් දේශපාලන බලපෑම් මත අලි – මිනිස් සහජීවනය බිඳ හෙලීමේ ක්‍රියාකාරකම් මේ අයුරින් නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණකි.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතුරු දෙසට අලි – ඇතුන් ගේ සංක්‍රමණික ගමන් මාර්ගය විහිදී ඇත්තේ දහයියාගල අභය භූමිය හරහා බෝගහපිටිය, සමනළ වැව වනාන්තරය, සොරගුණේ කැලය හා රජවක වනාන්තර ප්‍රදේශ දක්වායි. මේ ප්‍රදේශය බෝගහපට්ටිය – සමනළ වැව අභයභූමිය ලෙසට ප්‍රකාශයට පත් කිරීමට වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් වී ඇත. එසේ වුවත් අද වන විට ද බෝගහපට්ටිය – සමනළ වැව අභයභූමිය යෝජිත තත්ත්වයේ පවතින අතර, සොරගුණේ කැලය, වන පාළුවන්ගේ රජදහනක් ව පවතී. මේ තත්ත්වය අලි – මිනිස් සහජීවනය බිඳ හෙලීමට ප්‍රබල ලෙස බලපා තිබේ. එසේ පවතිද්දී අලි සමීක්ෂණ සිදු කර අලි – ඇතුන් සංරක්ෂණයට ක්‍රියාමාර්ග ගන්නා බවට නිලධාරීන් වහසි බස් දොඩවයි.

නමුත් මේ වනාන්තරය රක්ෂිත තත්ත්වයට පත් කර අලි – ඇතුන් ඇතුළු වනජීවීන් ගේ රැකවරණය තහවුරු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විටත් නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනාන්තරය ගොල්ෆ් පිටියකට මෙලෙස බිලි වීම පුදුමයට කරුනක් නොවේ.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින අලි – ඇත්තු දහයියාගල අභය භූමිය හරහා බෝගහපට්ටිය, සොරගුනේ හා සමනළ වැව වනාන්තර ප්‍රදේශවලට සංක්‍රමණය වන්නේ එහි පිහිටි කරමැටිය නම් සුවිශේෂී ලවණ නිධියෙන් ලවණ අවශ්‍යතාවය සපුරා ගැනීමට ය. මේ ප්‍රදේශයට අලින්ට අමතර ව ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායී සතුන් බොහොමයක් ලවණ ලබා ගැනීමට එක්රැස් වීම සිදු වේ.

සොරගුණේ වනාන්තරය යනු බෝගහපට්ටිය වනාන්තරය හා සම්බන්ධ ව පිහිටි අක්කර 12000 ක් පමණ වන සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ඉඩමකි. යෝජිත බෝගහපට්ටිය අභය භූමියට මේ නින්දගම් ඉඩම ඇතුළත් වේ. තව ද මේ වනාන්තරය කාල්කන්නි වනාන්තරය ලෙස ද හැඳින්වේ. වේලි ඔයේ සහ කාල්කන්නි ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වන්නේ සොරගුණේ වනාන්තරය යි. වේලි ඔය හරස් කර ලබා ගන්නා ජලයෙන් ක්‍රියාත්මක වන වේලි ඔය වාරි ව්‍යාපාරයේ පැවැත්ම රඳාපවතින්නේ ද සොරගුණේ වනාන්තර ප්‍රදේශයේ සුරක්ෂිතතාව මත ය. වේලි ඔය ව්‍යාපාරයෙන් දහයියාගල, මහ නෙටුල, කුඩා නෙටුල, බෝගස් වැව, හම්බෙගමුව, පොකුණුතැන්න, දිවුලාන ප්‍රදේශවල පිහිටි වැව් 27 කට පමණ ජලය ලබා දේ. ඒ යටතේ යල – මහ දෙකන්නය වගා කරනු ලබන කුඹුරු අක්කර ප්‍රමාණය 3000 ක් පමණ වේ.

යෝජිත ගොල්ෆ් ව්‍යාපෘතියත් සමඟ ම මේ සියල්ල වැනසී යයි. ඊට හේතුව ගොල්ෆ් ක්‍රීඩා පිටිය හා හෝටලය ඉදි කිරීම සඳහා ඉවත් කරන වනාන්තර ප්‍රදේශය වේලි ඔයේ ප්‍රධාන ජලධාරා ප්‍රදේශය වන නිසා ය. මේ වනය එළි කිරීමත් සමඟ ම වේලි ඔය ව්‍යාපාරය උග්‍ර ජල හිඟයකට මුහුණ දෙනු ඇත. එය තවත් දෙගුණ තෙගුණ වන්නේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම සඳහා යෙදීමට සිදු වන අති විශාල ජල ප්‍රමාණය නිසා ය. ඒ සඳහා අවශ්‍ය ජලය වේලි ඔයෙන් හෝ භූගත ජලයෙන් ලබා ගැනීමට සිදු වනු ඇත. එසේ නොමැති ව ඊට වෙනත් විකල්ප නොමැත.

එසේ ජලය ලබා ගත හොත් සිදු වන්නේ වේලි ඔය ව්‍යාපාරය යටතේ වගා කරන සියලු ගොවීන් ජලය නොමැති ව අවතැන් වීම යි.

වියළි කලාපයේ ගොල්ෆ් ක්‍රිඩා පිටියක් ඉදිකර එහි තණ පිටිය කොළ පැහැයෙන් පවත්වා ගැනීමට විශාල ජල ප්‍රමාණයක් යෙදිය යුතු අතර ම, යූරියා පොහොර ද විශාල වශයෙන් යෙදිය යුතු වේ. එසේ පවත්වා ගෙන යන තණ පිටියකට කෘමි උවදුරු ප්‍රමාණය වැඩිවන අතර, ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා අධික ලෙස කෘමිනාශක යෙදිය යුතුය. එපමණක් නො ව පාංශූ ඛාදනය වැළැක්වීම සඳහා පස් අංශු බැද තැබීමට ඇළුමිනියම් අඩංගු සංයෝග තණ පිටියට යෙදිය යුතු වේ. මේ ආකාරයෙන් ගොල්ෆ් පිටියට අධික ව යොදන රසායනික ද්‍රව්‍ය අවසානයේ සාන්ද්‍රගත වන්නේ වේලි ඔය ව්‍යාපාරයෙන් ජලය සපයන වැව්වල ය. මෙලෙස දූෂණය වන ජලය දෛනික කටයුතු සඳහා භාවිතයට ගැනීමට වේලිඔයේ ජල පාරිභෝගිකයින්ට සිදුවනු ඇත. ඒ අනුව මේ ප්‍රදේශයේ සෞඛ්‍ය ප්‍රශ්න රැසක් මතු කිරීමට මේ ව්‍යාපෘතිය හේතු වේ. එපමණක් නො ව වියළි කලාපයේ උග්‍ර පානීය ජල හිඟයක් හා ඒ ඔස්සේ සමාජීය ගැටුලු රැසක් ඇති කිරීමට ද මේ ව්‍යාපෘතිය හේතු වනු ඇත.

යෝජිත ව්‍යාපෘති බිමේ පිහිටි වේලි ඔයේ දිය දහරාවන්

ගොල්ෆ් පිටිය සදහා කපා ඉවත් කිරීමට යෝජිත ශාක

ගොල්ෆ් පිටිය සදහා කපා ඉවත් කිරීමට යෝජිත වනාන්තරය


සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය