ආනන්ද කුමාරස්වාමි |නෙළුම් පොකුණ – Video Interviews

[සංස්කාරක සටහන - පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස එතෙක් නම් දරා තිබූ මාර්ගය, මෙම රගහල විවෘත වීමත් සමග නෙලුම් පොකුණ මාවත ලෙස බළධාරීන් විසින් වෙනස් කරන ලදි. විශේෂයෙන් කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයට ගැඹුරැ හා විදග්ද මෙහෙයක් කළ ආනන්ද කුමාරස්වාමි ලොව පතල දාර්ශනිකයෙකි. කලා විචාරකයෙකි. ඔහු විසින් දීර්ඝකාලීන පර්යේෂනයන්ගෙන් පසු පළ කරන ලද සිය ගණනක් වූ ග්‍රන්ථ හා පර්යේෂණ ලිපි අද දක්වා ලොව පුරා බුදු දහම, හිංදු දහම පෙරඅපර දිග දර්ශණය, සංගීතය, පෙර අපර දිග නාට්‍ය හා නැටුම් කලාවන් හදාරන විද්වතුන්ගේ පාඨ ග්‍රන්ථ බවට පත් වී ඇත. නමුත් රටේ අමනොඥ පාලකයින් මෙම විද්වතා වෙනුවෙන් නම් කර ඇති මාර්ගය පවා වෙනස් කළේ කිසිදු සොයා බැලීමකින් තොරවය. මේ ඒ පිළිබදිව චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නාට්‍යවේදියෙකු වන ධර්මසිරි බණ්ඩාරනායක, රාවය ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන්, කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ආචාරය මයිකල් ප්‍රනාන්දු සමග ‘විකල්ප පුරවැසි වෙබ් අඩවිය‘ සිදු කරන ලද සාකච්ඡාවක වීඩියෝ සටහනක් මෙසේ ඉදිරිපත් කරමු.]

____________________________________________________________________________________________________

‛‛……මම පුද්ගලිකව හිතන දේ තමයි නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි කියන එක. නෙළුම් පොකුණ ආනන්ද කුමාරස්වාමිට වඩා ගොඩක් පුංචියි. ආන්නද කුමාරස්වාමිව අභිබවා අළුත් දෙයකට තැන ලැබිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. විශේෂයෙන්ම මේ වගේ කාලයක ඒක වඩාත්ම වැදගත්.අපිට ගෞරවයෙන් සමරන්න ඉන්න දෙමළ විද්වතුන් කිහිපදෙනා දිහා වඩා සංවේදීව බැලිය යුතුයි කියන එක තමයි මම හිතන්නෙ. ජාතීන් ගොඩනගන්න හීන දකින්න, නැවත මේ අය එකතු කරන්න හීන දකින සමාජයක් විදිහට මේ විදිහට ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ කියලා වෙනස් කරපු එක ඉතාමත් අවුල් ඇති කරන ප්‍රශ්නයක් කියන එක තමයි මගේ අදහස. ඒක නොවිය යුතුව තිබුණා.’’ - රාවය ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් YouTube Preview Image

____________________________________________________________________________________________________
‛‛…….දේශප්‍රේමී කියලා හිතන අයගේ යුතුකමක් තමයි මේ වගේ අයට කෘතගුණ සැළකීම. ආනන්ද කුමාරස්වාමි යන නමින් පසුගිය කාලයේ හැදින්වුනු මාවත විජිත යුගයේ හැඳින් වුණේ ග්‍රින් පාත් කියලා. මේ ස්ථානයේ තමයි ජෝන් සිල්වා රඟ හල, කලා භවන වැනි ස්ථාන පිහිටලා තිබෙන්නේ. ඒ නිසා මේ ස්ථානය ඉතාමත් වැදගත් එතුමාගේ නමින් නම් කිරීම. මගේ පුද්ගලික අදහස නම් මේ මෑතදී තැනූ විශාල නාට්‍ය ශාලාවට සුදුසුම නම තමයි ආනන්ද කුමාරස්වාමි රඟහල කියන එක.’’ - ආචාර්ය මයිකල් ප්‍රනාන්දු YouTube Preview Image

____________________________________________________________________________________________________

”…….රඟහල ඉදිකරපු මාවතේ ආනන්ද කුමාරස්වාමි කියන නම අයින් කරලා නෙළුම් පොකූණ මාවත කියලා එය නම් කරනවා. නෙළුම් පොකුණ මාවත කියලා පොලොන්නරුවෙ නම් කරගත්තට කිසි ගැටළුවක් නැහැ. ඒ උද්‍යානය සහ පොකුණ පොලොන්නරුවෙ තියෙන නිසා. මෙම පාර මෙලෙස නම් කිරීම කලාකරුවන්ව නොතකා හැරීමේ තත්ත්වයට තවත් උදාහරණයක්. ආනන්ද කුමාරස්වාමි කියන මහා ප්‍රාඥයාට ඉන්දියාව පවා ගෞරව කරනවා. ඉන්දියාවේ ඕනෙ විද්වතෙක් ආනන්ද කුමාරස්වාමිව දන්නවා. මේ බඩගෝස්තරවාදී අළුත් පන්තියට ආනන්ද කුමාරස්වාමි, සරච්චන්ද්‍ර ඒවා මුකුත් වැඩක් නැහැ. ඒ නිසා ඔවුන්ට හිතු මනාපේ ඒ ඒ ආකාරයට ඒවා නම් කරමින් සිටිනවා. ආනන්ද කුමාරස්වාමි කියන විද්වතාගේ නම මේ මාවතට යෙදීමට දැනුත් ප්‍රමාද නැහැ. එහෙම කරන්නෙ නැත්නම්, මේ යන්නෙ කුමන දිශානතියක් කරාද කියලා අපි හිතාගත යුතුයි. මේ නන්නත්තාරවාදය පරාජය කළ හැක්කේ ඒ රටේ ජනතාවගේ අවබෝධය මතයි කියන එක පැහැදිලිවම අපි අවබෝධකරගත යුතුයි.” - නාට්‍යවේදි ධර්මසිරි බණ්ඩාරනායකYouTube Preview Image

____________________________________________________________________________________________________

‛‛…………….ඔහු තමයි කියන්නේ කලාව, කලාකරුවන් කලා ඇසෙන් කලා ඉතිහාසය විමර්ශණය කරන්න ඕන කියලා. හුදෙක් පුරාවිද්‍යා දෘෂ්ඨියෙන් අයින් වෙලා. ඒ සඳහා තමයි ඔහු දායක වෙන්නේ. අලුත් සොයා ගැනීම් සහ නව අර්ථකතනයන් සඳහා මාවත විවර කරන්නේ කුමාරස්වාමි. විශේෂයෙන් බටහිරට, ආසියාතික කලාවේ දේවල් එකතු කිරීමේ මූලික පුද්ගලයන් අතර විශේෂ අයෙක් බවට කුමාරස්වාමි පත් වෙනවා. එබඳු විශිෂ්ඨ පුද්ගලයෙක් ගැන ඔහුට නාම මාත්‍රිකව හිමිවෙලා තිබුණු පාරක නම මකා දැමීම පිළිබදව දැඩි කම්පනයට පත් වෙනවා. මොකද ඒ නම එතන නිකම්ම දැම්ම එකක් බවට පෙනෙන්නේ නෑ. එතන තමයි ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථාන ගණනාවක් තිබෙන තැන.’’ - කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර YouTube Preview Image

Speak Your Mind

Tell us what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!