සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

‘සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකරමි ‘ – රිචඩ් ද සොයිසා

”රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප්‍රචලිත මතය තමයි, ඔහු 87-90 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා මැරෙන්න පෙර මාසයක් ඇතුළත වගේ කාලයක මාව මුණගැසෙන්න ආවා. එවකට විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්න, ඉතාමත්ම වේගයෙන් දේශප්‍රේමයට ලංවෙමින් සිටින තරුණයන් දහ පහලොස් දෙනෙක් ඉන්නවා, ඒ අයට දේශප්‍රේමය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් මොනවද කියලා කියන්න පුළුවන්ද කියලා මගෙන් අහුවා. මේ දේශප්‍රේමය ඇතිවුණාම කොහොමද ඒක ඉවර වෙන්නෙ කියලා ලෝක අත්දැකීමෙන් විස්තර කරන්න කියලා මට කිව්වා. ඒ දවස්වල තත්ත්වය හරි භයානකයි. හැම තැනම මරනවා. මම මේ තරුණයන්ට රිචඩ්ගෙ ගෙදරකදි කතා කළා. මම දේශප්‍රේමයේ තියෙන විනාශය පිළිබඳව තරුණයන්ට පහදලා දුන්නා. ඊට සුමාන දෙක තුනකට පස්සෙ රිචඩ්ව ඝාතනය වෙනවා. ඉතින් රිචඩ් දේශප්‍රේමය අගය කරපු ජවිපෙ දේශපාලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණා කියන එක මම කොහොමද පිළිගන්නෙ?”

අතුරුදහන් වීමට පෙර කතා කරමු යන නමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් ඊයේ (18) කොළඹ පුස්තකාල මණ්ඩල සේවා ශ්‍රවණාගාරයේදී සංවිධානය කළ රිචඩ් ද සොයිසා 22 වෙනි සැමරුමේ දී ඒ අවස්ථාවට සහභාගී වු සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ විසින් රිචඩ් පිළිබඳ තම මතකය මෙලෙස අවදි කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වු ගාමිණී වියන්ගොඩ,

”ර්‍ඔහුගෙ ඝාතනය සිදුවීමට වඩාත් ආසන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි, රිචඩ් විසින් ඒ දවස්වල සිදුවෙමින් පැවති මහා ඝාතනයන් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මාධ්‍ය වලට තොරතුරු සැපයීම තමාගේ වගකීමක් ලෙස සැලකුවා. ලංකාවේ පුවත් පත් සහ අනෙකුත් ජනමාධ්‍ය ඒවා වාර්තා නොකරන අවස්ථාවේ මේවා ලෝකයට දන්වන එක තමන්ගෙ වගකීමක් කියලා රිචඩ් හිතුවා. ඒ නිසා ඔහු ඒ වන විට වැඩකරපු මාධ්‍ය ජාලය හරහා රජය විසින් සිදු කරන මහා ඝාතනයන් පිළිබඳව තොරතුරු සැපයුවා. අනෙක් කාරණය තමයි රිචඩ්ගෙ හොඳම යහළුවො ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයො ලෙස හිටියා. ඒ වගේම පෑගෙන ජනයා ගැන ඔහුට විශාල ආදරයක් තිබුණා. ඒක නිසා ඔහු දේශප්‍රේමය ප්‍රතික්ෂේප කළත්, පෑගෙන ජනයා ගැන කතා කරපු ඒ තරුණයන් දෙස බැලුවෙ ඉතාමත්ම සානුකම්පිතව. ඉතින් මේ තත්ත්වය හරහා, ඔහු ජේවිපි සාමාජිකයෙක් කියලා එවකට හිටපු ආණ්ඩුව වැරදි අර්ථකථනයකට ගිහිල්ලා ආපු නිගමනයකින් ඔහු ඝාතනය වුණා කියන එකයි මගේ විශ්වාසය.

ර්‍මගේ ජීවිතයේ දී මට හමුවෙලා තියෙන සුන්දරම මිනිහා විදිහට තමයි මම රිචඩ් ද සොයිසාව දකින්නෙ. වාමාංශික දේශපාලනය පිළිබඳව, මාක්ස්වාදී සාහිත්‍යය පිළිබඳව,තරුණ ප්‍රශ්න පිළිබඳව, ඔහුගෙ විශාල පිපාසයක් තිබුණා. ඔහුගෙ පන්ති මුලයන්ගෙන් බැලුවහම ඒ පන්තියක තරුණයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි විදිහෙ චරිත ලක්ෂණ රිචඩ්ට තිබුණා. රිචඩ්ගෙන් පස්සෙ වර්තමාන කාලයට එනකොට අපිට රිචඩ්ලා ගොඩක් හම්බ වෙනවා. උස්සගෙන යන අය, මහ දහවල් ඝාතනය කරන අය, උස්සගෙන ගිහිල්ලා පහුවදාට මිනිය හම්බවෙන අය වගේ රිචඩ්ලා බොහොමයක් හම්බවෙනවා. මේක අද නිතිපතා සිදුවන දෙයක් බවට පත්වෙලා. මේක ආණ්ඩුවෙ විතරක් වැරැද්දක් ලෙස අපිට දකින්න බැහැ. මේ විදිහෙ වැරදි සම්බන්ධයෙන්, අපි හරි ලෙහෙසියෙන්ම පාලකයන්ගෙ පැත්තට ඇඟිල්ල දික් කරනවා. පාලකයො වගේම මේවට වගකිව යුතු දේශපාලන ව්‍යාපාර තියෙනවා කියලා මම හිතනවා. දේශප්‍රේමය පදනම් වන සෑම දේශපාලන ව්‍යාපාරයක්ම මේකට වගකිව යුතුයි. මේ තත්ත්වයන් ඒකෙ ප්‍රතිපලයක් විදිහට ආපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ.”

කැමරා ඇස මමයි
පිලිකෙව් නොකර
පරාවර්තනය කරමි
වෙනස් නොකරමි පෙනුම
නිහඩව වාර්තා කරමි
ජීවිතය සහ මරණය
සැබෑව පිලිකෙව් නොකරන
අවට විමසුම් කරන
පරාවර්තන ඇස මමයි
සත්‍ය මිස අන් යමක්
පරාවර්තනය නොකරමි
බාහිර යථාර්තයෙන්
දකින්නා සිත වෙනස් නොකරයි
හැඟුම් ජනිත නොකරයි
සියලු විලාසිතාවන්
එහි සත්‍ය ලෙස ගනිමි
පිලකෙව් කල නොහැක
ස්වාභවික මරණය
පිළිකෙව් කරන දෙයට
මම වග නොකියමි
බෙලෙසුන් කල විටම
හැකියාව උදුරාගෙන
විනාශයේ අඳුර තුළ
මගේ ඇස ……………
විශ්වාසවන්තයින් හොඳින් හඳුනයි
කුණාටුවෙ ඇස වෙමි
නොනැවතී කරකැවෙන
මරණය හා විනාශය
මා වටා සැරිසරයි
ගැලවුම්කාර වක්තෘවරුන්
ලොව පාලනය කරන උන් ගැන
මගේ ඇස අන්ධය

රිචඩ් ද සොයිසා
This other Eden
කාව්‍ය සංග්‍රහයෙන්