සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

‛වීදි ඇල්ලුවා කියලා සටනක් දිනන්න බැහැ’ – සමන් පුෂ්පකුමාර

මේ කාලයේ මැදපෙරදිග අරගල කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ අරගලයන් සමගම එක පැත්තකින් ලන්ඩන් වල අරගලයක් ආවා. ලන්ඩන් නගරයේ කඩවලට පැනලා බඩු අරගෙන ගියා. ගින්දර තිබ්බා. ඊට පස්සෙ දැන් ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් වල අරගලයක් පටන් අරන් තියෙනවා. මැදපෙරදිගින් උත්තේජනය වෙලා ඇමරිකාවෙ, එංගලන්තෙ අරගල පටන් ගත්තා කියලා කියන්න බැහැ. මේ අරගල අතර ව්‍යුහාත්මකව සහ අරමුණු අතින් විශාල වශයෙන් වෙනසක් තියෙනවා. මැදපෙරදිග ගත්තට පස්සෙ ඒ රටේ අරගලවල ආකෘතිය වුණේ ඒ රටවල පාලකයන්ට විරුද්ධව තමයි අරගල කළේ. තමන්ගේ තෙල් ප්‍රශ්නය විසඳගන්න පුළුවන් විදිහට, මේ මැදපෙරදිග රටවල ඒකාධිපති පාලකයො හැදුවෙත් බටහිර විසින්ම තමයි. උදාහරණයක් විදිහට සෞදි අරාබියෙත් ඉන්නෙ ඒකාධිපති පාලකයොනෙ. එහිත් ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, ස්ත්‍රී නිදහස නැහැ, ජනමාධ්‍ය නිදහස නැහැ කියලා බටහිර විසින් සෞදි අරාබියට විරුද්ධව යමක් කියන්නෙ නැහැනෙ. නමුත් අනිත් රටවල පාලකයො තමුන් කියන ආකාරයට වැඩ කරන්නෙ නැති නිසා මේ පාලකයන්ව පන්නලා දැම්මා, මරලා දැම්මා. අනික් කාරණය තමයි මේ රටවල් වල මිනිස්සු විසින් පාලනය වෙනස් කරනවා වෙනුවට, බටහිරින්, ඇමරිකාවෙන්, ප්‍රංශයෙන්, නේටෝවෙන් අවි ආයුධ දීලා මේ පාලකයන්ව අයින් කරලා දැම්මා.

