සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

නොවැම්බරය: දෙවිදියකට සැළකෙන විරු සමරු මාසය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

සිංහල තරුණ කැරැල්ලේ නායකයා වූ රෝහණ විජේවීර සහ දෙමළ තරුණ කැරුල්ලේ නායකයා වූ ප්‍රභාකරන් අනුස්මරණය කිරීම දෛවෝපගත සිදුවීමක් පරිද්දෙන් එකම මාසයක දී සිදුවෙයි. එනම් නොවැම්බරය යි. රෝහණ විජේවිර ඝාතනය කරන ලද නොවැම්බර් 13 දා ජනතා විමුක්ති පෙරමුණ විරු සමරු දිනය සේ උත්කර්ෂවත්ව සමරයි. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයට පසුදා එනම් නොවැම්බර් 27 දා එල්ටීටීඊ මහ විරු සමරුව පැවැත්වේ. නොවැම්බර් 27දා යනු ප්‍රථම සිය දිවි පුදන කලු කොටි ප්‍රහාරය දියත් වූ දිනය යි.

සිංහල සමාජයෙහි ජවිපෙ මතවාදී අනුගාමිකයින් පමණක් නොව යම් පමණකට හෝ සාමාන්‍ය ජන පිරිස් අතර ද රෝහණ විජේවීර සිය අරමුූණ වෙනුවෙන් ජීවිතය කැප කළ තරුණ නායකයකු ලෙස සැළකේ. ඔහුගේ රුව රැගත් පෝස්ටර් රට පුරා ප්‍රදර්ශණය කැරෙන අතර කිසිවකු ඒවා ඉරා දමන්නේ නැත. රජය එම උත්සවයන්ට නිල වශයෙන්ම අවසර දෙයි. එම විරු සමරු මහෝත්සවයන්හිදී විජේවීර ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා ලෙසත් 1971 සහ 1988-1990 සන්නද්ධ අරගල ධනවාදයට එරෙහිව කරන ලද විප්ලවීය අරගල ලෙසත් උත්කර්ෂයට නංවනු ලැබේ. මෙම සමරුව දහස් ගණනාවක් වන සිය මිය ගිය සගයින් සිහිකැරෙන හැඟුම්බර අවස්ථාවක් බවට පත්වෙයි.

එසේ නමුත් 1971 සුලු පරිමාණයෙන් ද 1988 දී මහා පරිමාණයෙන් ද ජවිපෙ කැරලිකරුවන් විසින් විවිධ හේතූන් මත සිය සතුරන් ලෙස සැළකූ නිරායුධ පිරිස් ඝාතනය කල බව අපි දනිමු. එකළ අප බොහෝ දෙනෙකු කල්ගත කළේ කවර පාර්ශවයක් විසින් අප මරා දමනු ඇත්දැයි නිරන්තර පරීක්ෂාවෙනි. සිය දරු පවුල නඩත්තු කිරීම පිනිස අනුරාධපුර පොළෙහි බඩු විකුණමින් සිටි ජවිපෙ හිටපු වර්ණවත් නායකයකු වු නන්දන මාරසිංහ මරා දමන ලද්දේ ඔහු පක්ෂය හැර ගොස් සිටි නිසා ය. ජනෙල් පියන් පත් නැති සිය දුගී නිවසෙහි මේසයට වී කවියක් ලියමින් සිටි දේශපාලන ක්‍රියාධරයකු වූ ජේම්ස් ඇතුගල මරා දමනු ලැබුවේ ඔහු දේශපාලන විසඳුමකට පක්ෂපාතව සිටි නිසා ය. මෙවැනි පුද්ගල ඝාතන දහස් ගණනාවකට පමණක් නොව ඇදිරි නීති පැණවීම, වැඩ වර්ජන කැදවීම සහ හැදුනුම් පත් එක් කිරීම වැනි මරනයේ තර්ජනය මගින් සමාජය මත පටවන ලද බලහත්කාර දේශපාලන ක්‍රියාවළියකටම එය වග කිවයුතු විය.

එමෙන්ම එම අරගල දෙකෙහිදී ම ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම පිණිස ආරක්ෂ හමුදා සමඟ යුද්ධයකට අවතීර්ණ වූහ. එම සටනේ ම කොටසක් ලෙස පොදු දේපල මහා පරිමාණයෙන් විනාශ කළහ.

