Kandy, Transport

මාර්ගය පිළිසකර කරන්නැයි මඟීන්ගෙන් ඉල්ලීමක්

මහනුවර දිස්ත්‍රික්කයේ අම්පිටිය සිට දඹවෙල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවට විකල්ප වෙත වාර්ථාවේ. මේ වන විට මාර්ගයේ කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර මගීන් පවසන්නේ පා ගමනින් උව ගමන් කිරීම අපහසු බවයි. විශේෂයෙන් වැසි දිනවල දී එම තත්ත්වය වඩාත් නරක අතට හැරෙන බව ඔවුන් පවසා සිටී.

මාර්ගය පිළිසකර කරන ලෙසට පලාත් සභාවෙන් මෙන්ම ප්‍රාදේශීය සභාවෙන්ද කොතෙක් ඉල්ලීම් කළද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. එම නිසා මේ සම්බන්ධව අභිනවයෙන් පත්වූ මධ්‍යම පළාත් සභාවේ අවධානය යොමුකරන මෙන් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටී.
අප මේ පිළිබඳව මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලයෙන් විමසූවිට එහි විධායක ඉංජිනේරු විජේකෝන් මහතා පැවසූවේ මෙම මාර්ගයේ නඩත්තු කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් එහෙත් මාර්ගයේ මීටර් 150 පමණ කොටසක් ගිලා බැස ඇති නිසා එය ප්‍රතිසංස්කරණය කිරිමට හැකි ඉක්මණින් කටයුතු කරන බවත්ය.