පාලකයො අයින් කරලා දැම්මා කියලා සුවිශේෂී තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැනෙ. මේ රටවල යම්කිසි අරාජික තත්ත්වයක් තමයි ඇති වෙන්නෙ. ඉරාකයේ වගේම අස්ථාවරත්වයක් ඇතිවෙනවා. විශේෂයෙන්ම තෙල් ටික ගන්න අවශ්‍ය පාලන ව්‍යුහයක් හදනවා මිසක් ඒ මිනිස්සු ඉල්ලා සිටින ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඒ මිනිස්සුන්ට හම්බ වෙන්නෙ නැහැ.
මේ අරගල පටන් ගන්න කොට අපි කියපු එකක් තමයි මේවා ගල් ගහන අරගල කියලා. විශේෂයෙන්ම මැදපෙරදිග අරගල පක්ෂයක් විසින් මෙහෙයවපු ඒවත් නෙමෙයි, විප්ලවවාදී සංවිධානයක් විසින් මෙහෙයවපු ඒවත් නෙමෙයි. ගල් ගහලා පන්නලා වෙන කෙනෙක්ව පත් කරගන්නවා. එංගලන්තෙදිත් වුණෙ මිනිස්සු කඩ කඩලා, ගිනි තියලා තමුන් ආසකරන දේවල් අරගෙන ගියා. ‛බ්ලැක් බෙරි’ පෝන් වගේ දේවල් තමයි මේ අය අරගෙන ගියෙ. නමුත් වෝල් ස්ට්‍රීට් වලට ආවට පස්සෙ තිබ්බ විශේෂත්වය තමයි, පාලකයව සතුරෙක් කරගෙන අරගල කරනවා වෙනුවට ක්‍රමයේ වැරැද්දක් ගැන, සමාජ අසමානතාවය පිළිබඳ යම් කිසි සාකච්ඡාවක් වෙලා තියෙනවා. ක්‍රමය තමයි ප්‍රශ්නය කියන එකට ඇවිත් තියෙනවා. මේක ඇත්තටම යම් කිසි ප්‍රගතිශීලී තත්ත්වයක්. විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටක ජනතාව වීදි වලට ඇවිල්ලා මේ ක්‍රමය යහපත් කරන්න කියන එක තමයි මේකෙ තියෙන ප්‍රගතිශීලිත්වය.
ඇමරිකාවෙ ගත්තාම ඇමරිකාවෙ මිලියන 40 ක් පමණ දුප්පත් කමින් පෙලෙනවා. ඒ වගේම සමාජ ආරක්ෂණය වෙනුවෙන් තිබුණ ඩොලර් බිලියන ගාණක් කපලා තියෙනවා. ඒ වගේම අවුරුදු 18- 20 තරුණයො හොරකම් කරනවා කියලා වාර්තා වෙනවා. හොරකම් කරලා අහුවුණාට පස්සෙ කියන්නෙ බඩගින්නට හොරකම් කෙරුවෙ කියලා. ඒ වගේම බොහෝ පාසල් වලට, පාසැල දින හතරකට සීමා කරලා වියදම් කපා හරින්න කියලා නියම කරලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයත් එක්ක තමයි වෝල් ස්ට්‍රීට් වල අරගලයක් ඇවිල්ලා තියෙන්නෙ. දැන් නගර 100 ක විතර මිනිස්සු වාඩිලාගෙන ඉන්නවා. ඔබාමාව අයින් කරලා වෙනත් කෙනෙක් පත් කරන්න කියලා මේ අය කියන්නෙ නැහැ. ක්‍රමයේ අර්බුදයක් තියෙනවා කියලා තමයි කියන්නෙ.

සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථයෙන් ගත්තොත්, යම් කිසි සමාජ අරගලයක් ජයග්‍රහණය කරන්න නම් පක්ෂය, පන්තිය සහ නායකත්වය යන සාධක තුනම වැදගත් වෙනව. රුසියානු අරගලය පිළිබඳව සාකච්ඡා කළොත්, නිර්ධන පන්තිය තමයි විප්ලවය කරන්න ඉදිරියට ආවෙ. ඒ වගේම පක්ෂයකුත් තිබුණා, ලෙනින්ගෙ නායකත්වය තිබුණා. ‛අපි සංවිධානය කරන්න ඕනෙ දුප්පතුන්ව නෙමෙයි. නිර්ධනයින්ව කියලා’, ලංකාවෙ සමාජවාදී සමානතා පක්ෂයේ හිටපු නායකයා වන කීර්ති බාලසූරිය කියලා තියෙනවා. දුප්පතුන්ව සංවිධානය කලා කියලා සමාජ පරිවර්තනයක් කරන්න බැහැ, ඒ අය නිර්ධනයො විය යුතුයි. ශ්‍රමය හැර වෙන කිසිම දෙයක් විකුණන්න නැති අය තමයි නිර්ධනයො කියලා සම්භාව්‍ය මාක්ස්වාදයෙදි හඳුන්වන්නෙ. නමුත් වෝල් ස්ට්‍රීට්වල රැස්වෙලා ඉන්නෙ මෙහෙම අයද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එමෙන්ම මෙතන අරගල මෙහෙයවන්නෙ පක්ෂයක් විසින් නෙමෙයි. ඒ වගේම මෙතන සුවිශේෂී නායකයෙක් නැහැ. නමුත් ස්ලැවෝජ් ජිජැක් කියන මාක්ස්වාදි දාර්ශනිකයා මේ වීදි වලට ඇවිල්ලා තියෙනවා. මෙතනදි ජිජැක්ගෙ මැදිහත් වීම අතිශයින්ම වැදගත්. මන්ද ඔහු පසුගිය කාලයෙ දේශපාලනය සහ දර්ශනය පිළිබඳව අළුත් මානයකින් පුළුල්ව සාකච්ඡා කරපු පුද්ගලයෙක්. නමුත් රාජ්‍ය පිළිබඳව, රාජ්‍ය ආයතන පිළිබඳව, ආර්ථිකය පිළිබඳව ලෙනින්ගෙන් වගේ ඔහුගෙන් අදහස් ඉදිරිපත් වෙලා නැහැ. ඒවගේම මෙම වීදිවලට ට්‍රොස්කිවාදී පිරිස් ගිහිල්ලා ඉන්නවා. මේ අයට තියෙන අඩුව තමයි, ආර්ථිකය පිළිබඳව දැනුමක් තිබුණට ජිජැක් කතා කරන උපරිව්‍යුහය පිළිබඳව අදහසක් නැහැ. ඒ අනුව බලනකොට දෙගොල්ලන්ටම අඩුවක් තියෙනවා කියලා තමයි කියන්න පුළුවන්.

