සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

“ආණ්ඩුව අසරණ ධීවරයන් මරා දාන එක, මේ විදිහට පෙලන එක, අපි තරයේ හෙලා දකිනවා.”

“මේ ආණ්ඩුව තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව පෙලමින් සිටිනවා.තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව අද වෙඩිතියලා මරලා දාන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක්. අපි මෙතනට එද්දි තමයි දැනගත්තෙ අපෙ ධීවර සහෝදරයෙක් මරණයට පත්වෙලා කියලා. මොහු පෙරේදා අපිත් එක්ක පාරට බැහැපු ධීවර සහෝදරයෙක්. ඇත්තටම මේක කණගාටුදායක තත්ත්වයක්. ආණ්ඩුව මේ විදිහට අසරණ ධීවර ජනතාව මරා දාන එක, මේ විදිහට පෙලන එක, ඇත්තටම අපි තරයේ හෙලා දකිනවා.”

ආර්ථික බර ජනතාවගේ කර මත පැටවීමත්, එයට එරෙහිව නැගී සිටින ජනතාවට වෙඩි තබා ඔවුන්ව ඝාතනය කිරීමත් හරහා ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙල හෙලා දකිමින් අද(15) කොළඹ ලංකා බැංකු සේවක සංගමයේ දී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය, එම අවස්ථාවට සහභාගී වූ ලෝයල් පීරිස් නැමැති ධීවරයා තම අදහස් ඉදිරිපත් කිරීම ආරම්භ කළේ මේ ආකාරයටය. හලාවත, තොඩුවාව ධීවර එකමුතුවේ නියෝජිතයෙක් සහ පූර්ණකාලීන ධීවරයෙක් වන මොහු ආණ්ඩුවේ ආර්ථිකමය හා හමුදාමය මර්ධනය සම්බන්ධයෙන් තවදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“විශේෂයෙන්ම ධීවර ජනතාව වැඩියෙන් භූමිතෙල් භාවිතා කරනවා. අද ඒ සියලුදෙනාගෙ ජීවිතවලට ඉන්ධන මිල වැඩි වීමේ බර පටවලා මේ ආණ්ඩුව යන්නෙ කොහෙද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ ධීවර ඇමතිතුමා තමන් හදාගත්ත ජාතික ධීවර සම්මේලනය කැඳවලා තමන්ට ඕනෙ ප්‍රකාශය ඔවුන් ලවා කරවා ගන්නවා. පෙරේදා ධීවර උද්ඝෝෂණවලදි කිසි කෙනෙක් කිව්වෙ නැහැ අපිට සහනාධාර ඕනෙ කියලා. අපි හැමදෙනාම කිව්වෙ අපිට සහනාධාර එපා. සහනාධාර රැවටීමක්. මීට ඉස්සරත් සහනාධාර දීලා අපිව රවට්ටලා තියෙනවා. අපි ඒ නිසා ආයෙ රැවටෙන්න කැමති නැහැ. ඒ නිසා ආයෙ සහනාධාර එපා.”

“පසුගිය අවුරුදු වල සිට පසුගිය ඉරිදා දක්වා විශේෂයෙන්ම භූමිතෙල් මිල රුපියල් 56කින් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා දැන් අපිට ධීවර රැකියාව කරන්න බැහැ. තවත් අපි මූදු යන්නෙ නැහැ. අපිට මුහුදු යන්න විදිහක් නැහැ.ඉන්ධන මිල වැඩිවීමට සාපෙක්ෂව කවදාවත් මාළු මිල වැඩිවෙන්නෙ නැහැ. ඇයි මාළු මිල වැඩි නැද්ද කියලා ඇමතිලා අහනවා. මාළු මිල වැඩි වෙන්නෙ නැහැ. මාළු කුණු වෙනවා. ඒ නිසා අපට වැඩි කාලයක් තියා ගන්න බැහැ. දවසයි දෙකයි තියාගන්න පුළුවන්. අපිට කවදාවත් ඉන්ධන මිල වැඩි වීමට සාපෙක්ෂව, බඩු මිල වැඩි වීමට සාපෙක්ෂව, මාළු මිල වැඩි වෙන්නෙ නැහැ. ඒ නිසා ඇමතිලා මේ බොරු කියන්නෙ.”