මහා පරිමාණ මර්දනයකට මුහුණ දී යළි සංවිධානගත වෙමින් සිටි ජවිපෙට ප්‍රසිද්ධ දේශපාලනයට පැමිනීමට ඉඩ දිය යුතු බවට ඒ සියළු කරුණු කාරනා තිබියදීත් අප වැනි පිරිස් 1990 ගණන් මුල කාලයේ සිටම උද්ඝෝෂනය කළෙමු. ඊට හේතුව වශයෙන් අප කල්පනා කළේ ජවිපෙ හුදු සන්නද්ධ බලවේගයක් නොව ශ්‍රී ලාංකික සමාජ දේශපාලන බලවේගයක් වන ජවිපෙට ප්‍රජාත්ත්‍රවාදී දේශපාලන අවකාශයක් තිබිය යුතු බවට වූ අපේ විශ්වාශය යි. එමෙන්ම සිය අරමුණ වූ ධනවාදය පෙරළා දමා සමාජවාදය පිහිටුවීම අත නොහරින නමුත් සන්නද්ධ අරගල මාවත අත් හරින බවට ජවිපෙ කියා සිට තිබුණි. දැන් ජවිපෙ (එහි කණ්ඩායම් දෙකම) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සමීකරණයෙහි නොසළකා නොහැරිය හැකි දේශපාලන ධාරාවකි. එය විසින් කරන ලද ප්‍රචණ්ඩ දේශපාලනය හේතු කොට ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණිමට ජවිපෙට ඉඩ නොදෙන ලද්දේ නම් එය විසින් නියෝජනය කරනු ලබන දේශපාලන බලවේගය රහසිගත ප්‍රවණතාවයක් ලෙස හෝ වර්ධනය වන්නට බොහෝ දුරට ම ඉඩ තිබුණි.

දශක තුනක් පුරා වර්ධනය වූ උතුරේ සන්නද්ධ කැරැල්ල ද දකුණේ දී මෙන්ම අවසානයේ දී තීරණාත්මක පරාජයකට ලක්විය. දෙවසරක් පැවැති දකුණේ සන්නද්ධ කැරැල්ලට සාපේක්ෂකව තිස වසරක් පුරා පැවැති උතුරේ සන්නද්ධ කැරැල්ල විසින් ඇති කරන ලද විපාක විය යුතු පරිදිම අති මහත් ය. දකුණේ සිංහල තරුණයින් සිංහල ආධිපත්‍යවාදී රාජ්‍ය පෙරළා දමා බලය අල්ලා ගැනීමට අපේක්ෂා කළ අතර උතුරේ කැරැල්ලේ විශේෂත්වය වූයේ සිංහළ ආධිපත්‍යවාදී රාජ්‍යට එරෙහිව වෙනම රාජ්‍යක් පිහිටුවීමට අරමුූන වශයෙන් තිබීම යි. උතුරේ කැරැල්ල මෙහෙය වූ එල්ටීටීඊ ය විසින් ද දහස් ගණනින් සිවිල් ජනයා මරණයට යවනු ලැබූ අතර දෙමළ සමාජය මත අතිශය දරුණූ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගන්නා ලදී.

යුද්ධයෙන් තීරණාත්මක වශයෙන් පරාජය වූ නමුත් දෙමළ කැරැල්ලේ බලවේග ද දකුනේ කැරැල්ලේ බලවේග මෙන්ම සිය සමරු දින පවත්වයි. එනමුත් එම ස්මරණයන් අරභයා ශ්‍රී ලාංකික රාජ්‍ය දක්වන ආකල්පය සහමුලින්ම වෙනස් ය. යුද්ධයේ අවසන් දිනය ලෙස සැළකෙන මැයි 19 දින යුද්ධයේ දී මිය ගිය සිය දරුවන්, මා පියන්, ඥාතීන් සහ සගයින් සැමැරීමට දෙමළ ජනතාවට නොනිල වශයෙන් තහනම් කර තිබේ. දෙමළ කැරැල්ලේ විරු සමරුව වන නොවැම්බර් 27දින උතුරු නැගෙනහිර පුරාම කවරාකාරයක හෝ මහජන රුස්වීම් මෙන්ම කෝවිල්සහ දේවස්ථානයන්හි වන ආගමික මෙහෙයන් ආරක්ෂ හමුදා විසින් තහනම් කරයි.