මැදපෙරදිග අරගලය සහ වෝල් ස්ට්‍රීට් වල අරගලය සංසන්දනය කෙරුවොත් මැදපෙරදිග පිරිස් රැඩිකල් පරිවර්තනයන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් තමයි ඉල්ලන්නෙ. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සමහර ඒවා නෛතික රාමුවක් ඇතුළෙ තමයි සිද්ධ වෙන්නෙ. නමුත් ජිජැක් කියන්නෙ මේ ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් කිසිදු ආකාරයක සමාජ පරිවර්තනයකට වැදගත් නැහැ කියලයි. ප්‍රජාතාන්ත්‍රීය ඉල්ලීම් තියෙන්නෙ බුරුෂුවා රාජ්‍ය උපකරණයක් විදිහටයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් තියෙන්නෙ, ධනවාදය ප්‍රතිනිෂ්පාදනයට බාධා නොවෙන අයුරින් සමාජය පවත්වාගෙන යන්නයි. දැන් උදාහරණයක් විදිහට මැදපෙරදිග ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ටික ඉදිරියේ දී ලැබෙයි. තෙල් ලබාගැනීම වගේ තමුන්ගෙ වැඩ ටිකට අවශ්‍ය ආකාරයට මැදපෙරදිග සකස් කරගන්න ධනවාදීන් විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ලබා දෙයි. ඒ අර්ථයෙන් ගත්තොත් ධනවාදයවත්, අධිරාජ්‍යවාදයවත්, සූරාකෑමවත් නෙමෙයි ඇත්ත හතුරා ප්‍රජාතන්ත්‍රවාදයයි කියලා කියන්න පුළුවන්. දැන් මැදපෙරදිග කලාපයට සිදුවෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදයට කොටුවෙලා ඇත්ත සමාජ පරිවර්තනයක් සිද්ධ කරන්න බැරි වෙන එකයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මායාවක් කියලා ජිජැක් කියනවා. මෙන්න මේ පණිවිඩය ඔහු වෝල් ස්ට්‍රීට් වල වාඩිලාගෙන ඉන්න අයට දෙනවා. ‛උඹලගෙන් ඇහුවොත් එහෙම උඹලට මොනවද ඕනෙ කියලා, කටවහගනින් කියලා, උත්තර දීපල්ලා’ කියලා ජිජැක් වෝල්ස්ට්‍රීට් වල ඉන්න අයට අනතුරු ඇඟවීමක් කරනවා. ඇයි එහෙම කියන්නෙ? උදාහරණයක් විදිහට හිස්ටරික් බිරිඳක්ගෙන් ‛ ඔයාට මොනවද ඕනෙ?’ කියලා, ස්වාමිපුරුෂයෙක් ප්‍රශ්න අහනවා. ඉතින් බිරිඳ ඉල්ලන ඉල්ලන ඒවා ගෙනත් දෙනවා. ආයිත් මොනව හරි ඉල්ලුවහම ඒකත් ගෙනත් දෙනවා. මේ බිරිඳගෙ තත්වයට වැටෙන්න එපා කියලා ජිජැක් වෝල්ස්ට්‍රීට් වල අයට කියනවා.

සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව වීදි ඇල්ලුවා කියලා සටනක් දිනන්න බැහැ. නිෂ්පාදන කර්මාන්ත ශාලා අල්ල ගන්න ඕනෙ. වීදි අල්ල ගත්තා කියලා සමාජ පරිවර්තනයක් වෙන්නෙ නැහැ. ඒ වගේම දේශපාලන බලය අල්ල ගන්න ඕනෙ. මේවා කිසිවක් නොවී තමයි මේ අරගලය තවදුරටත් දිග්ගැස්සෙන්නෙ. කෙනෙක් හිතන්න පුළුවන් ඔන්න දැන් ඇමරිකාවෙයි, එංගලන්තයෙයි විප්ලවේ සිද්ධ වේ ගෙන එනවා කියලා. නමුත් සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව මොන තරම් විප්ලවීය කොන්දේසි හටගත්තත්, නායකත්වයක් සහ විප්ලවීය පක්ෂයක් නොමැතිව දිනන්න බැහැ. රුසියානු විප්ලවය තුළ නායකයෙක් හිටියා. පක්ෂයක් තිබුණා. ඒ නිසා විප්ලවයක් කරන්න පුළුවන් වුණා. විප්ලවීය නායකත්වයක් නොමැති වුණොත් මේ අය ඉල්ලන ඒවා අනාගතයේදී වෙළඳ පොළ විසින් දෙන්නට නියමිතයි. 1968 ප්‍රංශ ශිෂ්‍ය අරගල වලදි වුණේ මේකයි. ඒ අය ඉල්ලපු ලිංගික ඉල්ලීම් වගේ ඒවා පසුව ජනමාධ්‍ය ආදිය මැදිහත් වෙලා ලබා දුන්නා.

මේවා දිහා බලලා ලංකාවෙ සමහරුන්, ඔන්න දැන් ඇමරිකාවෙ, එංගලන්තෙ විප්ලවය සිදුවෙනවා කියලා ලොකු ජොලියකින් ජීවත් වෙනවා. මගේ මතයට අනුව නම් මේ අරගල වලට වඩා අවංක අරගලයක් ලංකාවේ අවුරුදු 30 ක් තිස්සේ දෙමළ මිනිස්සු විසින් සිද්ධ කෙරුවා. නමුත් 2009 දි ඇමරිකාව, චීනය, ඉන්දියාව, ලංකාවේ පාලකයො, විවිධ කණ්ඩායම්, ජනමාධ්‍යවේදීන් එකතු වෙලා මේ අරගලය කුඩුපට්ටම් කරද්දි කවුරුත් නිශ්ශබ්දව හිටියා. එදා නිශ්ශබ්දව හිටිය අය තමයි අද මේ අරගල ගැන කතා කරන්නෙ. මේ අය තමන්ගෙ රටේ කරපු අරගලය, දෙමළ මිනිස්සු විසින් කරපු හින්දා ඒක දෙකේ කොළේට දාලා දැන් ඇමරිකාවෙ අරගලය ගැන කතා කරනවා. ඒ නිසා තමුන්ම තමන්ගෙ හෘදය සාක්ෂිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ. මේක විමුක්ති අරගලයක් කියලා කිසිවෙක් කිව්වෙ නැහැ. ඒක ත්‍රස්තවාදී අරගලයක් කියලා හංවඩු ගහලා ඒක ඉවර කරද්දි ඒකට සහය දුන්නා. ලංකාවේ මේ අරගලය ගැන හිතන්න පුළුවන් අයට විතරයි බටහිර සිදුවන අරගල දිහා රැඩිකල් ආකාරයට බලන්න පුළුවන් වෙන්නෙ.

සමන් පුෂ්ප කුමාර[Saman Pushpakumara]
ජේෂ්ඨ කථිකාචාර්ය, දර්ශනය සහ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
(සාකච්ඡාවක් ඇසුරෙනි)