“මේ පෙන්වන්නෙ ආණ්ඩුවෙ නොහැකියාවයි. තමන්ව බලයට පත් කරපු දුප්පත් ජනතාවට කොකා පෙන්වලා, ඔවුන්ව මරා දලා, බලය පාවිච්චි කරලා මර්ධනය කරලා තමන්ගෙ වැඩේ කරගෙන යන්න තමයි මේ හදන්නෙ. දැන් අපිට එක මාසයක රැකියාව වෙනුවෙන් භූමිතෙල් සඳහා රුපියල් විසදහසක්, තිස්දහසක් වැය කරන්න වෙනවා . අපි මෙහෙම වියදම් කරන්නෙ අපේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න, අපේ දරුවන්ගෙ, පවුල් වල අවශ්‍යතා ඉටුකරන්න හොයන මුදල්. දැන් අපි කොහොමද අපේ දරු පවුල් ජීවත් කරන්නෙ. මේක මහ අපරාධයක්. ආණ්ඩුව මේ අපරාධයට වගකිව යුතුයි. අද අපේ ධීවර සහෝදරයෙක් මරලා දැම්මා. තව කෙනෙකුට ඉතාම බරපතලයි කියලා ආරංචි වෙනවා. එයාටත් මොනව වෙයිද කියලා අපි දන්නෙ නැහැ. මේවට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වගකියන්න ඕනෙ. අපි අවසාන වශයෙන් කියන්නෙ අපිට සහනාධාර එපා. අපි ඉල්ලන්නෙ වැඩිවෙච්ච ඉන්ධන මිල අඩු කරන්න කියලා පමණයි.”

මෙම අවස්ථාවට වෘත්තීය සමිති සාමාජිකයන් බොහෝ පිරිසක් සහභාගී වී සිටි අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන් දැක් වූ අදහස් මෙසේය.

“ඕනෙම දෙයක් සිදුවුණාම එල්.ටී.ටී.ඊ එක ඉස්සරහට දානවා. පසුගිය දිනවල උසස් පෙළ විභාගයට එරෙහිව ගුරු වෘත්තිය සමිතිය ක්‍රියාත්මක වුණාම කිව්වෙත් කොටි සංවිධානය තමයි මේක කරන්නෙ කියලයි. දැන් මේ කොටින්ව මර්ධනය කළා කියන ආණ්ඩුවම තමයි මෙහෙම කියන්නෙ.ආණ්ඩුව පසුගිය 11 වෙනිදා මේ රටේ ඉන්ධන මිල වැඩි කළා. ඊට පසුවදා උසාවිය ඉදිරිපිට මහ දවල් සැකකාරයෙක්ව පැහැරගෙන ගියා. ආණ්ඩුව එහෙම කළේ මේ සමාජය ත්‍රස්ත කරලා බය කිරීමටයි. ඊට පස්සෙ කොළඹ නගරයේ පිලිස්සුණු මළ සිරුරක් ප්‍රදර්ශනය කළා. ඒකත් එක්කම බස් ගාස්තු වැඩි කළා. අද ධීවරයෙක් මරා දාලා තියෙනවා. ආණ්ඩුව මේ සැරසෙන්නෙ තමන්ගෙ ක්‍රියාවන්ට එරෙහිව නැගිටින ජනතාව බිය ගැන්වීමටයි. මේක ආණ්ඩුව පාවිච්චි කරපු පැරණි ක්‍රමයක් කියලා ආණ්ඩුවට අපි කියනවා. මේ විදිහට ඝාතනය කරලා, මරණ ප්‍රදර්ශනය කරලා, පැහැරගැනීම් කරලා, ආණ්ඩුවට එරෙහිව නැගිටින මේ ජනරැල්ල මඩින්න පුළුවන්කමක් නැහැ කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා.”