පසුගිය මාසයෙහි යාපනයේ පනවන ලද එවැනි තහනමක් ජනමාධ්‍යයට වාර්තා කළ සිවිල් සමාජ ප්‍රධානියකුට වහාම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට පවා සිදු විය. එළෙස වන්දි ගෙවීමට සිදු වූයේ කරෙයිනගර්හි සිවිල් සංගමයේ සභාපති අනෙයිමූන් වේලායුදන්ටය. ඊට හේතුව වූයේ යුද හමුදා පිරිස් පැමිණ නොවැ. 27වන දින කෝවිලෙහි ඝන්ඨා නාද නොකරන ලෙසට බලකරනු තමා දුටු බව බී.බී.සී. දෙමළ සේවයට 25වන දින ඔහු කළ ප්‍රකාශය යි. එහි විපාකයක් ලෙස ඔහුගේ නිවෙසට පසුදින අළුයම 1.30 පමණ අත් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල විය. රාත්‍රි 1.30 යාපනයේ වෙඩි සහ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැක්කේ කවරකුටද යන්න පිළිතුරු සෙවීම එතරම් දුෂ්කර ප්‍රශ්ණයක් නොවේ.

මඩකළපුවෙහි එදිනට නියමිත වූ සියළු ප්‍රසිද්ධ රැස්වීම් කල් දමන ලෙස යුද හමුදාව නියෝග කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී සී. යෝගේස්වරන් ජනමාධ්‍යට කියා සිටියේ ය. මඩකළපු නගරයේ දී පොතක් එළිදැක්වීමට සහ සඟරාවක් ප්‍රකාශයට පත් කිරීමට 29දින යොදා තිබූ මහජන හමු එලෙස කල් දමන ලද රුස්වීම් අතර විය.

එසේ නමුත් කැරැල්ල පැවැති අවධියෙහි මහ විරු සමරු පහන දැල්වූ නොවැම්බර් 29දා සවස හරියටම 6.05ට යාපනයේ සරසවි සිසු පිරිසක් රහසිගතව බාලසිංහම් නේවාසිකාගාරයේ වහළය මතට නැග විරු සමරු පහන දැල්වූ බව දෙමළ ජනමාධ්‍ය ජායාරූප සහිතව ප්‍රසිද්ධියට පත් කළෝ ය. එමගින් පෙනී ගියේ මර්දනයට සමානුපාතික ඊට මුහුණ දීමට ක්‍රම සහ විධි සොයා ගැනීමේ අභිලාෂයක් යම් යම් තරුණ පිරිස් අතර පවතින බව යි. තවද මහ විරු දිනය අළලා විවිධ රහසිගත පත්‍රිකා පෙදා හැරීම් ද සිදු වූ බව සහතික නොකළ වාර්තා දක්වයි. මර්දනකාරී තත්ත්වයක් විසින් ඇති කරනු ලබන අනීවාර්‍ය විරුද්ධත්වය පෑමේ ගතිකත්වයන් දෙමළ සමාජය තුළ ප්‍රකාශණයන් සොයා ගන්නට පටන් ගත් විට ඒ විසින් දාම ක්‍රියාදාමයක් ඇති කරනවා ඇත.

උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ද යුද්ධයට ජීවිතය පරිත්‍යාග කළ සහ යුද්ධය විසින් ජීවිත උදුරාගත් දස දහස් ගණනාවක් ඥාතීන් සහ සගයින් පිළිබඳ උණුසුම් මතකයක් තිබේ. එම මතකය තහනම් නියෝග මගින් යටපත් කර දැමීමට කවර පාලනයක් හේ සමත් නොවන බවට උදාහරණය අපට දකුනෙන්ම සැපයෙයි. රෝහණ විජේවීර පිළිබඳව ජවිපෙ මානසිකත්වය තුළ ඇති හැඟුම්බර මතකය වේලුපිල්ලේ ප්‍රභාකරන් පිළිබඳව දෙමළ කැරලිකාරී සමාජ මානසිකත්වය තුල නැති වීමට හේතුවක් තිබේ ද? මාස කිහිපයකට පෙර දහස් ගණනාවකගේ සහභාගිත්වයෙන් ජීනීවා නුවර පැවැති පොන්ගු තමිල් උත්සවයට සහභාගි වූ දෙමළ තරුණ පිරිස් හැඟුම්බර ලෙස කැ ගැසූ එකම වචනයක් විය. ඒ ප්‍රභාකරන්, ප්‍රභාකරන් යන්න යි. අප කැමැති වුවත් නැතත් එම හැඟීම යම් දුරකට හෝ ශ්‍රී ලංකාවේ ජීවත්වන කැරලිකාරි මනසැති දෙමළ තරුණයා තුළ ද පවතිනවා ඇත.

එල්ටීටීඊ සෙහොන් බිමට සමතලා කොට ඒ මත හමුදා කදවූරු ඉදිකිරීමෙන්, ප්‍රභාකරන්ගේ නිවෙස බිමට සමතලා කිරීමෙන් සහ මිය ගිය සිය වර්ගයා සිහි කිරීම තහනම් කිරීම මගින් ශ්‍රී ලංකාණ්ඩුව පෙන්වන්නේ එහි දේශපාලන ශක්තිය නොවේ. හුදු මිලිටරි බලය යි. ඇත්ත වශයෙන් නම් ඒ විසින් පෙන්වන්නේ මියගියවුන්ගේ සොහොන් කොත්වලට මුහුන දිය නොහැකි ශ්‍රී ලංකාණ්ඩුවේ දේශපාලන දුර්වලතාවය යි. සැබෑ සංහිදියාවක් ගොඩ නැගීමට නම් අවශ්‍ය වන්නේ අන්‍යොන්‍ය විශ්වාසය සහ අනෙකා ඉවසීම සහ ගරුකිරීම යි. එනමුත් නොවැම්බරයට යෙදෙන විරු සමරු මාසයේදී දකුණේ කැරැල්ල මහ ඉහලින් සැමරෙන අතරෙහි උතුරේ කැරැල්ල සැමැරීම සහමුලින්ම තහනම් කිරීමෙන් පෙනී යන්නේ යුද්ධාවසානයෙන් දෙවසරකට පසුත් යුද්ධය අවසන්ව නැති බව නොවේ ද?.

සිංහල කැරලිකරුවන්ගේ පරම්පරාවට මෙන්ම දෙමළ කැරලිකරුවන්ගේ පරම්පරාවට ද සිය වීරයින් සැමරීමට අයිතියක් තිබේ. ඊට ඉඩ නොදීම මගින් සිදුවන්නේ දෙමළ සමාජය තව දුරටත් සිංහල ආධිපත්‍යවාදී රාජ්‍යයෙන් ඉවතට ගමන් කිරීම යි. මෙම වර්ධනය සිදුවන්නේ රජයෙන් නඩත්තු වන දෙමළ දේශපාලන පක්ෂ හැර අන් සියළු දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියානු ක්‍රමයේ සන්දීය දේශපාලන ක්‍රමයක් මෙරට දෙමළ ජනයාට ද අවශ්‍ය යැයි නොනිල එකඟතාවයක් කරා පැමිණෙමින් සිටියදී ය. මෙම ප්‍රවණතා දෙකෙහි ඒකාබද්ධවීම අද හෙට සිදු නොවුන ද කල් නොයා සිදුවීමට නියමිත ය. එය වෙනස් කළ හැක්කේ ඉක්මන් සහ තිරසාර දේශපාලන විසඳුමක් ක්‍රියාවට නැගීමෙන් පමණි. එනමුත් වර්ථමානයේ උතුරු නැගෙනහිර දක්නට ලැබෙන මිලිටරිකරණ සහ සිංහලකරණ ක්‍රියාදාමය විසින් පෙන්වන්නේ දෙමළ ජනයාට තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ දේශපාලන ව්‍යුහයක් පිහිටුවීමට මෙරට ඇති ඉඩ අල්ප බව යි.

එවැනි තත්ත්වයක් යටතේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා මත පැනවෙන මෙවැනි සීමාකාරී නියෝග මගින් සිදුවනු ඇත්තේ ඒවාට අභියෝග කිරීමට නව මං සොයා තරුණ පිරිස් පෙළඹීම ය. එය යහපත් වර්ධනයක් විමට ඉඩක් නැත.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]